රක්ෂණ සමාගමෙන් ආ ගැලවුම්කාරයා | දිනමිණ

රක්ෂණ සමාගමෙන් ආ ගැලවුම්කාරයා

 මම බිස්නස්වලට එක එක තැන යන හන්දා මට පෞද්ගලික දුරකතන අංකයක් නැහැ. අද එක තැනක. හෙට තව තැනක. මම ෂුවර් එකටම හෙට ඔහේගේ ගබඩාවට ඇවිල්ලා බඩු ටික ගෙනියන්නම්. පොඩ්ඩක්වත් සැක හිතන්න එපා.“ ලියොන්ස් ලෙස රඟ පෑ වෙයින්බර්ග් කියා දැම්මේය.

එම ජවනිකාව අවසන් කළ වෙයින්බර්ග් දුරකතනය අසලම රැඳී සිටියේ ඇමතුමක් අපේක්ෂාවෙනි. බලාපොරොත්තු වූ ලෙසම විනාඩි පහක් යන්නටත් පෙර දුරකතනය නාද විය. සිතූ පරිදිම එහා කෙළවරේ සිටියේ රොකීය. වෙයින්බර්ග් තරම්ම නොවුවද කපටියකු වූ ඔහුට අවශ්‍ය වූයේ ගනුදෙනුවක් නොවන බවක් අඟවමින් වීදුරු තොගය කුණුකොල්ලෙට ඩැහැ ගැනීමටය.

“මේකයි මෙල්. මට මේ වීදුරුවල කිසිම අවශ්‍යතාවක් නැහැ. ඒකයි මම ඒවා මිලට ගන්න ඊයේ බැහැයි කිව්වේ. ඒත් පස්සේ කල්පනා කරගෙන යනකොට මට හිතුණා මේ වෙලාවේ හැටියට ඔයාට උදව්වක් නොකර බැහැ කියලා. මගේ ගබඩාවේ ඉඩත් තියෙන එකේ උදව්වක් විදිහට ඒ ටික තියාගන්න මම හිතුවා. ඔයා වීදුරු ටික ගෙනැත් දෙනවා නම් මම කැමතියි කෑල්ලකට ශත විස්ස ගාණේ ගෙවන්න.“

බොරුවෙන් වෙයින්බර්ග් අන්දන්නට සිතූ රොකී තමා ගනුදෙනු කරන්නේ කෙබඳු කපටියකු සමඟද කියා දැන සිටියේ නැත. එවැනි බොරුවකට ප්‍රතිචාර දැක්විය යුතු අන්දම වෙයින්බර්ග් කල් ඇතිව සැලසුම් කොට තිබුණි.

“ඇත්ත කියනවා නම් රොකී, මට මේ වීදුරු තොගය විකුණගන්න දෙන්නෙක්ම හම්බවෙලයි තියෙන්නේ. දෙන්නම ඉල්ලන ගාණක් දීලා මේ ටික ගන්න පොරකනවා.“ වෙයින්බර්ග් පැවසු තාත්වික ආකාරයට රොකීට සිතුණේ ඔහු කියන්නේ ඇත්තක් බවයි. මෙතෙක් වේලා මවාගෙන සිටි ආඩම්බරකාර කතා විලාශය පසෙකට දා රොකී, වෙයින්බර්ග් හමුවේ පින්සෙණ්ඩු වන්නට ගත්තේය.

“එහෙම කියන්න එපා මෙල්. මම ඔයාට මීට කලින් උදව් කරලාම නැද්ද? මම කෑල්ලකට ශත පනහ ගාණේ දෙන්නම්.“

දීර්ඝ ලෙස කළ හෙට්ටුකිරීමකින් පසු වෙයින්බර්ග් වීදුරු තොගය රොකීට විකුණන්නට එකඟ විය. එදින සවසම තමාගේම ට්‍රක් රථයකින් විදුරු තොගය රොකී සිය ගබඩාව වෙත ගෙන ගියේ වෙයින්බර්ග්ට මුදල්ද ගෙවීමෙන් අනතුරුවය. නමුත් පොරොන්දු වූ පරිදි සැමී ලියෝන්ස් කෙනෙක් කිසි දිනෙක වීදුරු මිලදී ගැනීමට රොකී සොයා ආවේ නැති වුවත් වෙයින්බර්ග් හිටියාට වඩා ඩොලර් දෙදහසකින් පොහොසතකු වී තිබිණි. අඛණ්ඩව කරගෙන ගිය රෑ මැදියමේ වීදුරු ජනේල බිඳීමේ ක්‍රියාන්විතය ඇතුළු සෙසු ජාවාරම්වලින් ද ගලා ආ මුදල් නිසා වෙයින්බර්ග්ට සෑහෙන තරමේ දියුණුවක් ලැබීමට වැඩිකලක් ගියේ නැත. ලෝකය යනු සදාචාරයක් කියා දෙයක් නැති වනාන්තරයක් බවටත්, එහි වෙසෙන බහුතරයක් වංක පුද්ගලයන් බවටත්, එවැනි පිරිසක් අතර පැවැත්මක් ඇත්තේ ඉක්මන් වී අනෙක් අයට පෙර ප්‍රහාරය එල්ල කරන තැනැත්තාට බවටත් වෙයින්බර්ග් තුළ මුල්බැසගෙන තිබු පිළිගැනීම, මෙවැනි සාර්ථකත්වයකින් වඩාත් තහවුරු විය.

බොරුවෙන් ලැබූ දියුණුව වැඩි කලක් පැවතුණේ නැත. කොස්මොපොලිටන් රක්ෂණ සමාගමට වෙයින්බර්ග්ගේ වීදුරු මගඩිය කන වැටීමත් සමඟ ඔවුන් වෙයින්බර්ග් සහ පුත්‍රයෝ සමාගමට ලබාදුන් ඇණවුම් අත්හිටවුවා පමණක් නොව රක්ෂණ සමාගම ජාලය අතර වෙයින්බර්ග් සමාගම තහනමට ලක්කිරීමටද පියවර ගත්තේය. ඉන් වෙයින්බර්ග්ගේ ආර්ථිකයට එල්ල වු පහර සුළුපටු නොවේ. හදිසි ඇමතුම් දීමට දිනපතා උදේ පාන්දරින් නාද වූ වෙයින්බර්ග් සමාගමේ දුරකතනයටද නිවාඩු ලැබිණි.

එසේ ‍ගෙවුණු දිගු අඳුරු දින ගණනාවකට පසු දිනක් අහම්බයකින් මෙන් දුරකතනය නාද වන්නට විය. එහා කෙළවරේ සිටියේ ‘මෑන්හැටන් කැෂුවල්ටි‘ නම් සමාගමක නිලධාරියෙකි. නිව්යෝක් නුවර ගබඩා හිමියන්ට තහඩු වීදුරු සඳහා රක්ෂණ පහසුකම් සැපයුවේ මෙම සමාගම විසිනි. වෙයින්බර්ග් පෞද්ගලිකව හමුවීමට ඔහුට අවශ්‍ය විය. එම හමුවේදි ඔහු කියා සිටියේ වෙයින්බර්ග්ගේ හොර ජාවාරම් සම්බන්ධයෙන් කොස්මොපොලිටන් සමාගම විසින් තමාට අනතුරු අඟවා ඇති බවයි.

“ඔහේ තමයි මේ වෙලාවේ මට කියාපු මිනිහා.“ නිලධාරියා පැවසුවේ විශ්වාසය දනවන සිනහවක් පාමිනි. “ඔහේ මට මාසෙකට ඩොලර් හත්සියයක් දෙන්න. මම අපේ රක්ෂණ සමාගමට එන තහඩු වීදුරු හයිකරන වැඩ ඔක්කොම අල්ලලා දෙන්නම්."

“හොඳයි එහෙනම් ඒක තීන්දුයි.“ වෙයින්බර්ග් පැවසුවේ දෙගිඩියාවෙනි.

මෙහි යම් උගුලක් ඇති බව වෙයින්බර්ග්ට සැක සිතුණි. ඒතරම් පහසුවෙන් ඒ තරම් සෘජුව මුදල් ගලා ඒමක් ගැන විශ්වාස කිරීමට තරම් වෙයින්බර්ග් මෝඩ නොවීය. නමුත් වෙලාවේ හැටියට ඔහුට කරන්නට දෙයක් තිබුණේද නැත. මුදල් අඟහිඟකම් නිසාවෙන් හතර අතින්ම ඔහු සිරවී සිටියේය. ඔහු සිටියේ නරක පුරුදු සියල්ලටම පාහේ ඇබ්බැහිවය. අශ්ව රේස් ඔට්ටු දැම්මේය. නැතිවන්නටම සූදූ කෙළියේය. සවස් කාලය ගෙවුණේ තැබෑරුම්වලය. ඒ මදිවාට ඔහුගේ සමාගමයේ සිටි සුරූපී ළඳුන් සියලු දෙනාම පාහේ මිල අධික වියදම්වලට නැඹුරුවූවෝ වූහ. ඒ වියදම් සියල්ලම දැරුවේද ඔවුන්ගේ සත්කාරකවරයා වු වෙයින්බර්ග්මය. එකී මෙකී සියලු වියදම්වලට වෙයින්බර්ග්ට අතමාරු දුන් ෂයිලොක්ලාද එන්න එන්නම යමින් සිටියේ නරක අතටය. ඉක්මණින් මුදල් ගලා එන අලුත් මාර්ගයක අවශ්‍යතාව වෙයින්බර්ග්ට තදින්ම දැනෙන්නට විය. එසේ හෙයින් අලුත් ගනුදෙනුවට එකඟ වූ වෙයින්බර්ග්, මාසය අවසානයේ දී කරන පළමු ගෙවීම සඳහා ක්වීන්ස් හෝටලයේ රාත්‍රී භෝජනයකට පැමිණෙන ලෙසට රක්ෂණ නිලධාරියාට ද ඇරයුම් කළේය.

ඉන්පසුව උදා වූයේ සෞභාග්‍යවත් කාලයකි. යළිත් වරක් වෙයින්බර්ග් සහ පුත්‍රයෝ වෙත වීදුරු ඇණවුම් ගලා එන්නට විය එහෙත් වෙයින්බර්ග් මගඩිය කරගෙන ගියේ බෙහෙවින් පරීක්ෂාකාරීවය. පළමු කප්පම් ගෙවීමට දිනය උදා වූ විට වෙයින්බර්ග් ක්වීන්ස් හෝටලයට පැමිණියේ ඕනෑකමින්ම ප්‍රමාදවීය. ඔහු සැලසුම් කරගෙන සිටියේ පොලිස් වැටලීමක් සිදුවන්නට යන බවක් දැනුණොත් වහා මාරුවන්නටය. නමුත් එවැන්නක සලකුණක් තිබුණේ නැත. රක්ෂණ නිලධාරියාගේ මෝටර් රථය සොයාගත් වෙයින්බර්ග් ඊට ගොඩවී මුදල් සහිත කවරය එහි අව් ආවරණයේ සැඟවුවේය. ඉන්පසු හෝටලයට ඇතුළු වූ හේ යළිත් වරක් හෝටලය ඇතුළත හා එහි පාරිභෝගිකයන් දෑසින් පරීක්ෂාවට ලක්කළේය. ඒ වන විටත් මේසයක අසුන් ගෙන සිටි නිලධාරියා අසලින් ඔහු හිඳ ගත්තේ සැක කටයුතු කිසිවකු නැති බව තහවුරු කර ගැනීමෙන් පසුවය.

මුදල් සැඟවූ තැන නිලධාරියාට හෙළි කළ වෙයින්බර්ග් ඔහු එය රැගෙන පැමිණෙන තෙක් කල් මැරුවේය. ඔහුගේ සිතේ දෙගිඩියාව තවමත් පහව ගොස් තිබුණේ නැත. නමුත් මුදල් කවරය රැගෙනා විත් නිලධාරියා, වෙයින්බර්ග් ඉදිරියේම එය විවෘත කර ගණන් කළ විට වෙයින්බර්ග්ට දැනුණේ මහත් සැනසුමකි.

“එයා ඒ විදිහට සල්ලි ගණන් කළාම තමයි පළවෙනි පාරට මට එයා ගැන විශ්වාසයක් ඇති වුණේ. මේත් මං වගේම තක්කඩියෙක් කියලා මට හිතුණා.“ වෙයින්බර්ග් සිහිපත් කරන්නේය.

එදා ඇතිකරගත් ඒ විශ්වාසය නිවැරදි බව වෙයින්බර්ග්ට අවබෝධවෙද්දී මෑන්හැටන්හි ගබඩා හිමියන් රැසක් ඔහුගේ පාරිභෝගිකයෝ වී සිටියෝය. රාත්‍රී යාමයේ නගරයේ විවිධ වීදුරු ජනෙල්වලට ගල් හා පොලු පහර වැදීම සාමාන්‍ය සිදුවීමක් බවට පත්විය. එම්. වෙයින්බර්ග් සහ පුත්‍රයෝ සමාගම පැය විසිහතර මුළුල්ලේම අඛණ්ඩව සේවයේ නිරත විය. තමාගේ අතකොළුවක් රක්ෂණ සමාගම තුළ ඉන්නා බව දන්නා නිසාම පරෙස්සම් වීමට වෙයින්බර්ග්ට අවශ්‍යතාවක් තිබුණේ ද නැත. රක්ෂණ සමාගම හා එහි පාරිභෝගිකයන් ගසා කෑ හැකි අලුත් සැලසුම් හේ දිනපතාම සකස් කළේය. වෙයින්බර්ග් වෙත මුදල් ගලා ආවේ දියඇල්ලකින් මෙනි.

වීදුරු ජාවාරමෙන් ධනවත් වූයේ වෙයින්බර්ග් පමණක් නොවේ. අතේ මිටේ වැඩියෙන් මුදල් ගැවසෙන විට හොරය හසුවේ යැයි මඳක් චකිතයට පත්වු මිතුරු රක්ෂණ නිලධාරියා ඔහුට මාසිකව ගෙවන මුදල තවත් අලුත් ව්‍යාපාරයකට ආයෝජනය කරන ලෙසට වෙයින්බර්ග්ට යෝජනාවක් ගෙනාවේය. ප්‍රතිඵලය වූයේ වෙයින්බර්ග් හා රක්ෂණ නිලධාරියා ක්වීන්ස් නගරයේ පිහිටි රෙදි සේදීමේ ආයතන විසිහයක හිමිකරුවන් වීමයි. ‘ඩිට්මාර් ක්ලීනර්ස්‘ ලෙස හැඳින්වුණු මෙම රෙදි සේදීමේ වෙළෙඳ සල් ජාලයේ සෑම ශාඛාවකම සේවා කටයුතු ලබා දුන්නේ සුරූපී තරුණියන් විසිනි. මේ වන විට වෙයින්බර්ග් සමාගම සමඟ තවත් සමාගම් කිහිපයක්ම අත්වැල් බැඳගෙන තිබුණි. දිනෙන් දින වර්ධනය වන වෙයින්බර්ග් අධිරාජ්‍යය සමඟ එලෙස අත්බැඳගෙන සිටි සුවිශේෂ නිහඩ සහකරුවකු වූයේ නිව්යෝක් දිස්ත්‍රික් නීතිඥ ෆ්‍රෑන්ක් හෝගන්ගේ කාර්යාලයේ සේවය කළ පොලිස් නිලධාරියෙකි. නීති දෙපාර්තමේන්තුව පිළිබඳ ඇතුළත තොරතුරු ලබාදී වෙයින්බර්ග් නීතියට හසුවීමෙන් වැළකීමට ආධාර කළේ මොහුය.

මීට අමතරව පාතාල සාමාජිකයින් කිහිපදෙනකු සමඟද එක්ව වෙයින්බර්ග් ක්වීන්ස් නුවර දැවැන්ත හැම්බර්ග් අලෙවි ව්‍යාපාරයකට ද කොටස් ආයෝජනය කර තිබුණු නමුත් ව්‍යාපාරය සරුවට කෙරීගෙන යද්දී පාතාලයන් පිරිසට හොඳින් හෝ නරකින් තමාගේ කොටස්වල ලාභයද ඩැහැගැනීමට අවශ්‍යව ඇති බව වෙයින්බර්ග්ට දැනෙන්නට විය. කිසිදු විරෝධයක් නොදැක්වූ ඔහු කළේ නිහඬවම ව්‍යාපාරයෙන් සමුගැනීමයි. මැරවරයන් සමඟ ගනුදෙනුවලදී ඔවුන් කෝප ගැන්වීම යනු ගින්දර සමඟ සෙල්ලම් කොට අත පුළුස්සා ගැනීමක් බව හේ වටහාගෙන සිටියේය.

“මැරයෝ හැමතිස්සෙම වැඩ කරන්නේ එයාලගේ වාසියට. ඒ වගේ කට්ටිය යාළුකමින් තියාගන්න එක තමයි නුවණට හුරු දේ. අපි වගේ දක්ෂ රැවටිලිකාරයෝ කරන්නේ ඒක. එයාලට ඕනේ ඔයා ගනුදෙනුවෙන් ඉවත් වෙනවා දකින්න නම් ඉවත් වෙන එක තමයි හොඳ. හෙට ආයෙත් එන්නේ අලුත් දවසක්. අපි දිගටම ජීවත් වෙනවා. ඒ අතරෙදි කරදරයක් වුණොත් මැරවරයෙක්ගේ උදව් පතාගෙන යන්න බැරිකමක් නැහැ.“

මුදල් ගලා ආ වේගය ට නොපරදින වේගයකින් වෙයින්බර්ග් මුදල් වියදම් කරමින් සිටියේය. රාත්‍රී සමාජශාලාවල වෙයින්බර්ග් නිරන්තර සාමාජිකයකු විය. ඉස්තරම්ම වර්ගයේ මත්පැනින් නිතර සප්පායම් වූ ඔහු තැබෑරුමකට ගිය විට එහි සිටි සෙසු පිරිසටද මත්පැන් මිලදී ගෙන දීමට අත දිගහැර වියදම් කළේය. වේටර්වරුන්ට ඩොලර් සියයේ සන්තෝසම්, සාක්කුවලට එබුවේය. අතදිග හැර ඔට්ටු දැම්මේය. අන්තඃපුරයේ සිටි සියලුම පෙම්වතියන් මිල අධික ඇඳුම් හා අභරණවලින් සැරසුවේය. කොටින්ම ඔහු වියදම් කළේ හෙටක් ඇති බවකින් නොවේ. යළිත් වරක් වෙයින්බර්ග් මුදල් අඟහිඟකම්වල කරවටක් ගිලෙන්නට වැඩි කලක් ගියේ නැත.

රොබට් ඩබ්. ග්‍රීන් විසින් රචනා කළ මෙල්වින් වෙයින්බර්ග්ගේ චරිතාපදානය ‘ස්ටිං මෑන්‘ කෘතියේ පරිවර්තනය

රුක්ලන්ති පෙරේරා

හෙට - වීදුරු වෙළෙන්දාට පාතාල තර්ජන


නව අදහස දක්වන්න

Or log in with...