සභාපති නාම යෝජනා අවුලෙන් ටේබල් ටෙනිස් නිලවරණය කල් යයි | දිනමිණ

සභාපති නාම යෝජනා අවුලෙන් ටේබල් ටෙනිස් නිලවරණය කල් යයි

ශ්‍රී ලංකා ටේබල් ටෙනිස් සංගමයේ නිලවරණය නැවැත දැනුම් දෙනතුරු කල් දැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය නියෝග කරයි. එම නිලවරණයේදී සභාපති තනතුරට ඉදිරිපත්ව ඇති නාම යෝජනාවකට මතුව ඇති විරෝධතාවක් හේතුවෙන් මේ පියවර ගෙන ඇතැයි වාර්තා වේ. සභාපති තනතුරට ඉදිරිපත්ව සිටින මන්සීල් මුතාලිෆ් මහතා විසින් විරෝධතාව තම ප්‍රතිවාදී සභාපති ධූර අපේක්ෂක ලලිත් ලියනගේ මහතාට එරෙහිව ඉදිරිපත්කර ඇති අතර එය ක්‍රීඩා අමාත්‍යාංශය මගින් මේවනවිට විමර්ශනයකට ලක්කරමින් සිටී.

ලලිත් ලියනගේ මහතා ජාතික මට්ටමේ ටේබල් ටෙනිස් ක්‍රීඩකයකු නොවන බව මුතාලිෆ් මහතාගේ පැමිණිල්ලේ දැක්වේ. එබැවින් ජාතික ක්‍රීඩා සංගම් නියෝග අනුව ලියනගේ මහතාට සභාපති තනතුර සඳහා නාම යෝජනා ඉදිරිපත් කළ නොහැකි බව පැමිණිල්ල මගින් කරුණු දක්වා ඇත. ජාතික ක්‍රීඩා සංගම් නියෝග අනුව සභාපති තනතුරට නාම යෝජනා ලබාදීමට නම් ඔහු හෝ ඇය එම ක්‍රීඩාවේ ජාතික මට්ටමේ ක්‍රීඩා කිරීම අනිවාර්ය කොට ඇත.

එහෙත් ලියනගේ මහතාගේ පාර්ශ්වයෙන් තර්ක ඉදිරිපත් කරමින් සඳහන් කරන්නේ ඒ මහතා ජාතික ප්‍රවීණයන්ගේ ටේබල් ටෙනිස් තරගාවලියට සහභාගීවී ඇති බව සහතික මගින් ක්‍රීඩා අමාත්‍යාංශයට දැනුම්දී ඇති බවය. එම සහතිකය ප්‍රමාණවත් නොවන්නේ මන්දැයි ලලිත් ලියනගේ මහතාගේ පාර්ශ්වයෙන් කරුණු දක්වා ඇත. මෙයට පෙර ශ්‍රී ලංකා ටේබල් ටෙනිස් සංගමයේ සභාපති ලෙස කනක හේරත් මහතා කටයුතු කළ අතර එයට පෙර අවස්ථා 2කදී වැඩ බලන සභාපතිවරු යටතට ටේබල් ටෙනිස් පාරිපාලනය ලක් කෙරුණි.

ඉන්පසු ටේබල් ටෙනිස් නිලවරණය සඳහා ත්‍රි පුද්ගල නිලවරණ කමිටුවක් පත්කොට නිලවරණය පැවැත්වීමට කටයුතු යෙදුණි. එම නිලවරණ කමිටුවට ජී. ජී. වීරක්කොඩි, චන්දන ලියනගේ හා සුභාණී උඩවත්ත යන මහත්ම මහත්මීහු නම් කෙරුණි.

සභාපති නාම යෝජනාව පිළිබඳ ගැටලුව විසදී දින 14ක් තුළ නිලවරණ දැන්වීම සියලු සාමාජික සංගම්වෙත දැනුම්දීමට නියමිතව ඇත.

 ප්‍රින්ස් ගුණසේකර

නව අදහස දක්වන්න