‘ඩිමොක්රැසි’ | දිනමිණ

‘ඩිමොක්රැසි’

පෝල් එච්. ඩග්ලස් නම් දේශපාලන විචාරකයා 1950 ගණන්වලදී Òඑතික් ඉන් ගවර්මන්ට්Ó නමින් පොතක් ලියා තිබේ. මේ පොතට පාදක වන්නේ ඔහු විසින් හාවර්ඩ් විශ්වවිද්‍යාලයේදී පවත්වන ලද දේශන කිහිපයකි. එතික්ස් හෙවත් ආචාරධර්ම පවත්වා ගැනීමේදී දේශපාලකයන්ගේ දැනුම - අවබෝධය හා අවංක හැසිරීම වැදගත් වන බව එම කෘතියෙන් අර්ථගන්වා ඇත. ආචාර ධර්ම පිළිබඳ ගැටලුවක් අපේ දේශපාලනයේ දිගින් - දිගටම පැවැතී ඇත. එය දේශපාලකයන්ගේ දැනුම - අවබෝධය හා අවංක හැසිරීම මත සිදුවන්නේ යැයි විශ්වාස කළ හැකි ය.

දැන් හැම දෙනාගේ ම අවධානය යොමු වී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි ය. ප්‍රජාතන්ත්‍රවාදයට ඉංග්‍රීසි‍ෙයන් කියනුයේ Òඩිමොක්රසිÓ යන්න ය. ඩිමොක්රසි යනු ඉංග්‍රීසි වචනයක් නොවේ. ඩිමොක් යනු ග්‍රීක වචනයකි. එය භාවිත වී ඇත්තේ ක්‍රි. පූ. පස්වන සියවසෙහි රාජ්‍යය පත්කිරීම සඳහා අභිමතය හෙවත් ඡන්දය භාවිත කළ හැකි සාමාජිකයාටය. මේ වචනයෙන් මෙන් ම ඉතිහාසයෙන් ද පෙනී යන්නේ රාජ්‍යය සම්බන්ධයෙන් නිල අයිතිය ඇති තැනැත්තා විශේෂයෙන් වැදගත් වන බව ය. අපේ ව්‍යවස්ථාවට හා සම්ප්‍රදායට අනුව රජයේ නිල අයිතිය සතු ප්‍රධාන තැනැත්තා ජනාධිපතිවරයා ය. ඔහුගේ අභිමතයට සියල්ල දෙවන වන්නේ ය.

ප්‍රජාතන්ත්‍රවාදයේ තවත් ලක්ෂණයක් වන්නේ වෙනස්වීම ය. වෙනස්වීමක් නැතිකොට පැවැත්මක් නැත. නූතන ලෝක දේශපාලනය කතා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ඔස්සේ සියලු දෙනාට යුක්තිය ඉටුකිරීමක් ගැන ය. සියලුදෙනාට යුක්තිය ඉටුකිරීමට නම්; ඇතැම් සමාජ පන්තිවල අභිප්‍රාය වෙනස් කළ යුතු ය. ඇතැම් ආර්ථික ක්‍රියාදාම වෙනස් කළ යුතුය. එසේ නොවන විට ප්‍රජාතන්ත්‍රවාදය අර්බුදයට යයි. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතාවගේ කැමැත්ත මිස අන් දෙයක් නො වේ. රටේ ජනතාව කුමන දේශපාලන නායකයන්ට කැමැති ද, කුමන දේශපාලන ප්‍රතිපත්තිවලට කැමැති ද යන්න විභාග කළ හැක්කේ ජනතාවගේ අභිමතය විමැසීමෙන් පමණි.

ගිය ආණ්ඩුව හඳුන්වන්නේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවක් හැටියට ය. වික්‍රමසිංහ ආණ්ඩුව ජනමතය විමැසීමට කිසිදු උනන්දුවක් දක්වා නැත. ඔවුන් සිදුකර ඇත්තේ ම මැතිවරණ කල්දැමීම ය.

ශ්‍රී ලංකාවට ඇඟිලි ගැසීම් කරන ජාත්‍යන්තර ප්‍රජාව හරි නම්; කළ යුතුව තිබුණේ මැතිවරණ නොපැවැත්වීම ගැන ගිය රජයට චෝදනා එල්ල කිරීමය. එහෙත් එවැන්නක් සිදු වූයේ නැත. තත්ත්වය වෙනස් වන්නේ රටට ගැළපෙන ආණ්ඩු වෙනසක් සිදු වූ විට ය. දැන් අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් පාර්ලිමේන්තුව කැඳවන ලෙස ද, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන ලෙස ද මොර දෙයි. අමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකාව ඊයෙත් නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත්තේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව කැඳවනු යන්නය.

අමෙරිකාව කීවත්; නැතත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කැඳවා ඇත. ඒ ලබන 14 වනදාටය. අපේ ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව කැඳවීම, එය විසිරුවා හැරීම ආදී කරුණු සම්බන්ධයෙන් සම්පූර්ණ බලය හා අයිතිය ඇත්තේ ජනාධිපතිවරයාටය. ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට අනුකූලව ඒ සියල්ලක් ම ඉටුකර ඇති බව මධ්‍යස්ථ දේශපාලන විචාරකයෝ පිළිගනිති. ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස හැසිරෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ඔහුගේ කල්ලිය මිස වෙන කිසිවෙක් නොවේ. රනිල් මහතා බලහත්කාරයෙන් අරලියගහ මන්දිරයේ රැඳී සිටීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවකි. ඔහු අලුත් ආණ්ඩුවට හා ජනාධිපතිවරයාට අභියෝග කිරීමත් ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවකි. දේශපාලන ආරවුල නැවැත්වීමට නම්; පළමුව කළ යුත්තේ වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයෙන් ඉවත්වීම ය.

රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වටහාගත නො හැකි පුද්ගලයන් සේ ම ඊට ගරු නො කරන පුද්ගලයන් ද දේශපාලනයේ සිටීම ඉතා භයානකය. නෙස්බි සාමිවරයා මේ සම්බන්ධයෙන් ඉතා හොඳ ප්‍රකාශයක් ලබා දී තිබේ. ඔහුට අනුව එකිනෙක රාජ්‍යයන්වල එම රාජ්‍යයන්ට ම අනන්‍ය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තිබේ. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද එලෙස අනන්‍ය හා විශේෂ වූ ලියැවිල්ලකි. එම ලියැවිල්ලෙහි වගන්ති හරිහැටි වටහා නොගෙන ක්‍රියා කිරීම ඉතා වැරැදි සහගත බව නෙස්බි සාමිවරයා පෙන්වා දෙයි. එංගලන්තය යනු අප ප්‍රජාතන්ත්‍රවාදය උකහාගත් රාජ්‍යය වන්නේය. රනිල් වික්‍රමසිංහ මහතා අපේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගැන කියන විට නිතර උපුටා දක්වන්නේ ද එංගලන්තය හෙවත් මහා බ්‍රිතාන්‍යය යි.

වික්‍රමසිංහ මහතාට හැරෙන තැපෑලෙන් කන පැලෙන උත්තරයක් ලබා දී ඇත්තේ නෙස්බි සාමිවරයා යැයි කිව හැකි ය. සාමිවරයා සිය පණිවිඩයෙන් කොට්ඨාස දෙකක් විවේචනයට ලක්කරයි. පළමු කොට්ඨාසය වන්නේ ශ්‍රී ලංක‍ාවේ ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝග කරන කණ්ඩායම යි. දෙවන කොට්ඨාසය වන්නේ ඉහත කණ්ඩායමට උඩගෙඩි දෙන ජාත්‍යන්තර ප්‍රජාව යි. වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරය අත්නෑර සිටින්නේ ද ජාත්‍යන්තරයේ උඩගෙඩි නිසා යැයි කියන්නට පුළුවන. එහෙත් මෙය කල්පවත්නා දෙයක් විය නො හැකිය. මන්දයත්; ජාත්‍යන්තරයට අපේ රටට ඇඟිලි ගැසීමට ඉඩක් නො ලැබෙන බැවින් ය.

ජනාධිපතිවරයා ව්‍යවස්ථානුකූල ලෙස ද සම්ප්‍රදායට අනුගත ලෙස ද ක්‍රියාකර ඇති බව මෙරට නීති විශාරදයෝ පෙන්වා දෙති. එය ම වි‍ෙද්ශීය උගත්තු ද අනුමත කරති. තව ම ඊට එරෙහිව සිටගෙන ඇත්තේ අමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක් පමණි. අප ‍අමෙරිකාවට ඒ තරම් බිය විය යුතු නැත. චීනය පවා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලන ආරවුල් ඔවුන්ම විසඳාගත යුතු බව ය. එය සත්‍යයෙකි. රටක දේශපාලන අර්බුද එම රාජ්‍යයම විසඳාගත යුතු ය. එසේ නොවී ජාත්‍යන්තර ඇඟිලි ගැසීමකට ඉඩ ලබාදුනහොත් ඉරාකයට හෝ ලිබියාවට හෝ අත් වූ ඉරණම අපට ද හිමිවනු ඇත.

ජනාධිපතිවරයා බුද්ධිමත් නායකයකු බවත්; ඔහු රටේ අනාගතයට වැදගත් තීන්දුවක් ගන්නට ඇතැ’යි විශ්වාස කරන බවත් නෙස්බි සාමිවරයා කියා සිටී.

 


නව අදහස දක්වන්න

Or log in with...