ජෙහාන්-කිත්රුවන්-සඳුන් ශතක වාර්තා කරති | දිනමිණ

ජෙහාන්-කිත්රුවන්-සඳුන් ශතක වාර්තා කරති

නිරෝෂාන් ප්‍රියංකර

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යොවුන් ක්‍රීඩකයන් වෙනුවෙන් සංවිධාන කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ නැඟී එන කණ්ඩායම් අතර දෙදින ක්‍රිකට් තරගාවලියේ පළමු සතියේ තරගවලදී ශතක වාර්තා කිරීමට කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ ජෙහාන් ඩැනියෙල්, ද්‍රවිඩ සංගම් පිලේ කිත්රුවන් විතානගේ සහ එස්.එස්.සී ක්‍රීඩා සමාජයේ සඳුන් වීරක්කොඩි සමත් වූහ.

එම සතියට අදාළව තරග 8ක් පැවැති අතර මුවර්ස් පිටියේ පැවැත්වීමට නියමිතව තිබූ මුවර්ස් සහ සැරසන්ස් කණ්ඩායම් අතර තරගය එකඳු පන්දුවක් හෝ නොයවා අත්හැර දැමීමට සිදුවිය.

වරාය අධිකාරිය සමග පී.සරා ඕවල් පිටියේ පැවැති තරගයෙන් ද්‍රවිඩ සංගම් පිලත්, නාවික හමුදාව සමග වැලිසර පැවැති තරගයෙන් කළුතර නාගරික ක්‍රීඩා සමාජයත් පළමු ඉනිමේ ජයග්‍රහණ අත්කර ගත්තේය.

හලාවත මේරියන්ස් - බදුරලිය, මීගමුව - එන්.සී.සී., යුද හමුදාව - කෝල්ට්ස්, එස්.එස්.සී. - රාගම සහ සී.සී.සී.- බී.ආර්.සී අතර තරග ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

ද්‍රවිඩ සංගමය පළමු ඉනිම ජයගත් තරගයේදී බිනුර ප්‍රනාන්දු ප්‍රමුඛ ද්‍රවිඩ සංගම් පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය පළමු ඉනිම ලකුණු 53කට සීමා වීම කැපී පෙනුණි.

කිත්රුවන් විතානගේ ගේ ලකුණු 120ක් සමගින් පිළිතුරු ලෙස ද්‍රවිඩ සංගමය පළමු ඉනිමට ලකුණු 335ක් රැස් කළේය. කමිඳු මෙන්ඩිස් සහ බිනුර ප්‍රනාන්දු අර්ධ ශතක එක් කළහ. පන්දු 120කට මුහුණදුන් කිත්රුවන් හතරේ පහර 5ක් සහ හයේ පහර 9ක් ඉනිමට එක්කර ගත්තේය.

වැලිසර පැවැති තරගයේදී සත්කාරක නාවිකයන්ගේ පළමු ඉනිම ලකුණු 109කට සීමා කළ කළුතර ක්‍රීඩකයෝ පළමු ඉනිමට ලකුණු 200ක් රැස් කිරීමට සමත් විය.

කළුතර ඉනිමේ නැංගුරම බවට පත්වූ නිපුන ගමගේ ශතකය ලකුණු 6ක් පසුපසින් සිටියදී අවාසනාවත්න ලෙස දැවී ගියේය. පන්දු 129කින් ගොඩනැගුණු ඔහුගේ ඉනිමට හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය.

මේ තරගවලදී කැපී පෙනෙන ඉනිමක් දියත් කළ කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ ජෙහාන් ඩැනියෙල් යුද හමුදාවට එරෙහිව පළමු ඉනිමේදී ලකුණු 156ක් රැස්කිරීමට සමත් විය. පන්දු 157කින් ගොඩනැගුණු ඔහුගේ ඉනිම හතරේ පහර 10කින් සහ හයේ පහර 12කින් වර්ණවත් විය.

පළමු සතියේදී වාර්තාවු අනෙක් ශතකයට එස්.එස්.සී ක්‍රීඩා සමාජයේ සඳුන් වීරක්කොඩි හිමිකම් කීවේ රාගම පිලට එරෙහිව ලකුණු 111ක් රැස් කරමිනි. හතරේ පහර 17ක් සහ හයේ පහරක් එක්වූ ඔහුගේ ඉනිමට වැයවූයේ පන්දු 96ක් පමණි.

 

ද්‍රවිඩ සංගමයට පළමු ඉනිමේ ජය

වරාය අධිකාරි පළමු ඉනිම - 53 (ඕවර 22) (බිනුර ප්‍රනාන්දු 12/4, ඉසුරු ධනංජය 5/2, රමිත් රඹුක්වැල්ල 14/2, තිලංග උදේශන 20/2)

ද්‍රවිඩ සංගම් පළමු ඉනිම - 335/8 (ඕවර 74.4) ඉනිම අත්හිටුවන ලදි. කිත්රුවන් විතානගේ 120, කමිඳු මෙන්ඩිස් 88, බිනුර ප්‍රනාන්දු 50 (ඩිෂාන් ඉෂාර 62/3, අශේන් මලිත් 55/2)

 

කළුතර පළමු ඉනිම දිනයි

නාවික හමුදා පළමු ඉනිම - 109 (ඕවර 39.1) (පසිඳු මධුෂාන් 26/5, එරංග රත්නායක 38/5) සහ දෙවැනි ඉනිම - 53/4 (ඕවර 18) (එරංග රත්නායක 19/3)

කළුතර නාගරික පළමු ඉනිම - 200 (ඕවර 50.2) නිපුන ගමගේ 94 (හසින් ඩිල්මාන් 86/5, කවික ඩිල්ශාන් 46/2)

 

හලාවත මේරියන්ස් - බදුරලිය (ආර්. ප්‍රේමදාස)

බදුරලිය පළමු ඉනිම - 253/6 (ඕවර 56) ඉනිම අත්හිටුවන ලදි. සචින් ප්‍රනාන්දු 70, දෙනුවන් රාජකරුණා 45 (නිමේෂ් විමුක්ති 77/3, චතුරංග ඩිල්ෂාන් 114/2)

හලාවත මේරියන්ස් පළමු ඉනිම - 55/1 (ඕවර 11)

 

එන්.සී.සී. - මීගමුව ක්‍රිකට් සමාජය (එන්.සී.සී.)

මීගමුව පළමු ඉනිම - 250/9 (ඕවර 79.1) ඉනිම අත්හිටුවන ලදි. ඇන්ජලෝ ජයසිංහ 54, ෂෙහාන් වීරසිංහ 48, ඩිලාන් ජයලත් 46 (අසිත ප්‍රනාන්දු 64/4, ලසිත් ඇඹුල්දෙණිය 50/2, චතුරංග ද සිල්වා 51/2)

එන්.සී.සී. පළමු ඉනිම - 89/7 (ඕවර 31.4) (සඳකැන් පතිරණ 45/6)

 

යුද හමුදාව - කෝල්ට්ස් (කෝල්ට්ස්)

කෝල්ට්ස් පළමු ඉනිම - 359/6 (ඕවර 74) ඉනිම අත්හිටුවන ලදි. ජෙහාන් ඩැනියෙල් 156, විෂාඩ් රන්දික නොදැවී 50, හෂාන් දුමිඳු 49 (සංජික රිද්ම 46/3,. මලීෂ අලුත්ගෙදර 64/2)

යුද හමුදා පළමු ඉනිම - 116/8 (ඕවර 47) සංජික රිද්ම 56 (ජෙහාන් ඩැනියෙල් 11/2, මහේෂ් තීක්ෂණ 17/2, නිපුන් රංසික 34/2)

 

එස්.එස්.සී. - රාගම ක්‍රී. ස. (එස්.එස්.සී.)

එස්.එස්.සී පළමු ඉනිම - 190/2 (ඕවර 33) සඳුන් වීරක්කොඩි 111, චරිත් අසලංක නොදැවී 62

සී.සී.සී.- බී.ආර්.සී (සී.සී.සී.)

සී.සී.සී. පළමු ඉනිම - 131/4 (ඕවර 32) මිනෝද් භානුක නොදැවී 58, වනිඳු හසරංග 46 (විකුම් සංජය 33/2)

නව අදහස දක්වන්න