දඬුවම් දීමේ මිථ්‍යාචාරය | දිනමිණ

දඬුවම් දීමේ මිථ්‍යාචාරය

2018 ඔක්තෝම්බර් 19 වැනි දින Daily News පුවත්පතට රුවනි ජයවර්ධන සහ රුවන්ති අභයකෝන් ලියන ලද Spare the rod! ලිපියේ සිංහල අනුවර්තනයයි.

නවීන ජීවන රටාව විශාල පිරිසක් තුළ මානසික ආතතිය සහ කාංසා තත්ත්වයක් ඇතිකර තිබේ. ඉන් ඉච්ඡාභංගත්වයට පත් මවුපියන් ඉතා සුළු දෙයටත් දරුවන්ට කෑගසනු හෝ දඬුවම් කරනු හෝ දැකිය හැකිය. ඉච්ඡාභංගත්වය ඇති වන්නට විවිධ හේතු ඇත. අධික ලෙස වැඩ කිරීම, පවුල් සංස්ථාවේ විසිරීම්, ආර්ථික සහ ගෘහස්ත කරදර, වෛවාහික ගැටලු මෙන්ම මධ්‍යසාර ඇබ්බැහිය ඒ අතර ප්‍රධානය. මෙවැනි ගැටලු නිසා ඉච්ඡාභංගත්වයට පත්වන මවුපියෝ තම දරුවන් සමඟ කටයුතු කරන්නට යෑමේදී ඉතා ඉක්මනින් කිපෙති. යුනිසෙෆ් සංවිධානය පවසන අන්දමට ශ්‍රී ලංකාවේ වෙසෙන වයස අවුරුදු 1ත් 14ත් අතර වයස් ඛණ්ඩයේ දරුවන්ගෙන් 73.4%ක්ම නිවෙසේදී මවුපියන් අතින් ශාරීරක දණ්ඩනවලට ලක් වෙති.

"ශ්‍රී ලංකාවේ දරුවන් නියමිත වයසට වඩා වැඩිහිටිභාවයට පත්වීමේ අවදානමක් ඇත. එය සිදුවන්නේ දරුවන්ට හොඳ පෝෂණයක්, උත්තේජනයක් සහ රැකවරණයක් නොලැබෙන බැවිනි. ආහාර, සෙල්ලම් කිරීම සහ ආදරය යන අංශ එමඟින් නිරූපණය කෙරේ. ආහාර පාන, සෙල්ලම් කිරීම සහ ආදරය දරුවන්ට නොලැබුණහොත් වයස අවුරුදු පහක් වන විට ඒ දරුවන්ගේ මොළයේ වර්ධනය සම්පූර්ණ ධාරිතාවයට ළඟා නොවේ. දරුවකු පස්වන වියට එළඹෙන විට ඒ දරුවාගේ මොළයේ සම්පූර්ණ ධාරිතාවයෙන් 85%ක් පමණ වර්ධනය වී අවසන්ය. දරුවකුගේ ජීවිතයේ මුල් අවුරුදු කිහිපයේදී සිදුවන මොළයේ වර්ධනය, සාධක කිහිපයක් මත රඳා පවතී. හොඳ පෝෂණයක් ලැබීම, සෙල්ලම් කිරීම, නිවෙසින් සහ පෙර පාසලෙන් ලබන උත්තේජනය සහ ආදරය මෙන්ම ප්‍රචණ්ඩත්වය, අපයෝජන සහ නොසලකා හැරීම්වලින් ආරක්ෂා වීමත් ඒ සාධක අතර ඇත. මේවා ඉතා සරල ක්‍රියාකාරකම් හරහා දරුවන්ට ලබාදීමට මවුපියන්ට හැකිය. කල් පවත්නා ධනාත්මක වෙනසක් ඇති කරන්නට එය හේතු වේ." යනුවෙන් යුනිසෙෆ් ශ්‍රී ලංකා ප්‍රකාශයෙහි දැක්වේ.

මෙරට ගුරුවරුන්ගෙන් දරුවන්ට එල්ල වන දඬුවම් වාර්තා වීම වැඩි වී ඇති අතර එය මෑත භාගයේදී මතභේදාත්මක තැනෙකට ද ළඟා වෙමින් තිබේ.

කුමන ස්වභාවයකින් වුව දරුවන්ට බරපතල දඬුවම් ලබා දීම දරුවාගේ ශාරීරික සහ මානසික වර්ධනයට විපත්තිදායක ය. දරුවන්ට දඬුවම් දෙන්නේ යහපත් චේතනාවෙන්ය යන න්‍යායෙහි එල්බගෙන දැඩිව කටයුතු කරන අය දඬුවම ඵලදායි බව අවධාරණය කරති. එසේ වුවත් දඬුවම ඵලදායීය යන්න මතභේදාත්මකය; එමෙන්ම සැකමුසුය.

හැසිරීමෙහි ගැටලු

බියක් උපදවන පරිසරයක් තුළ වෙසෙන දරුවකුට විනය උගත නොහැකිය. දරුවාගේ තට්ටම්වලට අතින් පහර දීම දරුවන්ව හික්මවන ක්‍රමයක් ලෙස භාවිතයට ගැනේ. එහෙත් එමඟින් ළමයාගේ චර්යාවෙහි කෙටිකාලීන සහ දිගු කාලීන ගැටලු ඇති වේ.

"..දඬුවමක් ලෙස පහර දීම, ළමයා හික්මවීමට පිළිතුරක් නොවේ. කෙටි කලකට දරුවා කීකරුව තබා ගැනීමට පහසුම ක්‍රමයක් ලෙස සමහරු මෙය සලකනවා. ඒත්, ඔහුට හෝ ඇයට හෝ දඬුවම් ලබා දෙන්නේ මන්දැයි කියන ප්‍රශ්නයට පහර දීමෙන් පිළිතුරක් ලැබෙන්නේ නැත. අඛණ්ඩ දඬුවම, බැන වැදීම, විවේචනය කිරීම, පහර දීම නිසා දරුවාගේ ස්වභාවික සහ පෞරුෂ වර්ධනයන්ට බාධාවන් ඇති විය හැකිය. පහර දීම සහ දරුණු ලෙස ආක්‍රෝෂ පරිභව කිරීම, දරුවා නිවැරැදි කිරීමට හෝ ප්‍රතිසංස්කරණය කිරීමට හෝ ඇති ඍණාත්මක උපක්‍රමයක් ය." යනුවෙන් මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා මහතා පවසයි. මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා මහතා ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ ආරම්භක සභාපතිවරයා ද, ළමා රෝග පිළිබඳ චිකිත්සකයෙක් ද, ළමා ආරක්ෂණය පිළිබඳ ජනාධිපති කාර්යය සාධක බලකායේ හිටපු සාමාජිකයෙකි.

අනෙක් අයගේ අවධානය තමන් වෙත යොමු කරවා ගැනීම සඳහා දරුවන් ඇතැම් ක්‍රියාකාරකම්වල යෙදෙන බව මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා මහතා පවසයි. පහර කෑම හරහා අනෙක් අයගේ අවධානය තමන් වෙත හරවා ගන්නට දරුවාට පුළුවන් විය හැකිය. එසේ වුවත් ගුරුවරයාට හෝ මවුපියන්ට හෝ කරදරයක් වී තිබුණු ගැටලුව දරුවාට පහරදීමෙන් විසඳෙන බවක් අදහස් නොවේ.

පෞරුෂය

වර්ධනය වන දරුවන්ට දැඩි විනයක් අවශ්‍ය යැයි විශ්වාස කිරීම, බරපතල සදොස් උපකල්පනයකි. දරුවන් ස්වභාවයෙන්ම වැඩිහිටියන්ට ගැටලුකාරී බැවින් දැඩි විනයක් වුවමණා යැයි කියන උපකල්පනය ඇති වී තිබේ. ඒ කියන දැඩි විනය, අභ්‍යාසයෙහි යොදවන්නට ගියහොත් දරුවා නරක අතට හැරෙනු නිසැකය.

දරුවන් උපතින්ම ඇට්ටර ගති ගෙන නොඑන බව මහාචාර්යවරයා පෙන්වා දෙයි. දරුවන්ගේ චරිතය සහ පෞරුෂය හැඩ ගැසෙන්නේ ඔවුන් ජීවත් වන පරිසරයට අනුකූලවය. මවුපියන්, සමාජය මෙන්ම මාධ්‍ය දරුවන්ගේ මානසික වර්ධනයට සම්මාදම් වේ.

"...දරුවකු තමන්ට අවශ්‍ය කුමන හෝ දෙයක් ලබාගන්න ඇඬිල්ල අවියක් කරගන්නවා. මවුපියන්, දරුවා ඒ විධියට ඉල්ලන, ඉල්ලන දෙය ලබා දුනහොත් දරුවා අවබෝධ කරගන්නවා; තමන්ගේ උපක්‍රමය හරියටම වැඩ කළ බව. ඉන්පසු ඔහු හෝ ඇය හෝ ඒ උපක්‍රමය නැවත නැවත භාවිතයට ගන්නවා" යැයි මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා මහතා පවසයි.

කර්කෂක විනය (ශාරීරික, වාචික සහ මානසිකව) දරුවාට සහ සමාජයට හානිකර බවට සාක්ෂි ඇතැයි යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා අධ්‍යනාංශයේ ආරාධිත දේශක ආචාර්යය ඩී.සී. අම්බලවානර් මහතා පවසයි.

"...වේවැල භාවිත නොකිරීමෙන් ළමයි නරක් වෙනවා කියලා කාලයක් පිළිගත්තා. දරුවන්ට ශාරීරික දඬුවම් දීම පාසල් තුළත් නිවසේදීත් අද කෙරෙන දෙයක්. හුඟක් අය හිතන්නේ ඒක අපේ සංස්කෘතියේ කොටසක්ය කියලා. එහෙම නොකළොත් දරුවන් තුළ හික්මීමක් ඇති කරන්න බැහැ කියලා හිතනවා. ඒත් වැඩිහිටියන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අපි සමාජයක් හැටියට භාර ගන්නේ නැහැ. දරුවන්ට ශාරීරක දඬුවම් පැමිණවීමේ හානිකර ප්‍රතිවිපාක අපට පෙනෙන්නේ නැහැ. .. "යැයි ආචාර්යය අම්බලවානර් මහතා පවසයි.

පාසල් සහ අනෙකුත් අධ්‍යාපන ආයතනවලදී දරුවන්ට එරෙහිව නැඟෙන ප්‍රචණ්ඩත්ව බලපෑම ශාරීරික තුවාලයකට එහා දෙයක් සිදු කරන බව ආචාර්යය අම්බලවානර් මහතා අවධාරණය කරයි.

ශාරීරක සහ චිත්තවේගාත්මක ප්‍රචණ්ඩකාරී අත්දැකීම් දීර්ඝකාලීනව අත්විඳින දරුවන් තුළ ඒ බලපෑම ඔවුන් වැඩිහිටි වියට එළඹෙන තුරුම තියෙන්න පුළුවන්. එවැනි අයගේ මොළයේ වර්ධනයට හානි විය හැකිය. මානසික සහ ශාරීරික සෞඛ්‍ය ගැටලු ඇති වෙන්නත් ඉඩ තියෙනවා. එහෙම ඇතිවෙන ගැටලු අතර හෘදයාබාධ, විවිධ ද්‍රව්‍යයවලට ඇබ්බැහි වීම සහ විශාදය වැනි තත්ත්ව බහුලය. ලාබාල මොළයට වුවත් ආතතියේ බලපෑම් දැනේ.

ශාරීරික ප්‍රචණ්ඩත්වය

ප්‍රචණ්ඩත්වය, දරුවන්ට ඉගෙන ගැනීමට සහ පාසලේ ක්‍රියාකාරකම්වලට බාධාවක්. ඒ වගේම සහනුකම්පන වර්ධනය, ආක්‍රමණ පාලනය අනෙක් අය සමඟ සම්බන්ධතා ගොඩනඟා ගැනීම වගේම මවුපිය-දූ දරු සම්බන්ධතාවයටත් ප්‍රචණ්ඩත්වයෙන් හානි පැමිණෙනවා. මේ තත්ත්වය ශ්‍රී ලංකාව ආශ්‍රයෙන් කෙරෙන අධ්‍යයනවලින් සනාථ වෙලා තිබෙනවා. ..."යැයි ආචාර්යය අම්බලවානර් මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

"...ප්‍රචණ්ඩත්වයට සාක්ෂි දැරීම සහ අත්විඳීම තුළ කෙනෙකු ප්‍රචණ්ඩත්වයට පෙළඹීමේ ප්‍රවණතාවයක් තියෙනවා. තම ළමා කාලයේදී බලවත් ශාරීරික හිංසනයන්ට ලක් වූ දරුවන් වැඩිහිටියන් බවට පත්ව දරුවන් ලද විට ඒ දරුවන් පමණක් නොව තමන්ගේ සහකරුවන්ට එරෙහිවත් ප්‍රචණ්ඩ ක්‍රියාවල නියැලෙනවා. ලංකාවේ උතුරු පළාතේ පිරිමි පාසල්වල ශිෂ්‍ය නායකයන් තමන්ට පැවරිලා තියෙන කාර්යයන් කරන්නේ ඔවුන්ට පහළින් ඉන්න ශිෂ්‍යයන්ට පහර දෙමින්. මේ ප්‍රශ්නය ලංකාවේ අනෙක් පළාත්වල පාසල්වලත් තිබෙන ගැටලුවක්. "යයි අම්බල්වානර් මහතා පවසයි.

 

දරුවන්ගේ හඬ

ප්‍රචණ්ඩත්වය පිළිගන්න තැනෙකට දරුවන් රැගෙන ඒමෙන් ද, දරුවන් ඔවුන්ගේ ජීවිතයෙන් වැඩි කාලයක් ප්‍රචණ්ඩත්වයට නිරාවරණය කරමින් ද සිටින අප විශ්ව විද්‍යාලවල නවක වදය දැක මවිතයට පත්වීම ගැනත් විද්වත්හු අදහස් දක්වති.

නිවැරදි කිරීම හෝ දරුවා අවනත කර ගැනීම හෝ අරමුණු කරගෙන දරුවාට පහර දීමට අයිතියක් ඇතැයි කියා බොහෝ වැඩිහිටියෝ විශ්වාස කරති. එසේ වුවත් සත්‍යයය, කිසිවකුට පහර දීමට තවත් කෙනෙකුට අයිතියක් නැත යන්නයි.

දරුවන්ගේ හඬ නොසලකා හැරීමට හෝ එය මහජන අවධානයට ලක්වීමෙන් ඈත් කිරීමට හෝ අපේ සම්ප්‍රදායෙන් රුකුලක් ලැබෙනවා. ළමයින්ගේ හඬ නියෝජනය වන ළමා සම්මන්ත්‍රණ, ළමා සැණකෙළි හෝ යොවුන් පාර්ලිමේන්තු හෝ පැවැත්වුණත් යථාර්ථය වන්නේ අපේ දරුවන් තවමත් හඬක් නොනැඟෙන තැනක සිටිනවාය යන්නයි.

විනය ඇති කිරීමේ නාමයෙන් දරුවන්ට ශාරීරික දඬුවම් පමුණුවන නිසා, ඉතා දරුණු සහ කෘර වධ හිංසනයන්ට දරුවන්ව ලක් කිරීම වළක්වන්නට බැරි තත්ත්වයකට පත්ව ඇති බව ආචාර්ය හිරන්ති විජේමාන්න මහත්මිය පවසන්නීය.

ආචාර්ය හිරන්ති විජේමාන්න මහත්මිය ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ හිටපු සභාපතිනියක වන්නීය. එමෙන්ම යුනිසෙෆ් සංවිධානයේ අධ්‍යක්ෂිකාවක ලෙසත්, ළමා ආරක්ෂාව පිළිබඳ ජනාධිපති කාර්යය සාධක බලකායේ හිටපු සාමාජිකවක ලෙසත් ඈ කටයුතු කර ඇත.

"... විශ්වාසයෙන් වාර්තා කිරීමට හැකි ක්‍රමවේදයක් ළමයින් සඳහා වුවමණා වෙනවා. එවැනි වැඩපිළිවෙලකට බහු පාර්ශ්වීය, මනා සම්බන්ධීකරණයක් අවශ්‍යයයි. මවුපියන්, ප්‍රජාව, පාසල, දරුවන්, රැකබලා ගැනීමේ විකල්ප ආයතන වගේම දරුවන් සමඟ සහ දරුවන් සඳහා වැඩ කරන ආයතනත් දැනුම්වත් කිරීම අවශ්‍යයි. ..." ආචාර්යය හිරන්ති විජේමාන්න මහත්මිය පවසන්නීය.

ළමා ආරක්ෂණය පිළිබඳ ජනාධිපති කාර්යය සාධක බලකායේ හිටපු සාමාජික, ජනාධිපති උපදේශක, අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු ලේකම් ආචාර්ය තරා ද මෙල් මහත්මිය පවසන්නේ නවක වදය නමින් විශ්වවිද්‍යාල තුළ කෙරෙන සාහසික සහ ම්ලේච්ඡ ක්‍රියා, ඍණාත්මක හැඟීම්වල සහ මනෝවිද්‍යාත්මක ගැටලුවල ප්‍රතිඵලයක් යැයි කියාය.

"..ශාරීරික දඬුවම්වලට ගොදුරු වූ දරුවන් සම්බන්ධයෙන් අධ්‍යයනයන් කෙරී තිබෙනවා. ඒ දරුවන්ගේ හිතේ ඇති කම්පනයන් ඔවුන්ගේ පසුකාලීන ජීවිතවලට බලපා තිබෙන අන්දම ඔවුන්ගේ චර්යාවෙන් පැහැදිලිවම දකින්න ලැබිලා තියෙනවා. ලංකාවේ අනාගත පරපුර මානසික වශයෙන් නිරෝගී තැනකට රැගෙන එන්න නම් මේ ගැටලුව ඉතාම ඉක්මනින් විසඳා ගන්න ඕනෑ. ..." යැයි කියා ආචාර්ය තරා ද මෙල් පවසන්නී ය.

මතු සම්බන්ධයි.

අනුවර්තනය
මංජුලා විජයරත්න 


නව අදහස දක්වන්න

Or log in with...