වෙනස් කළ හැක්කේ වෙනස් මිනිසුන්ට | දිනමිණ

වෙනස් කළ හැක්කේ වෙනස් මිනිසුන්ට

සිහින දැකීම මෙන්ම සිහින සැබෑ කර ගැනීම වෙනුවෙන් නොපසුබට උත්සාහයකින් සහ කැපවීමකින් ජීවිත ජය ගත් උත්සාහවන්ත ව්‍යාපාරිකයන්ගේ දිරිය ජීවන චරිත අතර කොලින් ප්‍රනාන්දු මහතාගේ කථාව ද සුවිශේෂ වන්නේ සිහින දකින්නකු සහ සිහින හඹා ගිය සොඳුරු මිනිසකු එහි සිටින බැවිනි. ඔහුගේ වෑයමින් ගොඩනැඟුණු St. Theresa Industries Holdings (STI Holdings) කර්මාන්ත ආයතනය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දේශීය ඉංජිනේරු සමාගමක් ලෙස ලෝහ ආශ්‍රිත පිරිසැකසුම් හා බලශක්ති ක්ෂේත්‍රයේ උත්පාදන, සම්පේ‍්‍රෂණ හා බෙදා හැරීම් ආශ්‍රිත සේවා සපයමින් පුරා වසර 45ක් ලෝකයට විවර වූ අතර, කාර්මික හා ඉංජිනේරු ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකීය නාමය දිදුලවන්නටත් මෙරට ආර්ථිකය සඳහා ඉහළ දායකත්වයක් දක්වමින් විදේශ විනිමය රට තුළට ගෙන ඒමට ද සමත් වී සිටී. 1973 වසරේ දී ඉතා සුළුවෙන් ආරම්භ කළ සමාගම මේ වන විට ක්ෂේත්‍ර කිහිපයක ඉංජිනේරු කාර්යයන් කිහිපයක් වෙත යොමු වී ඇති අතර, විදුලි සම්පේ‍්‍රෂණ සහ බෙදා හැරීම් සඳහා අවශ්‍ය කුලුනු වේගවත්ව ඉදිකිරීම සඳහා නවතම තාක්ෂණයක් නුදුරේදීම හඳුන්වාදීමට සැලසුම් කර ඇත.

ගමනක ඇරැඹුම

දරුවන් හයදෙනකුගේ පවුලක දෙවැනි පිරිමි දරුවා වූ කොලින් ප්‍රනාන්දු පාසල් කාලයේ සිටම ඉගෙනුමට උපන් හපන්කම් පෙන් වූ දරුවකු විය. වරායේ ලියවන පට්ටලයක කාර්මික තනතුරක් දැරූ පියා සහ දරුවන් 6 දෙනා රැක බලා ගත් මව සමඟ මේ පවුල මෝදර පදිංචිව සිටියාහ. උපතින් කතෝලික ආගම ඇදහූවද ප්‍රනාන්දු පවුල ගමේ පන්සල සමඟ ද ශක්තිමත් සම්බන්ධයක් තිබූ හෙයින් දිලාසාල් විදුහලට ඇතුළුවීමට නොහැකි වූ කුඩා කොලින් හට ශ්‍රී ලංකා විදුහලට ඇතුළුවීමේ අවස්ථාව ගමේ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ විසින් ලබා දෙනු ලැබීය. සාමාන්‍ය පෙළ විශිෂ්ට ලෙස සමත් වූ කොලින්ට කුඩා කාලයේ සිටම සයදෙනකුගෙන් සමන්විත තම පවුලේ ජීවන සටන ගෙන යෑමට අම්මා සහ තාත්තා ගෙන ගිය අරගලයට පුංචි හෝ සහනයක් ලබා දෙන්නට සිතුනු වාර අනන්තය. මේ නිසාම උසස් පෙළ කරන අතරතුරම මිතුරකු සමඟින් ශාන්ත ජෝන් මාළු වෙළෙඳ සලේ මාළු වෙළෙඳාමට පිවිසෙන කොලින් පළමු වරට ව්‍යාපාරික ලෝකයට පිවිසෙන්නේ අලුත් හීනයක මාවතක් විවර කර ගනිමින්ය. කොලින්ගේ මිතුරාට අයත් එම ව්‍යාපාරය තුළ ඔවුන්ට පැවැරී තිබුණේ මත්ස්‍යයන් අපනයනය කරන සාමාගමට මත්ස්‍යයන් සැපයීමයි. අපනයනයට සුදුසු තත්ත්වයේ මත්ස්‍යයන් සොයා ගැනීමත් හෙට්ටු කර වඩාත්ම හොඳම මිලට මාළු ගැනීමත් ශාන්ත ජෝන් මාළු වෙළෙඳ පොළේ පහසු නැත. වැඩි කාලයක් යන්නට පෙර මේ සියලු කලාවන් ප්‍රගුණ කළ කොලින් ප්‍රනාන්දු තමන් ඉතිරි කර ගත් සුළු මුදලකින් තමන්ගේම කියා ව්‍යාපාරයකට යොමු වන්නේ දහසක් පැතුමන් ද සමඟින්ය.

මවගේ නමින් නම් කළ ව්‍යාපාරය

සමුද්‍ර ලංකා එන්ටප්‍රයිසස් වෙතින් ව්‍යාපාරකරණයේ කලාව ප්‍රගුණ කළ කොලින් ප්‍රනාන්දු අභියෝගයක් ද සමඟ එළැඹි ඉංජිනේරුමය නිෂ්පාදනය ව්‍යාපාරය ඉහළටම ගෙන යෑමේ අවශ්‍යතාව කොලින් පෙරේරාට දැඩිව දැනින. මේ ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා මවගෙන් ලද දායකත්වය සුවිශේෂ වූ නිසා මවගේ නම වන ‘තෙරේසා’ යන්නත් උපතින් ගුණ ගරුක කතෝලික භක්තිකයකු වූ බැවින් ශාන්ත යන්නත් එක් කොට මේ නම ව්‍යාපාරයට තැබූ කොලින් ප්‍රනාන්දු එතැන් සිට මෙරට සුවිශේෂී ඉංජිනේරුමය නිෂ්පාදනයන් සපයන ප්‍රමුඛතම සමාගමක් බවට පත් විය. මේ ව්‍යාපාරය ආරම්භයේ දී හෝටල්වල ට්‍රොලි සහ මුළුතැන්ගෙය උපාංග අලුත්වැඩියාව කොලින් විසින් සිදු කළ අතර, වැඩියෙන් ඇණවුම් ලැබීමේ දී වැඩි වැඩියෙන් වඩාත් පළපුරුදු සේවකයන් ව්‍යාපාරයට බඳවා ගන්නට ඔහු කටයුතු කළේය. St. Theresa ආයතනයේ දෙවැනි උපත සිදු වන්නේ 1979 වසර තුළ දෙවැනි ලියවන පට්ටලය ද කොලින් ප්‍රනාන්දු විසින් මිල දී ගැනීමත් සමඟය. මේ වන විටත් ලංකා බැංකුවේ විශ්වාසවන්ත ගනුදෙනුකරුවකු වූ කොලින් ප්‍රනාන්දු ඉහළටම යන ව්‍යවසායකයකු බවට හඳුනා ගත් ලංකා බැංකුව කොලින් ප්‍රනාන්දුගේ සෑම ව්‍යාපාරික කටයුත්තකදීම ඔහු සමඟ සිටියේය. ලංකා විදුලි බල මණ්ඩලය සඳහා අවශ්‍ය උපාංගයක් නිර්මාණය කිරීම සඳහා ටෙන්ඩරයකට ඉදිරිපත් වූ කොලින් ප්‍රනාන්දු හට මේ ටෙන්ඩරය දිනා ගැනීම සඳහා ලංකා බැංකුව විසින් සුළු හා මධ්‍ය පරිමාණ ණයක් ඔහු වෙත ලබා දෙන්නේ ඔහු කෙරෙහි පූර්ණ විශ්වාසයෙනි.

1985 ආයතනයටත් කොලින් ප්‍රනාන්දු වඩාත් අභියෝගාත්මක වසරක් වුණේ එතෙක් සිදු කළ කාර්යයන්ට සාපේක්ෂව විශාල කර්තව්‍යයකට අවතීර්ණ වීමේ මාර්ගය සමාගමට උදා වූ නිසාය. ‘ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි සම්පේ‍්‍රෂණය සඳහා ගැල්වනයිස් කළ යකඩ කුලුනු සඳහා ටෙන්ඩර් දැන්වීමක් ගැන දැන ගන්නට ලැබුණා. මේ සඳහා ඉන්දියානු සමාගම් කිහිපයක් තරග කළේ ගැල්වනයිස් තාක්ෂණය ඒ වන විට මෙරට සුලභ නොවූ නිසයි. එහෙත් ලද අවස්ථාවෙන් උපරිම ඵල නෙළාගත් මම අවදානමක් ගෙන මේ ටෙන්ඩරය දිනා ගන්න සමත් වුණා. ඊට පසුව මම ගැල්වනයිස් වැඩ ගැන දන්න සේවකයන් හොයා ගෙන හැම තැනම ගියා. මගේ වාසනාවට මේ ගැන දන්න 13 දෙනකු එකතු කර ගන්න මට හැකි වුණා. වඩාත් හොඳට මට ව්‍යාපෘතිය අවසන් කරන්න අවස්ථාව ලැබුණා. මේ නිසාම ඊට පසුව වඩාත් විශාල ටෙන්ඩර් ලබා ගන්නටත් බොහොමයක් නිෂ්පාදන සම්පූර්ණයෙන් දේශීයව නිපදවන්නට අපට හැකි වුණා.’ ඉංජිනේරු නිෂ්පාදන ක්ෂේත්‍රයේ උසස් නිෂ්පාදන වෙත යෑම සඳහා හැකිවුනා.

නිෂ්පාදනයන්හි ගුණාත්මක බව

සුළුවෙන් ආරම්භ කර මේ වන විට විදෙස් වෙළෙඳ පොළ ජය ගැනීමට ද හැකිව තිබෙන St. Theresa සමාගම නුදුරේ දී නැ‍ඟෙනහිර අප්‍රිකාවේද සිය වෙළෙඳ පොළ ආධිපත්‍ය පවත්වා ගැනීමට සමත් වී ඇත.

ISO 9001:2015 බලාගාරයක් ස්ථාපනය කිරීම සඳහාත් සැලසුම් සකස් කර ඇත. මෙරට විදුලි අවශ්‍යතාවෙන් 98‍% ක් සපුරා ගැනීම සඳහා ඉහළ දායකත්වයක් සමාගම විසින් ලබා දී ඇති අතර, ඔවුන් දේශීයව නිපදවන ඉංජිනේරුමය උපාංග හේතුවෙන් විශාල විදේශ විනිමයක් රටට ඉතිරි කර දීමටත් විහාල පිරිසකට රැකියා ලබා දීමටත් සමාගමට මේ වන විට හැකිව තිබේ. විදුලි බල මණ්ඩලයට අමතරව ලංකා විදුලි පුද්ගලික සමාගම, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය සඳහා ද සිය ඉංජිනේරුමය දායකත්වය St. Theresa සමාගම විසින් ලබා දී ඇත.

ඌව පළාත් සභාව විසින් දියත් කළ ඌව උදානය ග්‍රාමීය විදුලි බල අවශ්‍යතා සපුරාලීමේ වැඩසටහනේ සක්‍රීය කොටස්කරුවකු වූ St. Theresa සමාගම නැ‍ඟෙනහිර නවෝදය, උතුරු වසන්තය, රත්නපුර සහ හම්බන්තොට විදුලි ව්‍යාපෘති, මෙන්ම උගන්ඩාවේ ග්‍රාමීය විදුලි බල අවශ්‍යතා සපුරාලීමේ වැඩසටහන සඳහා ද විශාල දායකත්වයක් ලබා දී ඇත. මීට අමතරව නාගරික ආලෝකකරණ වැඩසටහන යටතේ නගර 7ක වීදි ලාම්පු ස්ථාපන කිරීමේ ව්‍යාපෘතිය ද සාර්ථකව නිම කිරීමට St. Theresa සමාගමට හැකි විය.

ව්‍යාපාරයේ අනාගතය සහ අභියෝග

ව්‍යාපාරයේ අනාගතය හා අභියෝග පිළිබඳ කොලින් ප්‍රනාන්දු මහතා පැවැසුවේ දේශීය වානේ පිරිසැකසුම් කර්මාන්තය ඉදිරි සියවසට ගැළපෙන තත්ත්වයට ගෙන ඒමට නම් රජය ඇතුළුව රාජ්‍ය නිලධාරීන් තමන්ගේ සාම්ප්‍රදායික චින්තන ධාරාවෙන් මිදී ලෝකයේ සිදු වන දේ පිළිබඳ මීට වඩා අවධානයකින් සිටිය යුතු බවයි. ‘අපට වානේ ගැල්වනයිසින් ක්ෂේත්‍රයෙන් ලෝකයේ ඉහළම ස්ථානයට ළඟා විය හැකියි. ඒ සඳහා හැකියාව සහිත පිරිසක් ශ්‍රී ලංකාවේ ඉන්නවා. නමුත් මේ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රජය මීට වඩා උනන්දු විය යුතුයි.’ යනුවෙන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

ඉතාම නුදුරේ දී helical anchoring නම් වූ තාක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට STI Holdings සමාගම සුදානමින් සිටින අතර, මෙහි ඇති විශේෂත්වය වන්නේ විදුලිබල මණ්ඩලය සඳහා අවශ්‍ය විදුලිය බෙදා හැරීමේ හා සම්පේ‍්‍රෂණ කුලුනක් ස්ථාපනය කිරීමට ගත වන කාලයත් මුදලත් මේ තාක්ෂණය හරහා ඉතිරි කර ගත හැකිවීමය.

සමාන්‍යයෙන් මෙබඳු ව්‍යාපෘතියක් සඳහා දින 21ක් ගත වූවද නව තාක්ෂණය මඟින් දින 6ක් හෝ 7ක් ඇතුළත කුලුන ස්ථාපිත කිරීමට සමාගමට හැකි වේ. එමෙන්ම අභියෝගාත්මක භූගෝලීය පිහිටීමක් ඇති ස්ථානයක සිදු කරන ඉදිකිරීම් සඳහා මේ තාක්ෂණය වඩාත්ම ප්‍රශස්ත විසඳුම බව කොලින් ප්‍රනාන්දු මහතා පවසයි. මීට අමතරව සිමෙන්ති සහ ගල් අඟුරු අළු භාවිත කරමින් ‘Sino-STI Block.’ නමින් නව සිමෙන්ති ගල් විශේෂයක් හඳුන්වා දී ඇත. මේ නව නිෂ්පාදනය ගොඩනැඟිලි ඉදිකිරීමේ දී සිමෙන්ති ගල් වෙනුවට භාවිත කළ හැකි අතර, ඉවතලන ගල් අඟුරු අළුවලින් නිෂ්පාදනය කෙරෙන බැවින් පරිසර හිතකාමී නිෂ්පාදනයක් ලෙස ද මෙය හඳුන්වාදිය හැකි වේ.

නව අදහස දක්වන්න