ජාත්‍යන්තර ටයිකොන්ඩෝ පදක්කම් දිනූ උෂාන්ට-සාරදට උපහාර | දිනමිණ

ජාත්‍යන්තර ටයිකොන්ඩෝ පදක්කම් දිනූ උෂාන්ට-සාරදට උපහාර

විදුහල්පති මෛත්‍රීපාල ලියනාරච්චි මහතාගෙන් උෂාන්ට තිළිණයක්.

 

තායිලන්තයේ බැංකොක් නුවර පැවැති අටවැනි තායිලන්ත විවෘත ටයිකොන්ඩෝ තරගාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට මිනුවන්ගොඩ නාලන්දා පිරිමි විද්‍යාලයේ උෂාන් ඉඳුවර සමත් විය.

පාසල් ටයිකොන්ඩෝ සමගයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් 35 දෙනකු සහභාගීවූ මේ තරගාවලියේදී එම විද්‍යාලයේම සාරද යසස් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාවටත්, මිනුවන්ගොඩ නාලන්දා විදුහලටත් කීර්තියක් අත්කරදුන් මේ ක්‍රීඩකයන් දෙදෙනාට උපහාර පිදීමේ උත්සවයක් පසුගියදා එම විද්‍යාලයේදී පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ විදුහල්පති මෛත්‍රීපාල ලියනාරච්චි මහතා කියා සිටියේ අඩුපහසුකම් සහිතව ක්‍රීඩා අධ්‍යාපන පවත්වාගෙන යන අවස්ථාවක මෙවැනි ජයග්‍රහණක් අත්කර ගැනීම විද්‍යාලයට පමණක් නොව රටටද විශාල කීර්තියක් බවයි.

රටවල් 22කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්වූ මේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 6ක්, රිදී පදක්කම් 6ක් සහ ලෝකඩ පදක්කම් 11ක් හිමිවිය.

මේ අවස්ථාවට විද්‍යාලයේ ටයිකොන්ඩෝ පුහුණුකරු කපිතාන් නලින්ද රත්නායක, සහාය උපදේශක සජිත් මධුසංක, උෂාන් ඉඳුවරගේ මවුපියන් සහ විදුහල් ආදි සිසුන් ඇතුළු විශාල පිරිසක්ද එක්වූහ.

උඩුගම්පොල සමූහ

ඡායාරූප උඩුගම්පොල සමූහ

 

නව අදහස දක්වන්න