බැඩ්මින්ටන් නිලවරණය කඩිනමින් පවත්වන්න අධ්‍යක්ෂ ජෙනරාල්ට ඇමැතිගෙන් නියෝගයක් | දිනමිණ

බැඩ්මින්ටන් නිලවරණය කඩිනමින් පවත්වන්න අධ්‍යක්ෂ ජෙනරාල්ට ඇමැතිගෙන් නියෝගයක්

ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් නිලවරණය කඩිනමින් පවත්වන ලෙස ක්‍රීඩා ඇමැති ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතා ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට නියෝග කරයි. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයට අයත් ක්‍රීඩා සමාජ නියෝජිතයෝ කිහිපදෙනකු ඊයේ ක්‍රීඩා ඇමැතිවරයා හමුවූ අවස්ථාවේදී මේ නියෝගය නිකුත් කොට ඇත.

බැඩ්මින්ටන් නිලවරණය සම්බන්ධව ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට එරෙහිව බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමයේ සභාපතිවරයා ඇතුළු නිලධාරී පිරිසක් විසින් ගොණුකර ඇති නඩුවේ තීන්දුව ප්‍රකාරව නිලවරණය පැවැත්වීමේ හැකියාව උදාවී ඇතැයි බැඩ්මින්ටන් නියෝජිතයෝ ක්‍රීඩා ඇමැතිවරයාට දැනුම් පෙන්වා දුන්හ.

රාජ්‍ය සේවා, ආරක්ෂක සේවා, වෙළෙඳ සේවා, ජනසතු සේවා, අනුරාධපුර දිස්ත්‍රික්, කුරුණෑගල දිස්ත්‍රික්, බස්නාහිර පළාත්, දකුණු පළාත් හා මධ්‍යම පළාත් යන බැඩ්මින්ටන් සංගම් නියෝජිතයෝ මේ රැස්වීමට එක්ව සිටියහ.

දැනට බැඩ්මින්ටන් පරිපාලනය නිශාන්ත ජයසිංහ මහතා ප්‍රමුඛ කමිටුවක් මගින් පාලනයවන අතර එම කමිටුවේ බලතල ගැසට් පත්‍රයක් මගින් විසුරුවා අධ්‍යක්ෂ ජෙනරාල් මගින් නිලවරණය පැවැත්වීමේ අවස්ථා ඉක්මණින් උදාකර ගැනීම ඉදිරි දිනවලදී සිදු කෙරේ. එම ක්‍රියාවලියෙන් අනතුරුව නිලවරණ කමිටුව පත්කොට නාම යෝජනා භාර ගැනීම සිදු කෙරේ.

පසුගිය වසරේ පැවැති බැඩ්මින්ටන් නිලවරණයට අදාලව ක්‍රීඩා අමාත්‍යාංශය නම්කළ නිලවරණ කමිටුව, නාම යෝජනා කැඳවීමේදී ස්වාධීනව කටයුතු කර නොමැති බවට බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමයේ සභාපති රීසා ජුමාර්, බැඩ්මින්ටන් සම්මේලනයේ හිටපු සභාපතිවරුන්වන පරාක්‍රම බස්නායක, හිටපු ලේකම් ක්‍රිස්ටෝ ගෝනවල, හිටපු උප සභාපති වසන්ත කුමාර හා ලක්ෂ්මී පුංචිහේවා යන මහත්ම මහත්මීහූ ඇතුළු පිරිසක් ක්‍රීඩා අමාත්‍යාංශයට එරෙහිව ලිඛිතව පැමිණිලි කර සිටියහ.

එහිදී ලැබුණු ප්‍රතිචාරවලන් සෑහීමකට පත් නොවන බව පවසා එම පිරිස අධිකරණය හමුවේ චෝදනා ගොනුකළ අතර වසරකට වැඩි කාලයක් නඩුව විභාග වෙමින් පැවැතුණි. මේ අතරතුරදී ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රිඩාව ජාත්‍යන්තරව තහනම් කිරීමට අන්තර්ජාතික බැඩිමින්ටන් සංගමය පියවරගත් අතර පසුව හිටපු ක්‍රීඩා ඇමැති නීතීඥ දයාසිරි ජයසේකර මහතාගේ මැදිහත්වීමෙන් තහනම ඉවත් කෙරුණි. බැඩ්මින්ටන් පරිපාලනයට නිසි බලධාරියා ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පත්කළද ඔහු අබිබවා යමින් යම් පිරිසක් කටයුතු කරන බවට හිටපු සභාපති රීසා ජුමාර් මහතාගේ චෝදනාව විය.

ලෝක බැඩ්මින්ටන් සම්මේලන ව්‍යවස්ථාවේ අංක 13.5 රෙගුලාසි කඩ කිරීමේ චෝදනාව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයට එල්ලවූ අතර නිශ්චිත කාල රාමුවක් තුළදී බැඩ්මින්ටන් ව්‍යවස්ථාව අනුව මහා සභා රැස්වීමක් පවත්වා නීත්‍යානුකූල නිලධාරී මණ්ඩයක් පත්කර ගන්නා ලෙස ලෝක බැඩ්මින්ටන් සම්මේලනය අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකාවට දැනුම්දී තිබිණි.

නව අදහස දක්වන්න