ගම්පොළ නායයාමේ අවදානමක් | දිනමිණ

ගම්පොළ නායයාමේ අවදානමක්

ගම්පොල සමූහ

අයහපත් කාලගුණය සමඟ ගම්පොල මවුන්ට් ටෙම්පල් ජනපදයේ බී. ටී. එස්. කොටස නාය යාමේ අවදානමක් නිසා එහි පවුල් 9කට අයත් පුද්ගලයන් 34 දෙනකු ඉවත්කර ඇති බව ගම්පොල උඩපළාත ප්‍රාදේශීය ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය ප්‍රකාශ කළාය.

දින 2ක් පුරා නොනැවතී පවතින අධික වර්ෂාවත් සමඟ පෙරේදා (6) රාත්‍රී සිට මෙම නායයාම ආරම්භ වී තිබේ. එහිදී එක් නිවසක් මතට ගසක් හා ගල් සමඟ පස් වැටී ඇති අතර එහි සිටි අඹු සැමි යුවළක් සමඟ දරුවන් පස්දෙනා නිවසින් පිටතට දිව ගොස් ජීවිතය බේරාගත් බව පවසති.

මේ ප්‍රදේශය ඇතුළු මවුන් ටෙන්පල් කොටස 1956 වසරේදී විශාල නාය යාමකට ලක් වූ බවත් එයින් රන්තැටිය විහාරස්ථානය ඇතුළු නිවාස හා ඉඩකඩම් විනාශ වූ බවත් මෙහි වෙසෙන පුන්‍යාවතී ගමගේ මහත්මිය ප්‍රකාශ කළාය. ගම්පොළ නගරය සමඟ කන්දක් මත ඇති මෙම ජනපදය ශීඝ්‍ර බෑවුම් සහිතව ඇති අතර මීට වසර 3කට පෙර නාය යාමෙ අවදානමට ලක්වීම නිසා මේ ප්‍රදේශයේ ඇති ගම්පොල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ කොටසක් ද මේ වන තුරු වසා දමා ඇත.

නව අදහස දක්වන්න