වතු ජනයාට සේවය කරන්න ඇමැතිකම බාර ගත්තා | දිනමිණ

වතු ජනයාට සේවය කරන්න ඇමැතිකම බාර ගත්තා

මම ඇමැතිකම ගත්තේ වතු ජනතාවට සේවයක් කිරීමේ බලාපොරොත්තුවෙන් මිස වෙනත් වරප්‍රසාද සඳහා නොවන බව නව අමාත්‍ය මණ්ඩලයේ වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා ප්‍රකාශ කරයි.

තමන් වසර තුනහමාරක් යහපාලන ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයකු ලෙස සිටි බවත් තමන් නි‍යෝජනය කරන වතු ජනතාව වෙනුවෙන් කතා මිසක් ක්‍රියාවෙන් කිසි දෙයක් නොකළ බවත් තමන් සිය ජනතාව වෙනුවෙන් වගකිව යුතු වන නිසා ඔවුනට සෙත සැලසීමේ අරමුණින් මෙලෙස සිය පක්ෂය අතහැර නව රජයට එක්වූ බවත් රාජ්‍ය ඇමැතිවරයා අවධාරණය කළේය.

තමන් නව ආණ්ඩුවෙන් ඇමැති ධුරයක් ලබා ගත්තේ මුදලට යනුවෙන් සමාජ ජාලා මගින් මඩ ප්‍රචාර ගෙන යන බවත් එසේ මඩ ප්‍රචාරයන් සිදු කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට පවා තමන් සූදානම් බවත් වඩිවේල් මහතා අවධාරණය කරයි. තමන් කිසිවිටෙක මුදල් වෙනුවෙන් පැති මාරුකර ඇමැතිකම් ලබා නොගන්නා බව පවසාසිටී.

තමන් රටට ආදරය කරන බවද කවුරු කෙසේ ප්‍රචාරයන් ගෙන ගියද බදුල්ලේ ජනතාව තමන් ගැන හොඳින් දන්නා බවද පෙන්වා දෙන වඩිවේල් මහතා වසර දෙසීයක තරම කාලයක් වතුකරයේ ජනතාව මේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට සිය ශ්‍රමය දහඩිය වැය කර ඇති බවද එහෙත් ඔවුනට කිසි සෙතක් සැලසුනේ නැති බවද එහෙත් මේ වතු කම්කරු ජනතාව සිය අයිතිවාසිකම් දිනා ගැනීමට කිසි දිනක අවි ආයුධ අතට නොගත් බවද පෙන්වා දුන්නේය.

වතු කම්කරු ප්‍රශ්නයත් උතුරේ දෙමළ ජනතාව‍ගේ ප්‍රශ්නයත් අතර විශාල වෙනසක් තිබෙනවා. මේ වතු කම්කරු ජනතාවට තිබෙන විශාලම ප්‍රශ්නය ඔවුන් වැය කරන ශ්‍රමයට සරිලන සේ වැටුපක් නොලැබීම. ඔවුන්ගේ ජීවන රටාව ඉහළ නැංවීමට පියවර නොගැනීම, යටිතල පහසුකම් ලබා දීමක් හෝ ඒවා වැඩි දියුණු නොකිරීමයි. ඔවුන් වසර ගණනාවක් පුරා ඉල්ලන මේ ඉල්ලීම් ලබා දිය යුතුයි.

ඒ අනුව මේ ජනතාව ගැන සිතා ඔවුන්ට උපරිම සේවයක් ලබා ගන්නට මම ඇමැතිකම ලබා ගත්තා එය මුදල් ගෙවා එය ලබා ගත්තේ නෑ.

ඉස්සර කාලේ මෙන් මේ වතු ජනතාවගේ දූ දරුවන් හොඳින් තම අධ්‍යාපන කටයුතු කර උගතුන් බවට පත්වෙලා. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ ඒ උගත්කමට සුදුසු රැකියාවක්. ජීවන තත්ත්වයක්. ඒ අනුව එම වතු ජනතාව වෙනුවෙන් පෙනී සිටින අයෙකු විදිහට ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කළ යුතුයි. පළාත් සභාවේ ඇමැතිකම හරහා ඔවුන්ගේ බලාපොරොත්තු යම් ලෙසකින් ඉටු කරමින් ඒ දරුවන්ට වතු රෝහල්වල පත්වීම් ලබා දුන්නා. ඒ රැකියාවන් මගින් හොඳ වැටුපක් ලබාගෙන දැන් හොඳ ජීවන තත්ත්වයකට අඩිතාලම දමමින් ඉන්නවා. ඉන් වඩාත්ම සතුටු වෙන්නේ මම.

අවුරුදු තුනහමාරක් මම යහපාලන රජයේ සිටියා. කිසි වැඩක් වුණේ නෑ. කතා, යෝජනා විතරයි හැමදාම. මම පාර්ලිමේන්තුවේදීත් මේ වතු ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කළා. ඔවුන්ගේ ප්‍රශ්න විසඳන්න මන්ත්‍රී කෙනෙකුට බෑ. ඇමැතිකමක් ඕනෑ. ඒ අරමුණත් මගේ තීරණයට හේතුවක් වුණා. අපිට ජීවත් වෙන්න රටක් තිබිය යුතුයි. ජනාධිපතිතුමා අගමැතිතුමා සැලසුමකට රට පාලනය කරනවා නම් මෙහෙයවනවා නම් රට සංවර්ධනය කර ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන්. උතුරේත් දකුණේත් දෙමළ කම්කරු ජනතාව වෙනුවෙන් මම සේවය කරනවා. එයට දේශපාලන භේදයක් අවශ්‍ය නැති බව රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා පෙන්වා දුන්නේය.

නව අදහස දක්වන්න