නැති අර්බුද පෙන්වන්නෝ | දිනමිණ

නැති අර්බුද පෙන්වන්නෝ

දුමින්ද සම්පත්

ආයෝජන මුවාවෙන් රටේ මර්මස්ථාන විදෙස් රටවලට පැවරීමේ විශාල වැඩපිළිවෙළක් පසුගිය කාලය පුරා දක්නට ලැබුණි. එහි උත්සන්නතම අවස්ථාව වූයේ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පවරා දීමය. ඉන්දියාව එය බලකර ඉල්ලූ බවක් සිතන්නට නොහැකිය. එහෙත් අපේ ‍රටේ පිරිසක් එය ඉන්දියාවට දිය යුතුම යැයි බලවත් මතයක සිටියේය. එවැනි ආර්ථික සම්ප්‍රදායන් ලොව කොතැනකවත් නැත. මෙවැනි අය කාගේ උනන්දුව සඳහා පෙනී සිටින්නේද යන්න ගැටලුවකි.

වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ රට තුළ විශාල විවාදයක්, සංවාදයක් ඇතිව තිබේ. නව අග්‍රාමාත්‍යවරයා ක්ෂණිකව පත්කිරීමත්, පාර්ලිමේන්තු සැසිය කල්දැමීමත් මෙකී සංවාදයට මුල්ව ඇත.

මෙහි ඇති ව්‍යවස්ථානුකූලභාවයත්, නීත්‍යානුකූල තත්ත්වයත් නොසලකමින් ඇතැම් පිරිස් ජනතාව නොමඟ යැවීමත් ඔවුන්ගේ මතිමතාන්තර අනුව විවේචන එල්ල කිරීමත් දක්නට ලැබේ. මේ තත්ත්වය රට තුළ යම් ව්‍යාකූලතාවකට හේතුවන්නකි.

අගමැතිවරයා පත්කිරීමත්, පාර්ලිමේන්තුව කල්තැබීමත් රටේ ව්‍යාකූලතාවකට පදනම් වන කාරණා නොවේ. පාර්ලිමේන්තු සැසිවාරයක් කල්දැමීම අප රටේ පළමුවරට සිදුවූවක් නොවේ. අලුත් සැසිවාරයක් ඇරඹීමට මූලික කටයුතු සූදානම් කරගැනීමේ පහසුව වෙනුවෙන් පාර්ලිමේන්තුව කල්තැබිය යුතුය. ඒ සඳහා ව්‍යවස්ථාවේම ප්‍රතිපාදන සලසා ඇත. මෙකී ප්‍රතිපාදන 1978 ව්‍යවස්ථාවේ සිටම ව්‍යවස්ථාගතව ලිඛිතව ඇති කරුණකි.

පාර්ලිමේන්තුව කැඳවීමට කල්දැමීමට සහ විසුරුවාහැරීමට ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි කටයුතු කළ හැකි බව 1978 ව්‍යවස්ථාවේ 70-1 වගන්තියේ සටහන්ව තිබේ. 19 වැනි සංශෝධනයේදී මෙම වගන්තිය ඉතා පැහැදිලිව සං‍ශෝධනය විය. ඒ සංශෝධනයට අනුව ප්‍රකාශයක් මඟින් පාර්ලිමේන්තුව කැඳවීමට, කල්දැමීමට සහ විසුරුවාහැරීමට ජනාධිපතිවරයාට බලය හිමිව ඇත. 1978 ව්‍යවස්ථාවේ පැහැදිලි කිරීමද 19 වැනි ව්‍යවස්ථාවේ පැහැදිලි කිරීමද වචනාර්ථයෙන් වෙනස් නැත.

පාර්ලිමේන්තුව කල්තැබීම

පාර්ලිමේන්තුව කල්තැබීමේදී නැවත කැඳවිය යුතු දිනය නිශ්චිතව සඳහන් කළ යුතුය. එම දිනය පාර්ලිමේන්තුව කල්තබන දිනයේ සිට මාස දෙකක් ඉක්මවිය නොහැකිය. විසුරුවා හරින ලද කාලසීමාව අතරතුර දිනකදී ජනාධිපතිවරයාට නැවත පාර්ලිමේන්තුව කැඳවිය හැකිය යන්න පාර්ලිමේන්තුව කල්තැබීම සම්බන්ධ උපවගන්තියේ සඳහන්ව තිබේ.‍

මෙකී කාරණා මත පදනම්ව බැලුවිට පාර්ලිමේන්තුව කල්තැබීම ගැන දොස් නඟන පිරිස කියනුයේ පවතින ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදී නැතැයි යන්නය. පාර්ලිමේන්තුව කල්තැබීම සම්බන්ධයෙන් නඟන අභූත චෝදනා ගැන කිව හැක්කේ එවැනි කතා බහුභූත කතා යන්නය.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව 1948 සිට මේ දක්වා පනස් වාරයකට වඩා කල් දමා තිබේ. 1978 ජනරජ ව්‍යවස්ථාවෙන් පසුවද 25 වතාවකට වඩා පාර්ලිමේන්තුව කල් දැමුණි. මේ කාරණා ඉතිහාසයේ පවතින ඒවාය. එම කල්තැබීම සහ මෙවර කල්තැබීම අතර ව්‍යවස්ථානුකූල වෙනසක් නැත.

අදාළ අවස්ථාවේදී උද්ගතව ඇති කරුණු මත ඊට විසඳුම් ලබාගැනීමේ අරමුණ ඇතිව පාර්ලිමේන්තුව කල්තැබීම හැම අවස්ථාවකම සිදුවන්නකි. සර් ඔලිවර් ගුණතිලක අග්‍රාණ්ඩුකාරවරයාව සිටියදී 1958 වසරේදී පාර්ලිමේන්තුව කල්තැබුවද හදිසි නීතිය නීතිගත කිරීමට පාර්ලිමේන්තුව කැඳවූ බව ඉතිහාසයේ සටහන්ව තිබේ. පාර්ලිමේන්තුව කල්තැබීම සම්බන්ධ විවේචනය කරන්නන් කරනුයේ ජනතාව නොමඟ යැවීමකි. ඔවුන්ගේ ප්‍රකාශ සහ හැසිරීම ජාත්‍යන්තරය තුළ අප රට ගැන ඇතිකරනුයේ විකෘති තත්ත්වයකි.

ජාත්‍යන්තර ප්‍රජාව මේ සම්බන්ධව සිදුකරන ප්‍රකාශ විමසා බැලූවිට, ඔවුන් අපගේ ව්‍යවස්ථාව හරි හැටි අවබෝධ කොට නොගෙන ප්‍රකාශ නිකුත් කරන බවක් පෙනෙන්නට ඇත. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය තුළින් එය අපට තේරුම් ගත හැකිය. බුද්ධිමත් ලෝකයක එවැනි ප්‍රකාශ කළ නොහැකිය. බ්‍රිතාන්‍යයට ලිඛිත ව්‍යවස්ථාවක් නැත. නමුත් අපට ලිඛිත ව්‍යවස්ථාවක් තිබේ.

විජ්ජා පෙන්වීම

බ්‍රිතාන්‍යයේ ප්‍රසිද්ධ පාර්ලිමේන්තු න්‍යායවාදියකු වන අර්ස්කින්මේ ගේ පොතක් පෙන්වමින් අජිත් පෙරේරා මහතා කීවේ ඊට අනුවද පාර්ලිමේන්තුව කල්තැබීමෙන් වරදක් කර ඇති බවය. මේ පොතේ වගන්තිවලට අනුව වරදක් මට පෙනුණේ නැත. අජිත් පෙරේරා මහතා මෙවැනි විජ්ජා පෙන්වීම වරදකි. උගත් නීතිඥයන් ලෙස මෙවැනි ප්‍රකාශ කරමින් සමාජය නොමඟ යැවීම නොකළ යුත්තකි. “අර්ස්කින්මේ ගේ” පොතට අනුව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව කල්තැබීමේ තනි අභිමතය ඇත්තේ මහරැජිනටය. එහි ඇත්තේද අභිමතය වේ.

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුව රටේ රාජ්‍ය නායකයා ජනාධිපතිය. ඒ අනුව ඔහුගේ අභිමතය පරිදි ක්‍රියාකර ඇත. ‘අර්ස්කින්මේ’ 24 වැනි වරට නිකුත් කළ පොතෙහි සඳහන් වන්නේද “පාර්ලිමේන්තුව කල් දැමීම සිදුවන්නේ යම්කිසි සැසිවාරයකදී සිදුවෙමින් පවතින කටයුතු තාවකාලිකව අත්හිටුවීම සඳහා”ය. මේ අනුව ඔහු පවසනුයේ පාර්ලිමේන්තුව කල්තැබීම පිළිගත් සම්මතයක් බවය.

කෝප් කමිටුවේ බැඳුම්කර වාර්තාව විවාදවන්නට තිබූ දින මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව හදිසියේ විසුරුවා හරිනු ලැබුයේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිව සිටි කැබිනට් මණ්ඩලයේ උපදෙස් පරිදි බව අජිත් පෙරේරා මහතාට අමතකව ඇත. අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනුයේ මෙවැනි පිරිසකි.

අප රටේ පාර්ලි‍ෙම්න්තුව කල්තැබීම පිළිබඳ කැනඩාවද ප්‍රකාශයක් නිකුත් කර ඇත. කැනඩාවේ පාර්ලිමේන්තුව කල් තැබීම අදට ද ඇත්තේ විවාදාත්මක සහ අභියෝගාත්මක තැනකය.

ඉන්දියානු ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව කල්තැබීමේ බලය ජනාධිපති සතු වූවද එවැනි අවස්ථාවකදී අගමැති විමසිය යුතු බව එරට ව්‍යවස්ථාවේ ලිඛිතව තිබේ. එනිසා ඉන්දියාවේ තත්ත්වය සහ මෙරට තත්ත්වය සැසඳිය නොහැකිය.

අග්‍රාමාත්‍යවරයා තෝරාපත් කරගැනීම කර ඇත්තේ ව්‍යවස්ථානුකූල නීතිවලට අනුවය. අගමැතිවරයා පත්කිරීමට බහුතරය ඇද්ද යන්න ගැටලුවක් නොවේ. පත්කරන ලද තැනැත්තාට පාර්ලිමේන්තුවේ විශ්වාසයක් තිබේද යන්න සලකා බලනුයේ පසුවය. පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විශ්වාසය ඇතැයි පවතින විශ්වාසය පදනම්ව, තමන්ගේ මතය අනුව ජනාධිපතිවරයාට අගමැතිවරයකු පත්කරගත හැකි බව ව්‍යවස්ථාවේ සඳහන්ව ඇත. කිසිවකුගේවත් විමසීමක් හෝ ඡන්ද විමසීමක් ගැන එහි සඳහන්ව නැත. ජනාධිපතිවරයාට පවතින්නේ එවැනි බලයකි. එම බලය හරි ද වැරදි ද යන්න වෙනම ගැටලුවකි. අපේ නීති පොතේ, ව්‍යවස්ථාවේ මේ අය විසින්ම මෙකී බලතල ඉතිරිකර ඇත. 19 වැනි සංශෝධනයේදී එය ඉවත්කර නැත. එම බලතල ඉවත් කරන්න එදා කටයුතු නොකොට මේ අවස්ථාවේදී ඊට විරුද්ධ වීම ප්‍රතිඵලදායක නැත.

අගමැති බලය

පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාගේ බලය පෙන්විය හැකි ආකාරය සඳහන්ව තිබේ. ඊට පාර්ලිමේන්තුව කැඳවිය යුතුය. විසර්ජන ගිණුම් වාර්තාවක් හෝ අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවකදී අගමැතිවරයාට විශ්වාසය පවතිනවාද නැද්ද යන්න විමසා බැලිය හැකිය. එවැනි අවස්ථාවකදී එය පරාජය වුවහොත් අගමැතිවරයාට විශ්වාසය නැතැයි යන්න සැලකිය හැකි බව ව්‍යවස්ථාවේ සඳහන්ව ඇත.

පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව නිසි කල්දීමක් සහිතව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට යෝජනාවක් ඇතුල්කොට විශ්වාසභංගයක් භාරදීමෙන්ද අගමැතිවරයාගේ විශ්වාසය මැන බැලිය හැකිය. මේවාට ඉඩ තිබියදී අරලියගහ මන්දිරයට වී “අපි යන්නේ නැතැයි” කෑගැසීම විහිළුවකි. මේ තත්ත්වය ජාත්‍යන්තරයට විහිළු සැපයීමකි.

ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළේ නම් පැය 24 න් තීන්දුවක් දිය යුතුය. එසේද කළේ නැත. මේ සිදුවීම ව්‍යවස්ථානුකූලව වූවක් බව මේ අය දන්නා බැවින් ඔවුන් අධිකරණයට යන්නේද නැත. ව්‍යවස්ථා අර්බුදයක් මෙහි නැත. ඇත්තේ දේශපාලන කුමන්ත්‍රණයක් සහ දේශපාලන අර්බුදයකි.

පැවති ආණ්ඩුව යටතේ ආර්ථිකය ඉතාම භයානක ලෙස පිරිහෙමින් තිබුණි. ආයෝජකයෝ තවදුරටත් ලංකාව අතහැර යමින් සිටියහ. මෙරට ප්‍රධාන ආදායම් මාර්ගය වන විදෙස් ශ්‍රමිකයන් එවන දීමනාවලට ඉතාම නරක ලෙස බදු ගැසුවේය. එනිසා ඔවුහු මෙරටට මුදල් එවීම නතර කළහ. රටේ සංචිත ඉතාම බරපතළ ලෙස පිරිහෙමින් පැවතිණි. 2014 පැවති සංචිත ප්‍රමාණයවත් රඳවා තබාගන්නට පැවති රජයට නොහැකි විය.

ආර්ථික කමිටුව

රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ හිතවතුන් කිහිපදෙනකු විසින් ගෙන ගිය ආර්ථික වැඩපිළිවෙළ මාස කිහිපයකට පෙර ජනාධිපතිවරයා විසින් අත්හිටුවන ලදී. ඊට හේතු වූයේද රට ගමන් කළ වැරදි ආර්ථික දිශාවය. ආර්ථික කොමිටිය වෙනුවට ආර්ථිකය කළමනාකරණය සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ අගමැතිවරයාද ඇතුළත් ආර්ථික විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් ජනාධිපතිවරයා පත් කළේය. මෙකී කොමිටිය ක්‍රියාත්මක වන්නට අවශ්‍ය ප්‍රතිපාදන පැවති රජය ලබාදුන්නේ නැත. අඩුම තරමින් ආර්ථික කමිටුවට කාර්යාලයක්වත් දුන්නේ නැත. පත්කළ විශේෂඥයන්ට වැටුප් ගෙවීමට ප්‍රතිපාදන දුන්නේද නැත.

ජනාධිපතිවරයාගේ ජීවිතයට තර්ජනයක් ඇතැයි තොරතුරක් හෙළිදරව් වූ විට එය විහිළුවට අවතක්සේරුවට කරුණක් නොවේ. එහි සත්‍ය අසත්‍යතාව වෙනම කතාවකි. බණ්ඩාරනායක මහතා ඝාතනය සම්බන්ධ ඉතිහාසයක් අපට ඇත. ඝාතන තැතක් පිළිබඳව හෑල්ලුවට ලක්කිරීමට කිසිවකුට හැකියාවක් නැත. එසේ හෑල්ලුකිරීමෙන් අපට ගම්‍ය වන්නේ එසේ සිදුකරන්නන් ඝාතනයට ආධාර අනුබල දෙන බවකි.

ආයෝජන මුවාවෙන් රටේ මර්මස්ථාන විදෙස් රටවලට පැවරීමේ විශාල වැඩපිළිවෙළක් පසුගිය කාලය පුරා දක්නට ලැබුණි. එහි උත්සන්නතම අවස්ථාව වූයේ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පවරා දීමය. ඉන්දියාව එය බලකර ඉල්ලූ බවක් සිතන්නට නොහැකිය. එහෙත් අපේ ‍රටේ පිරිසක් එය ඉන්දියාවට දිය යුතුම යැයි බලවත් මතයක සිටියේය. එවැනි ආර්ථික සම්ප්‍රදායන් ලොව කොතැනකවත් නැත. මෙවැනි අය කාගේ උනන්දුව සඳහා පෙනී සිටින්නේද යන්න ගැටලුවකි.

බැඳුම්කර වංචාවද තීරණාත්මක සාධකයකි. අගමැතිවරයා සහ ඔහු පත්කළ මහ බැංකු අධිපතිවරයාගෙන් සිදුවූ අඩුපාඩු අක්‍රමිකතා සහ අතපසුවීම් මහ බැංකු වංචාවට හේතු බව ජනාධිපති කොමිෂන් වාර්තාවේ පැහැදිලිව සඳහන් කර ඇත. රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගය එදා පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වූයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ලබාදුන් සහාය නිසා බව අද ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කෑගසන පිරිසට අමතකව ඇත.

මන්ත්‍රීවරු 46 දෙනකු පමණක් සිටිනවිට බලයේ සිටි අගමැතිවරයා ඉවත් කරන්නේද නැතිව අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට අවස්ථාව ලබාදුන්නේද ජනාධිපතිවරයාය. බහුතර බලයක් නැතිව සිටියදී දින 100 ආණ්ඩුවට ව්‍යස්ථාව සංශෝධනය කරන්නට තුනෙන් දෙකක බලය ලබාදුන්නේද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බව මේ පිරිසට අමතකය.

අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා තෝරා ගැනුණේ ඊට සුදුසු එකම පුද්ගලයා ඔහු බැවිනි. දේශපාලනය තුළ පැරණි වෛරයක් තිබිය නොහැකිය. පාර්ලිමේන්තුවේ යථාර්ථයට මුහුණ දිය යුතුව ඇත. රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කණ්ඩායම හැදුවේ ජාතික රජයක් නොවේ. ප්‍රධාන පක්ෂයේ කොටසක් කඩා කෑලි කෑලි එක්කර හැදූ පටු අරමුණක් සහිත ආණ්ඩුවකට දුරගමනක් නැත. ඔවුන් ආණ්ඩුව හරහා තමන්ගේ ආර්ථික දර්ශනයන් ක්‍රියාවට නංවන්නට උත්සාහ ගත්තේය. ඒවා කෙතරම් දුරට රටට ගැළපේදැයි ඔවුන් සිතුවේ නැත.

කැබිනට් මණ්ඩලය

එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත්වන බව ලිඛිතව ලබාදීමත් සමඟ ජාතික ආණ්ඩුව බිඳ වැටිණි. එවිට කැබිනට් මණ්ඩලයේ සිටිය හැක්කේ 30 දෙනෙකුට පමණි. 48 ක කැබිනට් මණ්ඩලයක් සිටිය නොහැකිය. එවන් අවස්ථාවකදී ජනාධිපතිවරයා ව්‍යවස්ථානුකූලව කැබිනට් මණ්ඩලය සංශෝධනය කළ යුතුය. එකී බලය ව්‍යවස්ථානුකූලව ජනාධිපති සතුය. අග්‍රාමාත්‍ය තනතුර පවතින්නේ කැබිනට් මණ්ඩලයක් තිබෙන තුරුය යන්න ව්‍යවස්ථාවේ තිබේ. කැබිනට් මණ්ඩලය 30 කට අඩුකිරීම සඳහා එතෙක් සිටි කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයා විසින් අහෝසි කළවිට අග්‍රාමාත්‍ය ධුරයද අහෝසි වේ. එවැනි පසුබිමකදී නව අගමැතිවරයකු පත් කළ යුතුය. ඒ සඳහා ජනාධිපතිවරයාගේ අභිමතය වී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාය. මෙකී අභිමතයටද රට තුළ ඕනෑතරම් කාරණා තිබේ. පළාත් පාලන මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ පක්ෂය 22% ක් ගන්නා විට 44% ක් මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දුන් පක්ෂය ඡන්ද ගත්තේය. මේ පසුබිම තුළ මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු‍වේ විශ්වාසය නැතැයි කාට නම් උපකල්පනය කළ හැකිද? රටේ තත්ත්වය අනුව ජනාධිපතිවරයාගේ අභිමතය නිවැරදිය.


නව අදහස දක්වන්න

Or log in with...