මාස්ටර්ස් ජාත්‍යන්තර බැඩ්මින්ටන් අයැදුම්පත් 15 දා අවසන් වෙයි | දිනමිණ

මාස්ටර්ස් ජාත්‍යන්තර බැඩ්මින්ටන් අයැදුම්පත් 15 දා අවසන් වෙයි

සිලෝන් බැඩ්මින්ටන් සංගමයේ සත්කාරකත්යෙන් ප්‍රථම වරට සංවිධාන කරන මාස්ටර්ස් බැඩ්මින්ටන් තරගාවලිය ‘ජාත්‍යන්තර ජ්‍යෙෂ්ඨ මාස්ටර්ස් බැඩ්මින්ටන් තරගාවලිය 2018’ තරගාවලිය සඳහා අයැදුම්පත් බාර ගැනීම මේ 15 වැනිදායින් අවසන් වෙයි.

ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ පූර්ණ අනුමැතිය යටතේ පැවැත්වෙන මේ තරගාවලිය මේ මස 26 වැනිදා සිට 28 දක්වා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ඉන්දියාව, තායිලන්තය, මැලේසියාව, චීනය, තායිවානය, ඕස්ට්‍රේලියාව, නේපාලය, නවසීලන්තය, ඉන්දුනීසියාව, හොංකොං රටවල්වලින්ද මේ වනවිට අයැදුම්පත් ලැබී ඇතැයි සංවිධායකයෝ පවසති.ඕනෑම ක්‍රීඩකයකුට සහභාගි විය හැකි උපරිම තරග ඉසව් ප්‍රමාණය 3ක් වන අතර ලකුණු ලබාදීමේ ක්‍රමවේදය පදනම් කරගනු ලබන්නේ තරග 3න් හොඳම තරගයේ ලකුණුවලට අනුවය.

මේ තරගාවලිය පිරිමි/කාන්තා ඒකල හා යුගල සහ මිශ්‍ර යුගල ලෙස අවුරුදු 35ට වැඩි, 40 වැඩි, 45 වැඩි, 50 වැඩි, 55 වැඩි, 60 වැඩි, 65 වැඩි, 70 වැඩි, 75 වැඩි ලෙස වයස් කාණ්ඩ 9ක් යටතේ තරග පැවැත්වෙයි.

ජයග්‍රාහකයන්ට රන්,රිදී පදක්කම් ද අවසන් පූර්ව තරගයට එක්වන තරගකරුවන්ට ලෝකඩ පදක්කම් ද පිරිනැමෙන අතර අමෙරිකානු ඩොලර් 7,500ක මුදල් ත්‍යාග මල්ල සෑම තරග ඉසව්වකම ජයග්‍රාහකයාට සහ අනුශූරයාට බෙදී යනු ඇත.

‘ජාත්‍යන්තර ජ්‍යෙෂ්ඨ මාස්ටර්ස් බැඩ්මින්ටන් තරගාවලිය 2018’ ප්‍රධාන අනුග්‍රාහකයන් ලෙස මොබිල්, 3M, වික්ටර් සහ හිල්ඩිව්, රොවින් ඇඩ්ස් කටයුතු කරයි.

තරගාවලිය සඳහා අයැදුම්පත් ceylonmaters.com/index.php/online-registration-portal/ වෙබ් අඩවිය ඔස්සේ හෝ අංක 284, වොක්ෂෝල් වීදිය, කොළඹ 2 ස්ථානයෙන් ලබාගත හැකි අතර වැඩි විස්තර දු.ක. 011 23 32 375 හෝ 077 79 96 699 ලබාගත හැකිය.

නව අදහස දක්වන්න