ආසියානු පාපන්දු ව්‍යවස්ථා සංශෝධනයේදී ශ්‍රී ලංකා බලධාරීන් රටේ නීතිය අමතක කළා | දිනමිණ

ආසියානු පාපන්දු ව්‍යවස්ථා සංශෝධනයේදී ශ්‍රී ලංකා බලධාරීන් රටේ නීතිය අමතක කළා

ආසියානු පාපන්දු සම්මේලනය කළ ව්‍යවස්ථා සංශෝධනයේදී ශ්‍රී ලංකා පාපන්දු බලධාරීන් ක්‍රියා කොට ඇත්තේ රට ගැන අමතක කොට බව හිටපු පාපන්දු සභාපති රංජිත් රුද්‍රිගූ මහතා පවසයි. ජාත්‍යන්තරය සමග ගනුදෙනු කරද්දී රට මුල්තැනලා සැලකීම මෙන්ම රටේ අභිවෘද්ධිය වෙනුවෙන් තින්දු තීරණ ගැනීමට නොපැකිළව ක්‍රියා කළ යුතු බවත්, ආසියානු පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව අරබයා අප ක්‍රියාකළ යුත්තේ කෙසේද යන්න පුද්ගල හිතුමනාපයට වඩා රටේ සාමූහික තීන්දුවක් ලෙස කටයුතු කළ යුතුව තිබූ බවත් ඒ මහතා පෙන්වා දෙයි.

ආසියානු පාපන්දු ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකාව එකඟවීම මෙරට විදේශ ප්‍රතිපත්තියට පටහැනි බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය ක්‍රීඩා අමාත්‍යවරයා දැනුවත් කර තිබීමෙන් මෙහි බරපතළකම වැටහෙන බව ද රුද්‍රිගූ මහතා සඳහන් කර සිටී.

“කවුරු කුමන සංගමයක වුවත් එවන් තීන්දුවක් ගන්න කලින් ක්‍රීඩා බලධාරියා වන ක්‍රීඩා ඇමතිවරයා දැනුවත් කොට නිසි තීරණයකට එළැඹිය යුතුය. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය නියේජනය කරමින් එම අවස්ථාවට සහභාගි වූයේ පාපන්දු සම්මේලනයේ සභාපති සහ ලේකම්. එසේ නම් ඔවුන් මුලින් කළයුත්තේ ක්‍රීඩා ඇමතිවරයා මුණ ගැසී රටක් ලෙස ගන්නා තීන්දුව සපථ කරගෙන මෙරට නියෝජිතයන් ලෙස රටේ තීන්දුව ආසියානු පාපන්දු සම්මේලනය තුළ ප්‍රකාශ කිරීමය. මේ ව්‍යවස්ථා සංශෝධනයට එකඟවීම මෙරට විදේශ ප්‍රතිපත්තිවලට පටහැනි බව ක්‍රීඩා අමාත්‍යවරයා මෙරට පාපන්දු බලධාරීන්ව දැනුවත් කර තිබියදී ඇමතිවරයා නොසලකා ක්‍රියා කිරීම හෙලා දැකිය යුතුයි”

“ආසියානු සම්මේලනයට ව්‍යවස්ථා සංශෝධන ගෙනත් ඡන්දයක් පවත්වන්න අයිතිය තිබෙනවා. ආසියානු බලධාරීන් මුණගැසී අප රටේ නීතිය සහ අප රටේ ස්ථාවරය පැහැදිලි කළ හැකිය. එසේ වූවා කියා ආසියානු පාපන්දු සම්මේලනයෙන් ලැබෙන ආධාර අපට නොලැබී යන්නේ නැත. 2016 වසරේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති තෝරන නිලවරණයේදී වත්මන් සභාපති ජියානි ඉන්ෆන්ටිනෝ සමග තරග කළේ ආසියානු පාපන්දු සම්මේලනයේ සභාපති ෂේක් සල්මාන්ය. එහිදී ආසියාවේ රටවල් බහුතරයකගේ ඡන්දය ලැබුණේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ වත්මන් සභාපතිට විරුද්ධවය. එසේ වූවා කියා ඔහු සභාපති වූ පසු ආසියානු රටවලට දෙන ආධාර නතර කළේ නැත. ජාත්‍යන්තරය එවැනි පටු රාමුවක වැඩ කරන්නේ නෑ” රංජිත් රුද්‍රිගූ මහතා පැවැසීය.

මේ තත්ත්වය හමුවේ පාපන්දු සම්මේලනය හා ක්‍රීඩා ඇමැතිවරයා අතර බලවත් අර්බුදයක් නිර්මාණයවී ඇති බැවින් පාපන්දු සම්මේලනය විසුරුවා හැර යථා තත්ත්වයට පත්කරන තෙක් කමිටුවක් (Normalization Committee) පත්කිරීමය. පත්වන නව නිලධාරීන් ලවා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය දැනුවත් කොට මෙය රටක් ලෙස නොව පුද්ගලත්වය මත ගත් තීන්දුවක් බව පසක් කර මේ තීන්දුව ආපස්සට ගැනීමේ හැකියාව ඇතැයි රුද්‍රිගූ මහතාගේ අදහස වේ. ක්‍රීඩා අමාත්‍යවරයා කඩිනමින් ජාත්‍යන්තර සහ ආසියානු පාපන්දු බලධාරීන් දැනුවත් කොට රටට සිදුවීමට යන අනිසි ප්‍රති විපාක වලින් වැළකීමට කටයුතු කිරීම කාලෝචිත බව ඒ මහතා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපතිවරයකු මෙන්ම ජාත්‍යන්තර නියෝජිතයකු ලෙසද කටයුතු කර ඇත්දැකීම් සම්භාරයක් ලබා ඇති රුද්‍රිගූ මහතා ක්‍රීඩාවට ඇති අසීමිත ආදරය හේතුවෙන් මේ මාධ්‍ය නිවේදනය නිකුත් කරන බව අවධාරණය කර සිටී.


නව අදහස දක්වන්න

Or log in with...