ඔක්තෝබර් විප්ලවය දේශපාලන විද්‍යාත්මක පෙරදැක්මක් | දිනමිණ

ඔක්තෝබර් විප්ලවය දේශපාලන විද්‍යාත්මක පෙරදැක්මක්

ආචාර්ය දයාන් ජයතිලක

සහශ්‍ර ගණනාවකට පෙර ලොව පහළ වූ බුදුන්වහන‍්සේ, හෙරක්ලිටස් වැනි ශ්‍රේෂ්ඨ චින්තකයන් දේශනා කළේ වෙනස් නොවන එකම දෙය ‘වෙනස’ පමණක්ම බවය. වෙනස දෙයාකාරය. එකක් ක්‍රමිකව පරිණාමය වන අතර ප්‍රවර්ධීයය. එමෙන්ම සන්තතිකය. අනෙක, විදාරණයක් සහිත නාට්‍යානුසාරී මෙන්ම අසන්තතික ය. පළමු ආකාරය ප්‍රමාණාත්මකය. දෙවැන්න ගුණාත්මකය. මේ දෙයාකාරය චීන මහා ප්‍රාකාරය බඳු මහා පවුරකින් වෙන්ව නැත. එකකින් අනෙකට අන්තර්සමයක් පවතී. විදාරණාත්මක, ගුණාත්මක වෙනස ප්‍රමාණාත්මක මෙන්ම ක්‍රමික වෙනස මඟින් පූර්වගමනය වේ. එවැන්නක සංඥා මෙන්ම රෝග ලක්ෂණ ද හඳුනාගත හැකිය. ඒවා සෑමවිටම පැහැදිලිව ලියැවී තිබේ. කිසිවකු හෝ ඒවා දැකීමට අකමැතිවුවද, අපේක්ෂා නොකළද ඒවා දිස්වේ.

දේශපාලන ක්‍රීඩාව

දේශපාලන වෙනස, නාටකීයය. එය සාමාන්‍යයෙන් සිදුවන්නේ කලින් කලට පැවැත්වෙන මැතිවරණවලදී ‘ක්‍රීඩාවේ’ නීති - රීතිවලට අනුවය. කෙසේ වුවද, කිසියම් රටක ක්‍රීඩාවේ නීති - රීති උල්ලංඝනය වී නම්, නිදසුනක් ලෙස එක් පක්ෂයකින් ‍බහුතරය තෝරාපත් නොවූ සුළුතර ආණ්ඩුවක් ලෙස පවතීනම්, විපක්ෂයේ බහුතරයට එම නිල තත්ත්වය අහිමිකර තිබේ නම්, පාර්ලිමේන්තුවේ විපක්ෂයේ භූමිකාව සහ විපක්ෂ නායක ධුරය ද අහිමිකර ඇත්නම් සහ මැතිවරණ කල්දමා තිබේ නම් දේශපාලන ක්‍රීඩාවේ නීති - රීති නොපිට පෙරළීම සිදුවිය හැකිය. එමෙන්ම ගුවන්යානයක හදිසි දොරටුව විවෘත කිරීමට සිදුවන්නාක් මෙන් ව්‍යාතිරේඛයන්ද ක්‍රියාත්මක විය හැකිය.

අයින්ස්ටයින්ගේ සොයාගැනීමට අනුව හෝ එසේ නොමැතිව ලජ්ජාශිලීත්වය යන්නෙහි අරුත විමසන විට වෙනස් ප්‍රතිඵලයක් අපේක්ෂාවෙන් එම ක්‍රියාව නැවත නැවතත් සිදුකිරීම විවාදයෙන් තොරය. වසර 15 කට පෙර, ආර්ථික ප්‍රතිපත්ති ජනතාවගේ ජීවන තත්ත්වයට අහිතකර ලෙස බලපෑවේ නම් සහ වාර්ගික හා ආරක්ෂක ප්‍රතිපත්ති බහුතරයේ ජාතික අනන්‍යතාවට එරෙහිවිණි නම් ද අතිශයින්ම අපකීර්තිමත් හා අවදානම් සහගත මිනිසුන් කණ්ඩායම්, ඡන්දයෙන් තෝරාපත්කරගත් විධායකයට බලපෑම් එල්ල කරන්නට තැත් කරන්නේ නම් ද අවසානය ඛේදජනක බව පැහැදිලි විය. මේ ක්‍රියාවම වසර 15කට පසුවද එකී ප්‍රතිඵලයම අත්කරදෙමින් සිදුවිය හැකිය.

රටේ ජනතාවගේ ඡන්දයෙන් තෝරාපත්කරගත් නායකයකු සෑමවිටම පටු, සීමිත පදනමකින් තෝරාගත් අයකුට වඩා විශිෂ්ටය. එමෙන්ම වැඩි නීත්‍යානුකූල බවක් ද සහිත වේ.

වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදාය

සෑම දෙයක්ම ස්ථානගතව ඇත්තේ පවතින ක්‍රමය තුළය. එමෙන්ම එය ක්‍රමානුකූලව තේරුම් ගැනීමට ද අවශ්‍යය. වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදායේ නීති-රීති මෙන්ම ආචාරධර්ම ද වෙනස් ක්‍රමයක් තුළ ක්‍රියාත්මක වන්නේ සීමිත සංවේදනයකින් යුතුවය. කෙසේවුවද, විධායක ජනාධිපති ධුරය ප්‍රතිසංස්කරණ හා නවීකරණ පිළිබඳ සාකච්ඡා කිරීමේදී කේන්ද්‍රය, ජනාධිපති ධුරය සහ ව්‍යවස්ථාදායකයයි. ඊට පාර්ලිමේන්තුවේ ද්විමණ්ඩලයද අයත්ය.

ජනාධිපති ධුරය සමඟ වෙනස් හා ඊට යටත් සම්බන්ධතාවක් ඇතිවිට ඊට පිටතින් හා ව්‍යවස්ථාදායකයට ඉහළින් මේ තත්ත්වය පිරික්සිය හැකිය. විධායකය, ව්‍යවස්ථාදායකයෙන් සාපේක්ෂව ස්වාධීනය. එහෙයින් වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදාය පිළිබඳ තර්කය රටේ බහුතර ජනයාගේ ඡන්දයෙන් තෝරා පත්කරගත් හා විධායක බලතල සහිත ජනාධිපතිවරයකු සම්බන්ධයෙන් අදාළ කරගැනීම අතාර්කික මෙන්ම ඵලරහිත ක්‍රියාවකි. විධායක ජනාධිපති ක්‍රමය යටතේ ජනාධිපතිවරයා ඇතැම් විශේෂිත තත්ත්වවලදී අවසාන තීරණය ගැනීම සිදුවේ.

ඇතැම් රටවල දේශපාලන ක්‍රමය ජනාධිපති ක්‍රමය සහිත ඒකධ්‍රැවීය එකකි. තවත් රටවල එය ජනාධිපති ක්‍රමය සහිත එහෙත්, බහුධ්‍රැවීය එකකි. කෙසේවුවද, එවැන්නක ද ජනාධිපතිවරයා ධුරාවලියේ අධිපතිත්වය හොබවන අතර සෙසු ධ්‍රැව අතර ආධිපත්‍යය ද දරයි. වෙස්ට්මින්ස්ටර් ආකෘතියේදී කේන්ද්‍රය පාර්ලිමේන්තු‍වය. ජනාධිපති ක්‍රමය යටතේ එම කේන්ද්‍රය ජනාධිපති ධුරයයි. එවැන්නක් ජනාධිපති ක්‍රමයක් සහිත ලෙස හැඳින්වෙන්නේ එබැවිණි. රාජ්‍ය බලයේ මූලික වැදගත්කම ඇත්තේ ඡන්ද බලයෙන් තෝරාගත් විධායකය සමඟය.

රාජ්‍ය බලය නිරන්තරයෙන් දේශපාලන හමුදාමය එකකි. එය තනිකරම ව්‍යවස්ථාදායකයේ ගණිතය පිළිබඳ කාරණයක් නොවේ. මාඕ එය අතිශයෝක්තියෙන් ප්‍රකාශ කළේ, “සියලු දේශපාලන බලයන් ගලා එන්නේ තුවක්කු බටයෙනි” යනුවෙනි. නමුත්, දාර්ශනිකයකු දේශපාලන මෙන්ම හමුදා නායකයකු සහ කවියකු ලෙස ඔහු දේවල්වලට මුලපිරුවා පමණක් නොව ඒවායේ සාරය ප්‍රකාශයට ද පත්කළේය. ඔහු ප්‍රකාශ කළ දේ අත්‍යවශ්‍යයෙන්ම, ඡන්දයෙන් තෝරාගත් ජනාධිපතිවරයකු, ආරක්ෂක ඇමැති ධුරය මෙන්ම සේනාධිනායක ධුරය දරනවිටදී ද අදාළය.

විදේශීය බලවේග

නිරන්තරයෙන්ම රාජ්‍ය බලය, දේශපාලන හමුදාමය එකක් වන අතරම, දේශපාලන බලය සාමාන්‍යයෙන් සෑමවිටම පාහේ පදනම්වන්නේ ද රඳාපවතින්නේ ද ජනතාව මතය. ලොව පුරා සිදුවූ දේශපාලන වෙනස්කම් විමසන විට ඊට ප්‍රබල සාක්ෂි අතිමහත් ප්‍රමාණයක් හමුවේ. ඒවා අතර ජනතාවට අහිතකර ආර්ථික ප්‍රතිපත්ති මෙන්ම දේශීය ව්‍යවසායකයන්ටද අහිතකර මෙන්ම ජාතික රාජ්‍යය දුර්වල කිරීමට හේතුවන දේශපාලන ප්‍රතිපත්ති, ජාතික සම්පත් පාලනය කරන විදේශීය ප්‍රතිපත්ති නැතිනම් විදේශ බලවතුන්ට යටත්වීම් (ඇතැම්විට බ්‍රසල්ස්, තවත් අවස්ථාවල ජිනීවා) වැනි අවස්ථාවලදී සමාජයීය වශයෙන් හා ජාතික වශයෙන් පසුගාමිත්වයක් ඇතිවිට අනපේක්ෂිත වෙනසක් සිදුවිය හැකිය.

එවැනි වෙනස්කම් සෑමවිටම සිදුවන්නේ ද නැතිනම් මැතිවරණ මඟින් සළකුණු වන්නේද ජනතාවාදීන්ට ජය අත්කරදෙමිනි. සාමාන්‍යයෙන් එය සිදුවන්නේ ජාතිකවාදී ව්‍යාපාරයේ වාමාංශික, දක්ෂිණාංශික, මධ්‍යස්ථ, මධ්‍ය වාමාංශික හෝ මධ්‍ය දක්ෂිණාංශික වුවද ජයග්‍රහණය සටහන් කරමිනි. සමකාලීන ලෝක ඉතිහාසයේ මෙම අත්දැකීම් 1990 ගණන්වලදී රුසියාවට ගමන්කරනවිට අපට හමුවේ. රුසියානු ජනයා කල්පවත්නා ලෙස මෙන්ම දිගින් දිගටම ආර්ථික ලිබරල්කරණය ප්‍රතික්ෂේප කිරීම (කම්පන ප්‍රතිකාරය) සහ එකී දර්ශකයේම බටහිර ස්ථාවරයන්ට අදාළ ප්‍රතිපත්ති බැහැර කිරීමෙන්ද පෙනෙන්නේ දේශපාලන නූගත්කම හෝ මුග්ධභාවය මඟහැරීම මෙන්ම බෙහෙවින් සැලැකිය යුතු ප්‍රමාණයට දේශපාලන අවදානමෙන් ද ගැලැවී ඇති බවය.

ඩේලි නිව්ස් පුවත් පතේ පළ වූ ලිපියකි

 

පරිවර්තනය - ධම්මික සෙනෙවිරත්න


නව අදහස දක්වන්න

Or log in with...