මවුපියෝ මගෙ හොදම දෙවිවරු | දිනමිණ

මවුපියෝ මගෙ හොදම දෙවිවරු

ධර්මසිරි බණ්ඩාරනායක

 උප්පැන්නේ නමින්ම අපේ කතාබහ අරඹමූ?

කලූකපුගේ ධර්මසිරි බණ්ඩාරනායක. ඉපදෙන්නේ 1949 ඔක්තොම්බර් මාසේ 6 වැනිදා රයිගම් කෝරළේ දී.

 වැඩිපුර හැදි වැඩෙන්නේ වාද්දුවේ ?

මම සහ අයියා මෙලොව දකින්නේ තාත්තට ව්‍යපාර ගණනාවක් තිබුණු සමෘද්ධිමත් කාලෙක. මගේ පියා ගේ ගම කිරිබත්ගොඩ නිසා අපි එහේ හිටියේ. පස්සේ කාලෙක දී තාත්තාගේ ව්‍යාපාර සම්පුර්ණයෙන්ම ඇද වැටුණා. ණයට අරගෙන ව්‍යාපාර කළා. ඒ ණය ගෙවාගන්න බැරි වෙලා නඩු හබවලට මුහුණ දෙන්න වුණා. අම්මා අපිව එක්කගෙන ඇගේ බණ්ඩාරගම මහ ගෙදරට ගියා. පොඩි කාලේ ජීවත් වුණේ එහේ. අවුරුදු දෙකකට පස්සේ ආච්චි, අපේ අම්මට ඉඩමක් ලියලා දුන්නා. 1956 දී විතර අපි එහේ පදිංචියට ගියා. ඒ තමයි වාද්දුව. පාසල් ගියෙත් ඒ හිටපු තැන්වලමයි. වාද්දුව පිරිමි පාසල, වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය සහ මොරටුව සද්ධර්මලංකාර පිරිවෙනට ගියා. උසස් අධ්‍යාපනය සඳහා ඇතුළු වුණේ කළුතර දිස්ත්‍රිකයේ තිබෙන, කලා හදවතක් ඇති දරුවෙක්ට යන්න පුළුවන් හොඳ ම තැන වුණු හොරණ විද්‍යාරත්නයටයි.

 ඔබේ ළමා කාලය ඒ තරම් සුන්දර නැතැයි මා අසා තිබෙනවා?

මගේ මවගේ ධනය තමයි පියා වැඩි වශයෙන් ව්‍යාපාරවලට යෙදෙව්වේ. ඒ දේවල් සම්පූර්ණයෙන් ම නැති වෙලා යද්දි, මවට ලොකු මානසික පීඩනයක් ඇති වුණා. වෛද්‍ය ප්‍රතිකාර කළත්, ඒ ආතතිය නිසා ඇය නිතරම දැඩි කෝපයකින් ජීවත් වුණා. කාලෙක දී ඇගේ සිහි කල්පනාව අඩු වුණා. තාත්තා පොඩි කාලේ ඔරලෝසු අලූත්වැඩියා කරන්න දැනගෙන හිටියා. ව්‍යාපාර බංකොලොත් වුණාට පස්සේ, ඔහු ඔරලෝසු අලුත්වැඩියා කරන රැකියාවට ගියා. මම මේ සිදුවීම්වලට මුහුණ දෙන්නේ අවුරුදු 7 හෝ 8 වගේ කාලෙදි. මවුපියන්ගේ ආදරය ලැබිය යුතු කාලයේ, ඒ ආදරය ලබන්න මට බැරි වුණා. පැත්තකට වීසි වුණු ළමා දිවියක් තමයි මට තිබුණේ. මම අම්මටවත්, තාත්තටවත් ඒ ගැන දොස් කියන්නේ නැහැ. එදා අපි ජීවත් වුණේ, ඔවුන් මුහුණ දීපු ප්‍රශ්න තේරුම් ගන්න පුළුවන් වයසක නෙමෙයි .

 ඒ පරිසරය තුළ ඔබ මුහුණ දුන් හුදෙකලාව මඟහරවා ගන්නේ කොහොමද?

ඒ හුදෙකලාව තදින් බලපෑවා. රංචු ගැහෙන්න විවිධ වූ තරාතිරමේ අය ඇසුරු කරන්න ආසාව තිබුණට, ඒ වුවමනාව ඉටු කර ගන්න බැරි වුණා. ඒ වුවමනාව ඉටු කර ගන්න මට භාග්‍ය ලැබුණේ කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වීමෙන්. ඒ අවතීර්ණ වෙන්නෙත් නාට්‍ය හෝ චිත්‍රපට හැදීමේ හැඟීමකින් නෙමෙයි.

 ව්‍යාපාරික පවුල් පසුබිමක හැදී වැඩුණු ඔබට, ව්‍යාපාරිකයෙක් වෙන්න අදහසක් තිබුණේ නැද්ද?

එහෙම දැනුණේ නැහැ. අප ඒ පැතිවලට යොමු කරන්න පියාට අවශ්‍යතාවක් තිබුණෙත් නැහැ. මගේ පියා බොහොම අහිංසකයි. මගේ තාත්තා, කොතරම් අඩු පාඩූ තිබුණත්, කලා නිර්මාණයක් බලන්න මුදල් ඉල්ලද්දි, කවදාවත් බැණලා එලවපු කෙනෙක් නෙමෙයි . එහෙම තාත්තා කෙනෙක් ජීවිතේ ඉන්නවා කියන එක ම භාග්‍යයක්.

 කලා ක්ෂේත්‍රට එන්න පසුබිම සැකසුණේ?

හොරණ විද්‍යාරත්න විද්‍යාලයේ උසස් පෙළ කරන කාලේ තමයි හොඳ කලා නිර්මාණයක වැදගත්කම දැනෙන්න පටන් ගත්තේ. රස විඳිය හැකි ගීතයක් ඇහෙද්දි, එතෙක් රසවින්දයි කියලා හිතුණු ගීත මගෙන් බැහැර වෙන්න ගත්තා. එය කිසියම් ගවේෂණාත්මක ගමනක ප්‍රතිඵලයක්. මට සතුටින් ජීවත් වෙන්න අවස්ථාව ලැබුණේ කලා ක්ෂේත්‍රයට පැමිණීමෙන් පසුවයි.

 මේ අගහිඟකම් මැද්දේ කලාවට පිවිසෙන එක අභියෝගයක් වෙන්න ඇති ?

අද වගේ ඇඳුමෙන් පැලැඳුමෙන් කෙනෙක් දිහා බලලා තීරණ ගන්න සමාජයක් ඒ යුගයේ තිබුණේ නැහැ. හැම කෙනක් අතරම කිසියම් වු මනුෂ්‍ය සෙනෙහසක් තිබුණා. ඒ කාලේ ගුරුවරුන්ගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. අනාගතේ මෙහෙම පුද්ගලයෝ බවට පත් වෙන්න පුළුවන් කියලා එදා ගුරුවරු සමහරවිට අපේ දක්ෂතා අඳුර ගන්න ඇති. හොරණ විද්‍යාරත්නය තමයි මගේ නාට්‍ය කලාවේ තිඹිරි ගෙය. එහිදි ගුරුවරු කිහිප දෙනෙක් පාසල් නාට්‍ය කිහිපයක් නිර්මාණය කළා. හේමසිරි ලියනගේ මහතාගේ නාට්‍යයක මට රඟපාන්න අවස්ථාව ලැබෙන්නේ එතැනින්. ඒ ඔස්සේ දයානන්ද ගුණවර්ධන, හෙන්රි ජයසේන වගේ අය අඳුරගන්න ලැබුණා. ඒ අවස්ථාව මං ලැබූ භාග්‍යයක්.

 ඔබ මුහුණ දුන් සමහර අත්දැකිම්, ඔබේ නිර්මාණවලට යොදාගෙන තිබෙනවා.?

ඔව්. පරසතු මල් චිත්‍රපටයේ ‘බොනී මහත්තයගේ‘චරිතය මගේ ජීවිතේට සමීපයි.

බොනී මහත්තයගේ ජීවතේ සරසපු උපාංග තිබෙනවානේ. ස්ත්‍රීය, සුරාව ඒ ගැනම නෙමෙ මම කියන්නේ. ඒ තනිකම නැති කර ගැනීමට ගත් හැම ගමන් මඟකම අවසානය වුණේ, අවසානයෙත් තනි වීමයි. මම හිතන්නෙ, ජීවිතේ වයස්ගත වීමකුත් තියෙන නිසා, මරණය දක්වාම එය තරණය කරලා, ජයග්‍රහණයක් ලබන්න බැරි වෙයි.

 ඔබේ නිර්මාණකරණයේ විශිෂ්ට නිර්මාණය ලෙස ඔබ දකින්නේ?

එය හරියට, දරුවෝ පස් දෙනෙක් ඉන්නකොට, කොයි දරුවටද වැඩියෙන් ආදරේ කරන්නේ කියලා අහනවා වගේ. මම අද වෙනකල් හදලා තියෙන්නේ නාට්‍යය පහයි. චිත්‍රපට පහයි. ඒ සියල්ලම විවිධ වූ තේමා සහිතයි. මගේ පළමු වැනි චිත්‍රපටය ‘හංස විලක්‘. ප්‍රේක්ෂක ප්‍රතිචාර පැත්තෙන් එය විශේෂයක් දක්වනවා.

 කලා ක්ෂේත්‍රය වෙනුවෙන් කළ යුතුයැයි සිතූ, එනමුත් මේ වනතෙක් කළ නොහැකි වූ දේ තියෙනවද?

ඔව්. ඒ පිළිබඳ පසුතැවීමක් තියෙනවා. මේ වගේ රටක මට නිහඬ වෙන්න වෙලා තියෙන්නේ. නිර්මාණ කිරීම මම ජය ගත්තේ තනි මහන්සියෙන්. කලින් කළ නිර්මාණ 10 ටම මම මුදල් හොයාගන්න දරපු මහන්සිය අප්‍රමාණයි.

 කලාව ඔබේ වෘත්තිය කරගන්න හිතුණේ නැද්ද?

මම කලාව වෘත්තිය කර නොගත් නිර්මණකරුවෙක්. ඒත්, 1985 වසරෙදි, රැකියාවෙන් ඉවත් වෙන්න මං තීරණය කළා. ඉන් පස්සේ දැඩි ආර්ථික අහේනියකට ලක්වෙලා, ජීවිතේ බේර ගන්න ඕන නිසා, 1989 ව‍සරෙදි ශ්‍රී ලංකාව අතහැරලා ගියා. රැකියාවක් නැතිව ඒ අවස්ථාවේ දී මුහුණ දුන් සිදුවීම් තමයි, ගැටලූ බවට පත් වුණේ.

 ඔබට හමුවු හොඳ ම නිර්මාණකරුවා කවුද ?

මං වඩාත් ම සමීප වු නිර්මාණකරුවෝ විදිහට සයිමන් නවගත්තේගම, වසන්ත ඔබේසේකර සහ ධර්මසේන පතිරාජ හඳුන්වන්න පුළුවන්.

 කලාව නිසා ජීවිතේ අතපසු වූ තැන් තිබෙනවද?

නැති වුණු දේ වැඩියි. ලැබුණු දේ මදියි කියලා මගේ තෘෂ්ණාවක් නැහැ. වෙන කෙනෙක් සතුටෙන්, සිනහාවෙන් ගත කරනකොට, මම ඒ දිහා බලලා අඬපු කෙනෙක්. එහෙම අවස්ථා මුළු ජීවිත කාලේ පුරාම තියෙනවා. කවුරුත් ඒකට වැරැදියි කියලා මං කියන්නේ නෑ. ඒ මම ලබා ගත්ත ජීවිත අයිතියක්.

 කලාකාරයෙක් වීම ගැන කලකිරුණු අවස්ථා ?

එමටයි. හැබැයි කිසි දවසක අතහැරලා යන්න හිතිලා නැහැ.

 ඔබේ ජීවිත කතාව කවදා හෝ සිනමාපටයකට නැගේවිද?

මම එහෙම හිතුවා. මගේ ‘හංස විලක්‘ චිත්‍රපටය මට ඊට බොහොම බලපෑම් කළා. ඒ අත්දැකීම සිනමා භාෂාවෙන් ඉදිරිපත් කළාට, ඒ හා සමාන ජීවිතයක් මට උරුම වේවී කියලා මම හිතුවේ නැහැ. ‘හංසවිලක්‘ ඒකෙ පළමු අවස්ථාව. මම හිතන්නේ වර්තමානයේ චිත්‍රපටයක් කරනවා නම්, වැඩිය හොඳ මා දෙස බලන මනුෂ්‍යයට රූප මාධ්‍යයෙන් මරණය සිහිපත් කරලා, ඔහුට මගේ අතීතය කෙබඳුද කියන්න පුළුවන් ආකෘතියක් තුළ යම්කිසි ඇමතීමක් කරන්නයි. මෑතක දී මට තවත් කාරණයක් කල්පනා වුණා. මගේ කලා ජීවතේ කළ සෑම නිර්මාණයක්ම අතිශයින්ම දුඃක්ඛිත ලෙස නිර්මාණය වූ නිර්මාණ මිසක්, මල් යහනාවක් මත ලස්සනට ඉඳගෙන නිර්මාණය වූ කලා කෘති නෙමෙයි. ඒ නිර්මාණකරණයේ අත්දැකීම් එක්කරලා, මගේ එක් එක් කලා කෘතියට අදාළව එක එක පොත බැගින් ලියන්න බලාපොරොත්තු වෙනවා. එහෙම නොකර මරුණොත්, එය මට ලොකු පාඩුවක්.

 හුදෙකලාව ඔබේ තරුණ සහ වැඩිහිටි අවධිය වසා ගත් තැන් තිබුණාද?

සෙනඟ ගොඩක් මැද්දේ තනිවුණු අවස්ථා තියෙනවා. ඒ අපේ මතවාද අතරෙයි. මම ජාතිවාදයට විරුද්ධ කෙනෙක්. දෙමළා කියලා ඒ මිනිහා පහත් කරලා සලකන සමාජයක් පවතින බව මට දැනගන්න ලැබෙන්නෙ, පසු කාලෙක, සමාජයේ දැනුම් තේරුම් තියෙන කෙනෙක් වෙනකොටයි. එය ලොකු වේදනාවක්. මේ මිනිස්කම මා තුළ පිහිටන්නට, කලාව තමයි මට දායාදය ලබා දෙන්නේ. කලාවේ යෙදෙමින් නිර්මාණ ඇසුරු කර ගත්තහම, මනුෂ්‍යයන්ට එහෙම වෙන්න පුළුවන්. අද වෙනකොට තිරිසන්කම මනුෂ්‍යත්වය වෙලා, මිනිස්කම සම්පුර්ණයෙන්ම බැහැර වූ සමාජයක තමයි අපි ජීවත් වෙන්නේ. අපේ රටට එහෙම වෙන එක පුදුමයක්. අපි බෞද්ධයෝ කියලානේ කියන්නේ. මම බෞද්ධයෙක් කියන දේ මං ළඟ නැහැ. හැබැයි මගේ අතින් කාටවත් හිංසාවක් වෙන්නේ නැහැ. බෞද්ධකමට ඒ ඇති. මම ඇසුරු කරපු කලා නිර්මාණ මට මනුෂ්‍යයෙක් වශයෙන් ජීවත් වෙන්න උදවු වුණා. එය පණිවිඩයක් විදිහට සමාජගත කරන්න මම කැමැතියි. අමානුෂික ක්‍රියා ගැන මම කතා කරනවා. එය මගේ අයිතියක්. මේ දක්වාම ඒ අයිතිය මා සතුයි. එය මගේ මරණෙන් අහෝසි වෙනතුරු, කාටවත් නතර කරන්න බැහැ.

 පෞද්ගලික ජීවිතයේ ඔබ මුහුණ දුන් අභියෝග?

මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. ඒ අයට ඔවුන්ගේ මව විසින්ම ඉතා ම වෙහෙස මහන්සි වෙලා ඉගැන්නුවා. දුක් වෙන්න කාරණාවක් නැහැ. ඒත්, හැලහැප්පිලි තිබුණා. ඒ හැම දේම පුළුවන් ආකාරයට දරා ගත්තා.

 කිහිප විටෙකදීම ඔබ ජීවිතය අතහැර යන්න උත්සාහ කළා?

ඔව්. කිහිප විටෙකම බරපතළ විදිහට ඒ සඳහා උත්සාහ කළා. මම දැඟලූවටම මැරෙන්නේ නෑනේ. තව ජීවත් වෙන්න මොකක් හෝ භාග්‍යයක් ඇති. මම මැරෙන්න උත්සාහ කරද්දි, ඒකට මොකක් හරි ප්‍රතිකාරයක් තියෙනවානේ. ඒ ප්‍රතිකාර මඟින් මට යම් ප්‍රමාණයක සහනයක් ලැබුණා.

 ජීවිතේ නැවත හදා ගන්න අවස්ථාවක් ලැබුණොත්?

දැන් මට වයස 69ක්. ජීවිතේ හදා ගන්න බැහැ. දැන් තියෙන්නේ මරණය.

 ජීවිතය පිළිබඳ යම් කලකිරීමකද ඉන්නේ?

විශාල වශයෙන් තියෙනවා. පැවිද්දෙක් විදිහට ජීවත් වීම, ඒ කලකිරීමට සුවයක් විදිහට මම හිතන්නේ නැහැ. කලකිරීමෙන් ජීවත් වීමෙත් යම් සුවයක් විඳිනවා. බෞද්ධකම හෝ කිසි ම ආගමක් මම කරගහ ගෙන නැහැ. ආගම කියන්නේ කාටවත් කරදරයක් නොවී ජීවත් වීමයි.

 ඔබේ ජිවිතයේ ස්වර්ණමය යුගයක් තිබුණාද?

ස්වර්ණමය යුගයක් මගේ ජීවිතේ තිබුණ ද කියලා කියන්න බැහැ. මගේ වටේ ඉන්න යාළුවො තමයි මා දකින්නේ. ඔවුන් එදා දැක්ක ධර්මසිරිම තමයි අදත් දකින්නේ. ස්වර්ණමය කියලා කියන්න පුළුවන් පවුල් පසුබිමක් මට නැහැ. මට හිටපු හොඳ ම දෙවිවරු මවුපියෝ. ඒ දෙවිවරු නැති වුණාට පස්සේ, මට තව දෙවිවරු නැහැ.

 ජීවිතේ ලද උතුම් ම දායාදය මොකක්ද?

නිර්මාණකරුවෙක් වශයෙන් ශ්‍රී ලංකාව වගේ රටක නම කියූ පමණින් හඳුනන මිනිසකු බවට පත් වීම. හොර මැරකමෙන් තොරව, හැම නිර්මාණයක දී ම අවංකවම ඒ නිර්මාණය වෙනුවෙන් මම වෙහෙසුණා. ඒ නිර්මාණ එළිදක්වලා මහජනයා ඒක නරඹනකොට, මට ලොකු සතුටක් දැනෙනවා. ඒක වෙනත් කෙනකුට ලැබෙන්නේ නැහැ.

 යම් කාලයකදි සමාජයේ කතාබහට ලක් වූ, නීතියෙන් නොබැඳුණු බැඳීමකින් ඔබ පීතෘත්වය ලබනවා. ඒ අභියෝගයට මුහුණ දුන්නේ කොහොමද?

ඒක සමාජයේ ස්වභාවය. මට වැරැදිලා නැහැ. මම මුහුණ දුන්නේ කිසි ම මිනිහෙකුට මුහුණ දෙන්න බැරි අත්දැකීමකට. මට විලංගු දාන්න සදාචාරයට බෑ. හැබැයි ඒ අත්දැකීම යළි යළි ලබලා, මං කිසි ම කෙනකුට හිංසාවක් කරලා නැහැ.

 අද ඔබ හා ඇය අතර පවතින්නේ කොයි වගේ සම්බන්ධයක්ද?

මව වශයෙන් ඇගේ ගරුත්වයත්, පියා වශයෙන් මගේ ගරුත්වයත් ආරක්ෂා වෙලා තියෙනවා. අපි හොඳ මිත්‍රයෝ. ඒත්, අපි සම්බන්ධ මූලික කාරණාවලදි, ජීවිතේ ආරවුල් ඇති කර නොගෙන ජීවත් වෙනවා. එය බොහෝ දෙනකුට අපහසු කාරණාවක්.

 දැන් ඔබේ ජීවිතය ගත වෙන්නේ කොහොමද?

හැමෝම හවසට ගෙදර යනවනේ. මටත් ගෙදරක් තියෙනවා. ඒ මම හිටිය තැන. ඒ සුවඳ තිබුණු තැනට තමයි මම ගිහිල්ලා තියෙන්නේ.

 ජීවිතේ ගත් වැරැදි තීරණ ?

වැරැදි තීරණ නැහැ. මනුෂ්‍යයෙක් ජීවිතේ පිළිබඳ තීරණ ගතයුතු වෙලාවල, ඒ තීරණ මම අරන් තියෙනවා. අවුරුදු 20 දි මම විවාහ වෙනකොට තාත්තා කිව්වා "මේ විවාහ වෙන වයසක් නෙමෙයි" කියලා.

 ඔබේ ජීවිතයේ සාර්ථක වූ යම් අවස්ථා ඇති?

කලාව වෙනුවෙන් කළ කැපවීම බැලූවහම, මට පෞද්ගලික ජීවිතයක් නැහැ කියලා දැනෙනවා. කලාත්මක ජීවිතයට උපකාර කළ, විශේෂයෙන්ම සඳහන් කළ යුතු කෙනෙක් ඉන්නවා. ඒ බෙනඩික් දොඩංගොඩ. ඔහු මට පියෙක් හා සමානව ඇලූම් කළා.

 ජීවිතයේ තෘප්තිමත් බව දැනුණු කිසියම් වු මොහොතක් මතකයට නැගුවොත් ?

තෘප්තිමත් නැත්නම්, ජීවත් වෙන්න හිතෙන්නෙත් නැහැ. දෛවයෙන් මට යම් ප්‍රමාණයක දේ ලැබිලා තියෙනවා. නොලැබුණු දේ පස්සේ මම හඹාගෙන ගිහින් නැහැ. අල්පේච්ඡ වු ජීවිතයක් ගත කරන්නයි මම උත්සාහ කරන්නේ.යාන වාහන, සුඛ විහරණ මගේ ජීවිතේ හොයලා නැහැ. මට ඕනැම වෙලාවක බස් එකක යන්න පුළුවන්. වාහන තියෙන්නේ අපේ මේ කාල වේලාව අඩු කර ගන්න මිසක්, මහජන ප්‍රදර්ශනයට නෙමෙයි. නිර්මාණ නිසා මනුෂ්‍යයන්ගේ ගෞරවය ලැබිලා තියෙනවා. කාටවත් ඒ නිර්මාණ එක්ක ගැටෙන්න බෑ . ඒ නිර්මාණවල යම් කිසි වූ අපූරු සත්‍යයක් ගැබ් වෙලා තියෙනවා. එය මගේ මරණයෙන් පසු එළියට ඒවි.

 සතුටින් ගෙවුණු දවස් මතකයේ තියෙනවද?

සමස්තයම දුකක්.

 වෙහෙසක් දැනුණහම, ඔබ විවෙකය හොයන්නේ කොහොමද?

දැන් නම් අතිශයින් වෙහෙසකරයි. මරණය මා හොයාගෙන විත්, මගේ ඇස් පියවී වැතිරී ඉන්නකොට, ඒ තමයි ධර්මසිරි සුවය ලබන මොහොත.

 ඔබෙන් තව කෙනකුට ලැබෙන උපදෙස?

එක එක වකවානුවල අපි මනුෂ්‍යයෝ ගැන තීරණ ගත්තා. මිනිස්සු රැවටෙන එක ඉතා ම දුඃක්ඛිතයි . තමන් රැවටුණු බව දැන ගැනීම තමයි මිනිසුන්ට දරා ගන්න බැරි ම දේ. එය දරා ගන්න බැරි වේදනාවක්. ඉදිරියේ දී මිනිස්සු රවට්ටන්නේ නැති මිනිස්සු, පුළුවන් තරම් මේ රටේ බිහි වේවා!

ටානියා මෝසස්
ඡායාරූප - මාලන් කරුණාරත්න


නව අදහස දක්වන්න

Or log in with...