යතුරුපැදිවලින් ආ 10 කල්ලියක් කඩු පොලු හරඹයක | දිනමිණ

යතුරුපැදිවලින් ආ 10 කල්ලියක් කඩු පොලු හරඹයක

ගුරුදෙණියේ නිවසක ඉන්දියානු චිත්‍රපට සටන් ජවනිකාවක්

ඉන්දියානු ද්‍රවිඩ චිත්‍රපටයක සටන් ජවනිකාවක සේ යතුරුපැදිවලින් පැමිණි දහදෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් ගුරුදෙණියේ නිවසකට එක්වරම කඩා පැන එහි සිටි පුද්ගලයකුට පොල්ලකින් පහර දී පිහිවලින් කපා කොට බරපතළ තුවාල සිදුකොට ඇත.

පසුගිය හතරවන දින මහනුවර ගුරුදෙණිය ප්‍රදේශයේ දී මේ සිද්ධිය සිදුවී ඇති අතර නිවසේ සිටි අයගේ කෑගැසීමත් සමඟ ගම්මුන් එතැනට පැමිණ ඇත. එවිට පහරදීමට පැමිණි පුද්ගලයන් යතුරුපැදිවල නැග පලාගොස් ඇති අතර යතුරුපැදි තුනක් නිවස අසල ප්‍රපාතයකට පෙරැළී ඇත.

කලක පටන් පවතින ආරාවුලක් මේ ගැටුමට හේතුවී ඇති අතර අදාළ අයගේ හිසට පොලු පහර වැදී ඇති අතර කැපුම් තුවාල ද සිදුවී ඇත. ඔහු ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහලට ඇතුළත් කොට ඇත.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හත් දෙනෙකු හා යතුරුපැදි තුනක්ද අත් අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් ඊයේ මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 8වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කොට ඇත.

තලාතුඔය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අරුණ ක්‍රිෂාන්ත මහතාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක විජේකොන් උප පොලිස් පරීක්ෂක ලොකු බණ්ඩා පොලිස් සැරයන් 32135 සමරකෝන් පොලිස් කොස්තාපල් 57746 ජයකොඩි 19222 මහින්ද ඇතුළු නිලධාරි පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.

ගලහ සමූහ සී. කේ. වික්‍රම

නව අදහස දක්වන්න