ඔබටත් ඇසේවි ඇන්තූරියම් හඬ | දිනමිණ

ඔබටත් ඇසේවි ඇන්තූරියම් හඬ

වෙළෙඳ ආර්ථිකයට පෙරවදනක් economic + commerce 

 

පාසැල් යාමට සියල්ල සූදානම්ය. දැන් ඉතිරිවී ඇත්තේ අම්මාගේ කාර්ය වන කොණ්ඩය ගෙතීමයි. හැමදාමත් එම කටයුත්ත කණ්ණාඩි මේසය අසලින් ඇරඹුනද අවසන් වන්නේ මිදුලෙනි. ඊට හේතු කීපයකි. උදෑසන හාත්පස අසිරිය, කුරුළු හඬ එකයායට වත්ත පුරා දිලිසෙන බුලත් කොටු දකින දකින්නට අප වඩාත් කැමතිය. තවමත් උදෑසන 6.30 පසුවී නැතත් තාත්තා (චාර්ලිස් සුරවීර) දවසේ කටයුතු අරඹා අවසන්ය. පෙර දිනයේ හමුවූ නාගවල්ලි අත්ත නොමැරෙන සේ පසට යට කළද ඊට අවැසි සාත්තු සප්පායම් කෙරෙන්නේ මේ උදෑසනය.

අම්මා ගෙතූ දිගු වරලස දැන් ඇගේ කර ළඟය. සියල්ල අතීතයට එක්වී අවසන්ය. සුවිසල් වත්ත පුරා පැතිරී තිබූ බුලත් කොටු කිසිවක් නැත. කොටින්ම මා සමඟ අතීතය සිහිපත් කළ අයෝමා සුරවීර වැඩිහිටි කාන්තාවකි. සුවිශේෂී ව්‍යවසායිකාවකි.

අයෝමා සුරවීර වසර 20ක කාලයක් රජයට සම්බන්ධ පෞද්ගලික බැංකුවක විධායක ශ්‍රේණියේ රැකියාවක නිරතවී සිටියේය. නමුත් එහි ඇති අවිවේකී බව මෙන්ම නිරතුරුව සිදුවන දරුවන්ගේ කටයුතු අතපසුවීම් වැනි කටයුතු පිළිබඳ ඇයට තිබුණේ කනස්සල්ලකි.

“මගේ රාජකාරි කටයුතු සමඟ ගෙදර දොර කටයුතු දරුවන්ගේ කටයුතු කරගැනීම කාලය සමඟ සටන් කිරීමක් බවට පත්වී තිබුණා. ඒ වනවිටත් මම හොඳ වැටුපක හිමිකාරියක්. මට වුවමනා වුනා රැකියාවෙන් ඉවත්වීමට, වසර 20ක මගේ යැයි කිවහැකි මුදලක් ඉපැයූ මට ආදායමක් නොලබා ගෙදර සිටීම දුෂ්කර කටයුත්තක් බව මා දැන සිටියා. ඒ නිසාම රැකියාවෙන් ඉවත්වීමට පෙර ආදායමක් ලැබෙන මඟක් සොයාගත යුතුයි. මම දැඩිව විශ්වාස කළා. ඒ අනුව මම නොයෙකුත් ස්වයං රැකියා පිළිබඳව සොයා බැලුවා. අපනයන ඇන්තූරියම් වගාව පිළිබඳව මගේ යහළුවෙකුගෙන් දැනගැනීමට ලැබුණේ ඉන් අනතුරුවයි.

ඒ අනුව මම අපනයන ඇන්තූරියම් වගාව පිළිබදව එහිම ප්ලාන්ට් ආයතනයේ පැවති පුහුණුවකට සහභාගීවී රැකියාව කරන අතරේම වගාව ආරම්භ කළා. මුලින්ම පැළ 300ක වගාවක් ආරම්භ කළේ පැළ 500ක් දැමීම සඳහා ප්‍රමාණවත් සෙවන දැල්ගෘහයන් ඇතුළතයි. රැකියාව කරමින් වුවත් මාස 8ක් පමණ මම වගාව කරගෙන ගියා. ඒ වගේම සැලකිය යුතු මට්ටමේ ආදායමකුත් ලැබුණා. මට හිතුනා රැකියාව කරන අතරේ මෙවැනි ආදායමක් ලබා ගැනීමට හැකි නම් රැකියාවෙන් ඉවත් වුණොත් මට මෙය කොතරම් ඉහළට එසවිය හැකිද කියා. ඒ අනුව මම ක්‍රියාත්මක වුණා. පවුලේ අය මගේ සැමියා ඒ සඳහා එතරම් ප්‍රසාදයක් නොතිබුණත් මම ඒ තීරණය හැම කෙනෙකුගේම යහපත වෙනුවෙන් ගත්තා.

මෙහිදී හිමිවන වැදගත්ම වත්කම වෙන්නේ මහිම ප්ලාන්ට් සවුන්ඩ් ඔෆ් ඇන්තූරියම් ආයතනයෙන් අප වෙත ලබාදෙන ශක්තියයි. පාඨමාලාවෙන් අනතුරුව දැල්ගෘහය සකස් කිරීමේ කටයුතු, පැළසිටුවීම, පොහොර දැමීම, බෙහෙත් දැමීම, රෝග හඳුනා ගැනීම ආදී සියලු කටයුතු සඳහා අපිට අවශ්‍ය දැනුම ලැබෙන තුරුම අධීක්ෂණ නිලධාරියෙකු පැමිණ අපිට අවශ්‍ය සියලු උපදෙස් ලබාදෙනවා.

වැදගත්ම කටයුත්ත වෙන්නේ අපගේ නිෂ්පාදන වන මල්, සහ පැළ එම ආයතනය විසින් නැවත මිලදී ගැනීමය. ඒ නිසා ස්ථිර ගැනුම්කරුවෙකු නිශ්චිත ගැනුම් කරුවෙකු සිටින නිෂ්පාදනයක් නිසා ව්‍යාපාර අතරමඟ කඩාවැටී‍ෙම් අවධානයම අවමයි. මේවනවිට මම මගේ මවු ශාක තුන්සීය පන්සීයක් බවට පත්කරගැනීමට සමත් වුණා. ඉන් අනතුරුව වැඩි ආදායමක් වැඩි ඵලදාවක් ඇති නව ප්‍රභේද වලින් මවු ශාක 1000ක දැල් නවතම දැල් ගෘහයේ ස්ථාපිත කරගන්නේ මගේ සැමියාගේ සහයෙන්. ඒ සඳහා නම් අපි බැංකු ණයක් ලබාගත්තා. මේ ව්‍යාපාරයේ විශේෂත්වය වන්නේ රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ බැංකු අපනයන ඇන්තූරියම් වගාව සඳහා ණය පහසුකම් ලබා දෙන්නේ මහත් විශ්වාසයකින්. ඊට හේතුව ඔවුන් හඳුනා ගෙන තිබෙනවා. මෙම ව්‍යාපාරයට ප්‍රවේශවන අය සාර්ථකත්වයට පත්වෙන බව ඇත්තෙන්ම අපි බැංකු වෙත යනවාට වඩා බැංකු අපවෙත පැමිණෙනවා කීවොත් නිවැරදියි.

අයෝමා සුරවීර අවසන් වශයෙන් මහත් උද්‍යෝගයෙන් පැවසුවේ “මම දැන් රැකියාවෙන් ලද ආදායමට වැඩි මුදලක් මාසිකව උපයනවා. මගේ ගේ දොර කටයුතු, දරුවන්ගේ කටයුතු හැමදේමත් හොඳින් කෙරෙනවා. ඒ වගේම රැකියාව කරන කාලයේ තිබුණ මානසික පීඩන කිසිවක් දැන් නැහැ. මල් එක්ක, ගස් එක්ක, දවසේ පැය කීපය ගත කිරීම හරියට භාවනාවක් වගේ. හිතට තියන සැනසීම සැහැල්ලුව අපමණයි.”

මේ ව්‍යාපාරයේ මහමොළකාරිය කාන්තාවක් වීම කාන්තා පරපුරටම සැබවින්ම ආඩම්බරයකි. ඊට හේතුව තනිව ව්‍යවසායිකාවක් නොවී ඇය මෙරට කාන්තාවන් දහදාහකගේ පමණ ජීවිත එළිය කිරීමට දොළොස්මහේ පහණක් වී සිටීමය. “දැනටත් අප අපනයනය කරන්නේ ලෝක වෙළෙඳ පොළේ ඇති ඉල්ලුමෙන් 3%ක ප්‍රමාණයක් පමණයි. මගේ අදහස කොතෙක් නිෂ්පාදන කළත් අපනයනය කිරීමේ හැකියාව පවතින බවයි. අපේ ගෘහනියන් පිටරට ගොස් දුක් විඳ උපයන විදේශ විනිමයට වඩා මුදලක් ඔවුනගේ ප්‍රියයන් සමඟින් සිටිමින්ම මෙරටදී උපයාගත හැකි මඟක් ලෙසයි මම මෙය හඳුන්වා දෙන්නේ එපමණක් නොවේ, අප ආයතනය සමඟ එක්වී මෙම ව්‍යාපාරයේ මහා පරිමාණයේ නිරතවී දැවැන්ත වශයෙන් නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධව සිටින්නේ වැඩි වශයෙන් පිරිමි අයයි. ඒ අය බොහෝ විට රැකියාවක නිරතවී සිටින අතරේ මෙම ව්‍යපාරයට සම්බන්ධවී කටයුතු කරනවා. නමුත් ඉතාමත් සාර්ථක ලෙස ව්‍යාපාරයේ නිරතව සිටින බව ඔවුන් මාසිකව හෝ ද්මාසිකව අප වෙත ලබාදෙන නිෂ්පාදනයන් හඳුනාගත හැකිය. කෙනෙකුට රැකියාව කරන අතරේ ව්‍යවසායියකයෙකු වීමට අවශ්‍යනම් අපි ඒ සඳහා අවශ්‍ය ව්‍යුහය ගොඩනඟා තිබෙනවා. ඊට සම්බන්ධවී එය ගොඩනැඟීමයි ඔබ කළ යුත්තේ, ක්‍රමවේදය, වෙළෙඳපොළ, වඩාත්ම සුදුසු අමුද්‍රව්‍ය, ඊට අවශ්‍ය පර්යේෂණ, මේ ක්ෂේත්‍රයේ සිදුවන නව ප්‍රවණතා, නවතම විද්‍යාත්මක හා තාක්ෂණික සොයාගැනීම් මේ සියල්ල අප ආයතනය මඟින් අපගේ වගාකරුවන් වෙත ලබාදීමට අපි බැඳී සිටිනවා. එපමණක් නොවේ අපි සමඟ එකතුවන අය නොවැටී ආරක්ෂා කිරීමට අවශ්‍ය සියලු උත්සාහයන් අපි ගන්නවා. මේ ගමන සාමුහිකයි. ඒ නිසාම ගමන් සගයින් කැටුව යාම මිස කිසිවෙකු අත්නොහැරීම අපගේ ක්‍රමයයි.

අපනයන ඇන්තූරියම් ක්ෂේත්‍රයේ වසර 25කට වැඩි අත්දැකීම් ඇති යාමික ගුණවර්ධන මහත්මිය සිය අත්දැකීම් සමූහයේ ප්‍රතිඵලය ලෙස ‍ෙගනෙන ලද ගම්පහ දිස්ත්‍රික්කයේ වෙළෙඳ පොළ ඉදිකර ඇති සවුන්ඩ් ඔෆ් ඇන්තූරියම් ආයතනය ඇයගේ දිගු ගම‍ෙන් ප්‍රතිඵලයයි. එය සෑම අතින්ම අංග සම්පූර්ණ අපනයන ඇන්තූරියම් වගාව සඳහාම ස්ථාපිත කරන ලද දැවැන්ත මධ්‍යස්ථානයකි. එහි සම්මන්ත්‍රණ ශාලා, පුස්තකාල, මල් පිළිබඳ පර්යේෂණ කරන විද්‍යාගාර, ටිෂූ කල්චර් විද්‍යාගාර, පැළ තවාන්, මල් සැකසුම්, මෙන්ම ඊට අවශ්‍ය උපාංග මිලදීගත හැක. ඒ පිළිබඳ අධ්‍යයන කෙරෙන පර්යේෂණ කෙරෙන දැවැන්ත ආයතනයකි. නුදුරේදී විවෘත කිරීමට නියමිත එය යාමිකා ගුණවර්ධන මහත්මියගේ සාර්ථකත්වයේ පිළිබිඹුවක් ලෙස හඳුනාගත හැකිය.

සමදරා ඩයස් මහත්මියගේ කතාවද අපනයන ඇන්තූරියම් වගාකරුවන්ගේ කතා අතර සුවිශේෂිය.

මම මේ ව්‍යාපාරය ආරම්භ කළේ 2011 වර්ෂයේදී පැළ 300 කින්. ඒ දවස්වල මගේ මහත්තයා සේවය කළේ යුද හමුදාවේ. නමුත් මගේ ලොකු පුතා 10 වසරේ සිටින විට මහත්තයා විශ්‍රාමික වයසට ළඟාවී සිටියා. ඒ වන විටත් මගේ පුතාලා ශිෂ්‍යත්වය සමත්වෙලා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට ඇතුළත් වෙලා ඉතාමත් හොඳින් අධ්‍යාපනය ලබමින් සිටියේ. මහත්තයා විශ්‍රාම යාමෙන් අනතුරුව දරුවන්ගේ වියදම් පෙර පරිදි කළ නොහැකිවේ දැයි මා තුළ ගැටලුවක් ඇතිවී තිබුණා. ඒ අනුවයි මම අපනයන ඇන්තූරියම් වගාව තෝරාගත්තේ.

මට සතුටුයි කියන්න පැළ 300 ක මුල් වගාව මම ආරම්භ කළේ මහත්තයා මට වියදමට ලබාදුන් මුදලින් ඉතිරි කළ මුදල්වලින්. හමුදා සේවයේ නිරතව සිටියදී නිවස ඉදිරිපිට පර්චස් 40 ක ඉඩම මහත්තයා මිලට ගත්තේ අපිට පුතුන් දෙදෙනෙකු සිටින නිසයි. මම වගාව ආරම්භ කළේ එම ඉඩමේය.

මම රූපලාවණ්‍ය මෙන්ම ඇඳුම් මැසීම වැනි කටයුතු හොඳින් ප්‍රගුණ කළ කෙනෙක්. ඒ නිසාම මට මුදල් ඉපැයීමට එවැනි ක්ෂේත්‍ර තෝරාගැනීමට තිබුණා. නමුත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට මට වුවමනා වුණේ වැඩි කාලයක් නිවසේ රැ‍ඳෙන ආකාරයේ රැකියාවක් නිරතවීමට.

ගෙවුණු වසර 7 ඇතුළත මම අත්කරගත් ජයග්‍රහණ බො‍හෝමයි. දැන් මගේ තවාන පැළ 5000 ක් තරමට විශාල එකක්. උදෑසන 10 සිට සවස් වනතුරුත් මම එහි කටයුතුවල නිරත වී සිටිනවා. මගේ දින චරියාව ආරම්භ වන පාන්දර 4 ට පමණ නිවසේ කටයුතු නිමකර උදේ 8 ට පමණ මම ජිම් යනවා. එහි පැය 2 ක කාලයක් ගතකර මා දවසේ ඉතිරි කාලය මගේ පැළ තවාන් කටයුතු සඳහා වැය කරනවා.

මගේ පුතාල දෙන්නම මේ රටේ අනාගත වෛද්‍යවරු. දැන් මගේ ලොකු පුතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසරේ. චූටි පුතා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පළමු වසරේ. ලොකු පුතා වගේම මගේ මහත්තයා හැකි සෑම අවස්ථාවකම මගේ කටයුතුවලට උපරිම සහයක් ලබා දෙනවා.

පවුලේ සමගියට මෙන්ම නිරෝගී බවට ආත්ම තෘප්තියෙන් යුතු ජීවිතයක් ගොඩනඟා ගැනීමට ඇන්තූරියම් වගාව මහත් පිටිවහලක්.

එම්. එල්. ඒ. ඩී. ප්‍රියංකර මහතාගේ කතාව මේ සියල්ලට වඩා වෙනස්ය. ඔහු කෘෂිකර්ම විෂය පිළිබඳ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ BSC උපාධිධාරියෙකි. ඔහු මෙරට බොහෝදෙනෙකුට රැකියාවන් ලබාගැනීම සඳහා සිහින දකින ආයතනයක සේවය කළ නිලධාරියෙකි. නමුත් ඔහු සේවයෙන් ඉවත් වී ඇත්තේ අපනයන ඇන්තූරියම් වගාවෙන් ලැබෙන ආර්ථික හා ආධ්‍යාත්මික ප්‍රතිඵලය ඊට වඩා බොහෝ වැඩි බවට විශ්වාස කරමිනි.

‘මම දිනපතා සේවයට යන්නේ කිරිල්ලවල ප්‍රදේශයේ සිට කොළඹ කොටුවේ පිහිටි කාර්යාලයටය. උදේ සවස මඟතොටට වැයවන කාලය පැය 4 ක් පමණ වෙනවා. මෙලෙස නාස්තිවන කාලය වැඩිකර බැලූ විට මට වැටහුණේ මවැනි වගා කටයුත්තක නියැළීමෙන් මෙලෙස අපතේ යන කාලය මැනවින් ප්‍රයෝජනයට ගත හැකි බවයි. Òමම මුලින් ආරම්භ කළේ පැළ 350 කින්. මේ වන විට මගේ වගාව පැළ 35000 ක් දක්වා වැඩි කිරීමට මම සමත් වුණා. මම සේවයේ නිරත වී සිටින කාලයේ ලද වැටුපට සමාන ආදායමක් දැන් මෙම වගාවෙන් උපයා ගන්නා බව පවසන්නේ ඉතාමත් සතුටින්.

ආයතනයෙන් ලැබෙන මඟපෙන්වීම මෙන්ම ලබාදෙන විශ්වාසය ඉතාමත් වැදගත්. එහි නිර්මාතෘ යාමිකා ගුණවර්ධන මහත්මිය සැබවින්ම සුවිශේෂී කාන්තාවක්. මේ ව්‍යාපාරය තනිවම සිදුකර ඇයට විශාල ආදායමක් උපයාගත හැකියි. නමුත් ඇය රටේම නව ව්‍යවසායකයින් ගොඩනැඟීමට සිදුකරන මෙහෙය සුවිශේෂීය. මෙම ව්‍යාපාරය රටේ සංවර්ධනයට මෙන්ම පුද්ගල සංවර්ධනයටත් තුඩු දෙන කරුණක්. ඇත්තෙන්ම ඇය වැනි කාන්තාවන් රටටම අභිමානයක්.

පස්යාල ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්. ආර්. දෙව්මිණී අපනයන ඇන්තූරියම් වගාව පිළිබඳ තොරතුරු දැනගෙන තිබුණේ මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති දැනුවත් කිරීමේ වැඩසටහනකදීය.

‘අපිට ගොඩක් අගහිඟකම් තිබුණා. ඒවායෙන් ගැලවීමට සිතා මම බයිට් පැකට් සකස් කර කඩවලට දැම්මා. නමුත් එයින් එතරම් ආදායමක් ලැබුණේ නෑ. මම මුලින්ම බැංකු ණයක් ලබාගෙන පැළ 150 කින් වගාව ආරම්භ කළා. ගෙදර දරුවෝ, මහත්තයා මගේ වැඩවලට උදව් වුණා. ඒ පැළ 150 ලැබුණ ආදායමෙන් ණය ගෙවා ගෙදර දොර අගහිඟකම් පිරිමසා ගැනීමට හැකි වුණා. ඉන් අනතුරුව මට බැංකුවෙන් පැළ 500 ක තවානක් ඇරඹීමට සහාය ලබාදුන්නා.

ගැහැනියක් විදිහට මම දරුවන්ට හොඳින් ඉගැන්වීම වගේම ගේදොර අලංකාර කිරීමට හරිම කැමැත්තෙන් හිටියේ. කැමති ඇඳුමක් අඳින්න, දරුවන්ට කැමති දෙයක් අරන් දෙන්න මට නොහැකි වූ අවස්ථා අපමණයි. ඒත් දැන් මට සතුටුයි. එවැනි පසුතැවෙන අවස්ථා දැන් මගේ ජීවිතේ නැති තරම්. ගෙදරට යන එන අය පවා කියන්නේ දැන් ගේදොර මිදුල හරිම ලස්සන බවයි. ඇන්තූරියම් ඇගේ ජීවිතය සම්පූර්ණ කළා. ඒකේ ගෞරවය හිමිවිය යුත්තේ යාමිකා මැඩම්ටයි. ඇය පවසන්නේ මහත් ආදර භක්තියෙන් යුතුවයි.

 

බුද්ධිකා බ්‍රාහ්මණගේ

 

නව අදහස දක්වන්න