මාධ්‍යයෙන් සිංහල බස කෙලසනවා | දිනමිණ

මාධ්‍යයෙන් සිංහල බස කෙලසනවා

මාධ්‍යවේදී යසවර්ධන රුද්රිගු

මාධ්‍යවේ දී යසවර්ධන රුද්රිගු රචනා කළ, “වහරමු හොඳින් විමසා” කෘතිය, භාෂා භාවිතය හා ව්‍යාකරණ පිළිබඳ මාහැඟි ග්‍රන්ථයකි. හෙළ බස රැකීමට ගත් වටිනා උත්සාහයක් ලෙස හැඳින්විය හැකි එම කෘතිය පිළිබඳ ඔහු සමඟ කළ සංවාදයකි මේ.

“වහරමු හොඳින් විමසා” ග්‍රන්ථය රචනා කිරීමට මුල් වූ හේතු කාරණා පිළිබඳ සඳහන් කළොත්?

මම නිතරම මිනිස්සු වචන පාවිව්චි කරන ආකාරය ගැන, පුවත්පත් සහ ග්‍රන්ථවල භාෂාව භාවිත කර තිබෙන ආකාරය ගැන අවධානයෙන් ඉන්න කෙනෙක්. වචනවල, වාක්‍යවල, ශීර්ෂපාඨවල, නාම පුවරුවල, දැන්වීම් පුවරුවල තියෙන වැරැදි සහගත තැන්වලට නිරන්තරයෙන් අවධානයයොමු කරනවා. පුරුද්දක් විදිහට මම එදිනෙදා දකින භාෂාව වැරැදි සහගතව භාවිත කර තිබුණු අවස්ථා සටහන් කර ගත්තා. රාජ්‍ය ආයතනවලින් එවන ලියුම්වල, දැන්වීම්වල වගේ ම, ව්‍යවහාර කරන භාෂාවේ පවා තියෙන වැරැදි මම හොයලා තියෙනවා. විශේෂයෙන්ම ආකෘති පත්‍රවල බොහෝ වැරැදි සහගත තැන් තියෙනවා. ඒ සියලු දේ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා, විශේෂ අධ්‍යයනයක් කරලා තමයි, භාෂාව නිවැරැදිව හැසිරවීම සම්බන්ධයෙන් දැනුමක්, අවබෝධයක් ලබා දීම අරභයා මේ කෘතිය රචනා කළේ.

මේ ග්‍රන්ථයේ අන්තර්ගතය පිළිබද පැවසුවොත්?

වර්තමානයේ පුවත්පත්වල ඇති ශීර්ෂපාඨ, ලිපි, රජයේ උසස් නිලධාරින්ගේ කෘතිවල ඇති ව්‍යාකරණ වැරැදි සහ ඒවා නිවැරැදි විය යුතු ආකාරය මේ කෘතියේ ඇතුළත් වෙනවා. භාෂාව ව්‍යවහාර කිරීමේ දී සහ ලිවීමේදි අපෙන් සිදුවන වැරැදි, නිවැරැදි කර ගන්නේ කොහොමද කියන කාරණය මෙහි දී නිදසුන් මාර්ගයෙන් පෙන්වා දී තිබෙනවා. බොහෝ දෙනා සිංහල කතා කරද්දි, වුවමනාවෙන්ම ඉංග්‍රීසි වචන යොදාගනිමින් කතා කරනවා. ඔවුන් හිතන්නේ සිංහල භාෂාවට ඉංග්‍රීසි වචන එකතු කරලා කතා කළහම, තමාගේ ව්‍යක්තභාවය, හැකියාව, උගත්කම පිළිබිඹු වෙනවා කියලයි. සිංහල කතා කිරීමේ දී සියලු ඉංග්‍රීසි වචනවලින් මිදෙන්න ඕනැ කියලා මං මෙතැන දී කියන්නෙ නෑ. ඒත් ගැටලුව, බොහෝ දෙනා සිංහල භාෂාව වරද්ද වරද්ද කතා කළාට, කවුරුවත් දොස් නඟන්නෙ නෑ.

සමහරු හිතන්නේ සිංහල වැරැදෙන එකත් උගත්කම පිළිබිඹු කිරීමක් කියලයි. ඉංග්‍රීසි භාෂාව පුළුවන් තරම් නිවැරැදිව කතා කරන්න උත්සාහ කරන්නන්, සිංහල කතා කිරීමේ දී වැරදීම ගැන එතරම් සැලකීමක් දක්වන්නේ නෑ. මේ භාෂා දෙකට සමාජය සලකන්නේ එහෙම වෙනසක් ඇතුව. එවැනි කරුණු පිළිබඳ මේ කෘතියේ අවධානය යොමු කරලා තියෙනවා.

මෙවැනි කෘතියක් රචනා කිරීමෙන් ඔබ අපේක්ෂා කරන්නේ කුමක්ද?

මම මේ කෘතිය ඉදිරිපත් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ, සිංහල භාෂාව ව්‍යවහාර කරන්නන් මොන විදිහේ සැලකිල්ලක් භාෂාව වෙනුවෙන් දක්වන්න ඕනෙද කියන කාරණාව පෙන්වා දීමටයි. පාරට බැස්සහම අපට නිතරම දකින්න ලැබෙන්නේ, සිංහල වචන සංකර කරලා, ඉංග්‍රීසි වචනවලට එකතු කරලා, අලුත් වචන හදලා දැන්වීම් පුවරු සහ නාම පුවරු ප්‍රදර්ශනය කර තිබෙන ආකාරයයි. සිංහල වචන අමුතුවෙන් නිර්මාණය කරලා, ඉංග්‍රීසි වචන එකතු කර ලියන එක අද වෙද්දි අමුතු කලාවක් බවට පත්වෙලා. වෙළෙඳසැල්වලට පවා පාරිභෝගිකයාගේ අවධානය යොමු කර ගැනීමට උත්සාහ දරන්නේ, නාම පුවරුවේ වචන විකෘති කිරීමෙන්. රාජ්‍ය ආයතනවල පවා මෙවැනි දේ වෙනවා. ඒක භාෂා විනාශයක්. ලියන කියන දේ එක්කෝ සිංහලෙන් වෙන්න ඕනෙ. නැත්නම් ඉංග්‍රීසියෙන් වෙන්න ඕනෙ. ඒ දෙක කලවම් කරලා, කතා කිරීමේ දී හෝ ලිවීමේ දී අලුත් භාෂාවක් නිර්මාණය කිරීම බොහොම වැරැදි සහගතයි.

නවක ග්‍රන්ථ රචකයන් ව්‍යාකරණ රීති අනුගමනය කරනවාද?

ලිඛිත භාෂාවේ වගේම, කතා කරන භාෂාවේත් ව්‍යාකරණ තිබෙනවා. සමහරු කතා කරන භාෂාවෙන් පොත්පත් පවා ලියනවා. කතා කරන භාෂාවෙන් ලිව්වා කියලා ඒ පොත්පත් ප්‍රතික්ෂේප කළ යුතු නෑ. ඒත්, කතා කරන භාෂාවෙත් ව්‍යාකරණ රීති තියෙනවා. ඒ ව්‍යාකරණ රීති අනුගමනය කරලා කතා කරන භාෂාවෙන් රචනා කළත් වරදක් නෑ. ඒත්, අද වෙද්දි නවකයන් රචනා කළ බොහෝ ග්‍රන්ථවල ව්‍යාකරණ රීති අනුගමන කෙරෙන බවක් පෙනෙන්නට නෑ.

බස මරන්නට මාධ්‍යකරුවන් ලබාදෙන දායකත්වය ගැන ඔබ මේ කෘතියේ සඳහන් කරනවා?

සිංහල පුවත්පත්වල ඉංග්‍රීසි ශීර්ෂපාඨ යොදනවා. ඉංග්‍රීසි ශීර්ෂ පාඨ යොදන්න බොහෝ අය උනන්දු වෙන්නේ, පාඨකයා ග්‍රහණය කර ගැනීමේ අපේක්ෂාවෙන්. ශ්‍රී ලංකාවේ තියෙන ජාතික පත්‍ර හැම එකකම වගේ සිංහල පත්තරයට ඉංග්‍රීසි ශීර්ෂපාඨ යෙදීමෙන්, යම් රටාවක් ඇති කරලා, ඒ භාෂාවෙන් පාඨකයන් ග්‍රහණය කර ගන්නයි උත්සාහ කරන්නෙ. ඒත්, ඒක එතරම් සාර්ථක ක්‍රමයක් නෙමෙයි. සමහර පත්‍රවල කතුවැකියෙන් පවා සිංහල භාෂාව මරනවා. ඉංග්‍රීසි වචන පාවිච්චි කරලා කර්තෘ වාක්‍ය ලියනවා. ඉස්සර පුවත්පතක කර්තෘ වාක්‍ය ලියැවුණේ ඉතාමත්ම ව්‍යාකරණානුකූලව, ව්‍යක්ත විදිහට, කෙනෙක්ට කියවලා ඉගෙන ගන්න දෙයක් තියෙන විදිහටයි. ඒත් අද වෙද්දි, සිංහල පත්‍රවල කර්තෘ වාක්‍ය කියවලා යමක් ඉගෙන ගන්න පුළුවන් අවස්ථා බොහොම අඩුයි. ඒ තියෙන භාෂා විලාසය අනුගමනය කරන්න ගිහිල්ලා, නවකයන් අමාරුවේ වැටෙන අවස්ථා පවා තිබෙනවා. ඒ තරමට කතු වැකියේත් භාෂා දුර්වලතා තිබෙනවා. ඉංග්‍රීසි පත්‍රවල කතුවැකියේ එහෙම අඩුපාඩු අවමයි. නිවැරැදි භාෂාවක් යොදා ගන්නවා.

සිංහල පුවත්පත්වලට ශීර්ෂ පාඨ දැමීමේදිත් ව්‍යවහාර භාෂාවේ තියෙන ඉංග්‍රීසි වචන යොදා ගන්නවා. එවැනි දේ සිංහල භාෂාවේ පැවැත්මට හානිදායකයි. විද්‍යුත් මාධ්‍යයේ පවා ඇතැම් මාධ්‍යකරුවන් බස හසුරුවන ආකාරයෙන් සිංහල භාෂාවට වෙන්නේ හානියක්. බොහෝ දෙනා තමන්ගේ උගත්කම පෙන්වන්න බරපතළ වචන යොදන්න ගියාට, නොදැනුවත් භාවය නිසා වරද්දා ගන්නවා. වචන පාවිච්චි කිරීමේ දි, වචනයේ අර්ථය මොකද්ද කියලා දැනගෙනයි වහරන්න ඕනෙ. උදාහරණයක් විදිහට ගත්තොත් බොහෝ දෙනා කියන්නේ ඡන්ද ගණනය කරනවා කියලා. ඡන්ද ගණනය කරනවා නෙමෙයි, ගණන් කරනවා වෙන්න ඕනෙ. ගණනය කරනවා කියන්නේ එකතු කරලා, බෙදලා, වැඩි කරලා, අඩු කරලා, සියලු ගණිත කර්ම පාවිච්චි කරලා කරන දෙයක්. ඡන්ද ගණනය කරන්න දෙයක් නෑ. ගණන් කරන්නයි තියෙන්නෙ.

මෙවැනි වාතාවරණයක් හමුවේ හෙළ බස රැක ගැනීමට කළ හැක්කේ කුමක්ද?‍

මෙන්න මේ විදිහටයි අපි බස හසුරවන්න ඕනෙ කියලා, සමාජයේ සිංහල භාෂාව පරිශීලනය කරන්නන්ට අපි යම්කිසි ආදර්ශයක් දෙන්න ඕනෙ . පුවත්පත්වලින් අපි බලාපොරොත්තු වෙන්නෙ අවම වශයෙන් භාෂාව රැක ගැනීම, ඔවුන් ආදර්ශයෙන්ම පෙන්විය යුතුයි. පුවත්පත්වල භාෂාව නිවැරැදි කළහම, සමාජය බොහෝ දුරට නිවැරැදිව භාෂාව පාවිච්චි කරන්න පෙලඹෙනවා. පොත්පත් කියවන පිරිසට වඩා, පුවත්පත් කියවන පිරිස වැඩි නිසා, පාඨකයාට යම් පණිවිඩයක් දීමට පුවත්පත්වලින් අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා, පුවත්පත් වඩාත් වගකීමකින් යුතුව කටයුතු කළ යුතුයි. ග්‍රන්ථ රචකයන් ගත්තහම, සමහර විට ඔවුන්ගේ පොත්වලට දාලා තියෙන නම් පවා කිසිඳු අර්ථවත් භාෂාවකින් නෙවෙයි යොදාගෙන තියෙන්නෙ. නමක් යොදනකොට ඒ නමේ යම්කිසි අර්ථයක් තියෙන්න ඕනෙ. ළමයින්ට නම් දාන එකත් ඒ වගේ. අද වෙද්දි මාපියන් දරුවන්ට දාන නම්වල තේරුම මාපියො දන්නෙත් නෑ. ළමයි දන්නෙත් නෑ. අමුතු වචන හදලා නම් දානවා. ඒ දාන නම්වලට තමන්ම තමන්ට ඕන හැටියට අර්ථ හදා ගන්නවා. ඒ වගේම තමයි සමහර ප්‍රවීණයන් ඉන්නවනේ ළමයින්ට නම් යෙදීමේ ප්‍රසිද්ධියක් උසුලන. ඒ අය තමුන්ගේ භාෂාව සහ විදග්ධ භාවය පෙන්වන්න මොකක් හරි අමුතු නමක් හදලා දරුවට දාන්නයි කියලා දෙනවා . මාපියොත් ඒක පාවිච්චි කරනවා. සමහර විට නියම අර්ථය දැක්කහම, ඒවා විහිළු නම් බවට පත් වෙනවා. නම් දාන එකත් භාෂාව පිළිබඳ යම් දැනීමක් ඇතුව කරන්න ඕනෙ දෙයක්. බස රැක ගන්න නම්, මුලින්ම බස පිළිබඳ හොඳ අවධානයක් දෙන්න ඕනෙ. නිවැරැදි අධ්‍යයනයක යෙදෙන්නත් ඕනැ.

භාෂා භාවිතය සහ ව්‍යාකරණ සම්බන්ධයෙන් බොහෝ කෘති බිහි වෙනවා. ඒවායෙන් වත්මන් පාඨක පරපුර නියමාකාර ප්‍රයෝජනයක් ගන්නවාද?

විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ දී පවා නව පරපුර භාෂා අධ්‍යයනයට යොමු නොවී, වෙනත් විෂයයන් තෝර ගන්නවා. එයට හේතුව, එදා සිට අද දක්වා සිංහල භාෂාව සහ ව්‍යාකරණ පිළිබඳ උගන්නවන විලාසය සිසුවාට නීරස එකක් වීමයි. ග්‍රහණය කරගත හැකි සහ රසවත් ආකාරයකින් භාෂාව සහ ව්‍යාකරණ ඉගැන්විය යුතුයි. පාසල් විෂය නිර්දේශ ග්‍රන්ථවල පවා ව්‍යාකරණ ඉදිරිපත් කිරීමේ දී නවතාවක් නෑ. සාම්ප්‍රදායිකයි. ඒ ක්‍රමය ශිෂ්‍යයන්ට නීරසයි. ඒ නිසා, පොතකින් වුණත් ව්‍යාකරණ උගන්වද්දි, රසවත් භාවයක් ඇතුව වගේම, නවතාවයක් ඇතිව ඒ කාර්යය කරන්න ඕනැ.

ඉදිරියට ඔබේ පාඨකයන්ට තිළිණ කිරීමට සූදානම් වන ග්‍රන්ථයන් මොනවාද?

මේ වන විට මම චීන ළමා කතා එකතුවක්, ග්‍රන්ථයක් විදියට එළි දක්වන්න කටයුතු කරමින් සිටින්නේ. ඒ එක්කම, බෞද්ධ සාහිත්‍ය පිළිබඳ ග්‍රන්ථයක් ඉදිරිපත් කරන්නත් බලාපොරොත්තු වෙනවා.

කාංචනා සිරිවර්ධන


නව අදහස දක්වන්න

Or log in with...