මනූෂ - පිම්ම ! | දිනමිණ

මනූෂ - පිම්ම !

සෙලවෙන දත් ගැළවුණාට කටට පාඩුවක් වන්නේ නැත. ඒවා ගැළවී යන තරමට කටට සනීපය. එලෙස ම කට පිරිසුදුය. මනූෂ පිළිබඳ කතාන්දරය වටහාගත යුත්තේ ඒ අයුරින්ය. එහෙත් මේ තරුණ මන්ත්‍රීවරයාගේ අනාගතය ගැන කල්පනා කරන විට අපට යම් ශෝකයක් දැනෙයි. තරුණ මදය යන්නෙහි යම් මෝඩකමක් ද රැඳී ඇත්තේය. මනූෂගේ ජවය අඩු වී යටකී මෝඩකම ඉස්මතු වන්නට ඇතැ’යි සැක සිතිය හැකිය. එසේ නොවන්නට ඔහු ගිලෙන නැවකට පනින්නේ නැත. අවසන් ලෙස පය ගැසූ අත්ත මෙන් ම අත ගැසු අත්තද මනූෂට අහිමි වන බව පෙනෙයි.

පවතින දේශපාලන චලනය නිසි අයුරින් වටහා ගන්නට හෝ එහි අනාගතය දකින්නට හෝ හැකියාවක් ඉහත තරුණයාට තිබී නැත. ඔහු රටේ පවත්නා ව්‍යවස්ථාව, එයින් ජනාධිපතිවරයාට පවරා ඇති බලතල ආදිය ගැන කිසිවක් ම දන්නේ නැතැ’යි සිතන්නට පුළුවන. එක්සත් ජාතික පක්ෂයටත් එහි නායකයාටත් නැවත බලය ලබා ගත හැකි යැයි ඔහු උපකල්පනය කරන්නට ඇත. මේ තීරණාත්මක අවස්ථාවේ එජාපයට පැන ගැනීමෙන් බොහෝ වාසි හා වරදාන ලබාගත හැකි යැයිද ඔහු සිතන්නට ඇත. ඒ අනුසාරයෙන් බලනවිට මනූෂ ළඟ ප්‍රතිපත්තියක් නැත.

මනූෂගේ ඇතැම් ප්‍රකාශවලින් එළියට පනින්නේ ඔහු නොව කථානායකවරයා යැයි සිතන්නට පුළුවන. ඔහු කතානායකවරයාට හොඳටම මුලා වී ඇති බවද ඔහුගේ ප්‍රකාශයකට අනුව, මේ පිම්ම සිදුකළ බවද කියයි. ඒ අනුව මනූෂ එජාපයට පාර්ලිමේන්තුවේ බහුතරය ඇතැයි යළි විශ්වාසය ගොඩනගා ගෙන ඇතැයි සිතනවා විය හැකිය.

කතානායක කරු ජයසූරිය මහතා ව්‍යවස්ථා විරෝධී ලෙස ක්‍රියා කරනවා පමණක් නොව, දේශපාලන අවුලතාවක් තීව්‍ර කරන බවක්ද පෙනී යයි‍. වික්‍රමසිංහ මහතාට බහුතරය ඇතැ’යි කියා සිටීම, ජනාධිපතිවරයාගේ පත්වීම් නොසලකා හැරීම, නව අගමැතිවරයා නොපිළිගැනීම හා පාර්ලිමේන්තුව රැස්කිරීම සඳහා ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාමාර්ගයක නිරතවීම යන සාධක ඔස්සේ මේ අවුල තවත් දිග්ගැස්සෙයි. කතානායකවරයා අපක්ෂපාතී තැනැත්තකු විය යුතු වුව ඔහු පක්ෂග්‍රාහී වී ඇත. ඔහු තමන්ගේ හෘදසාක්ෂිය යැයි කියමින් වික්‍රමසිංහ මහතාට වාසි සහගත ලෙස හැසිරෙයි. ඔහුගේ හෘදසාක්ෂිය කොළපාටවී ඇති බවක් පෙනෙයි.

ජනාධිපතිවරයා මේ දේශපාලන වෙනසින් පසුව කියා සිටියේ තමන් ගත් තීරණ හා තීන්දු එක පියවරකින් හෝ ආපස්සට නොගන්නා බවය. රනිල් වික්‍රමසිංහ යළි අගමැති පදවියට පත්වන්නේ නම්; තමන් එක මොහොතක් හෝ සිය තනතුරෙහි නොරැ‍ඳෙන බවද මෛත්‍රීපාල සිරිසේන මහතා කියා තිබේ. නායකයකු අවිශ්වාසයෙන් මෙබඳු ප්‍රකාශ සිදු කරන්නේ නැත. ජනාධිපතිවරයාට තමන්‍ ගත් තීන්දු ගැන සියයට සියයක්ම විශ්වාස බව පෙනෙයි. අගමැති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ බහුතරය හදාගෙන අලුත් දේශපාලන වෙනස ඇති කළ බවය. මේ කතාවලින් පැහැදිලිවන්නේ කුමන බාධා පැමිණියද අලුත් ආණ්ඩුව ඉදිරියට යන බව ය.

ජනතා රැල්ල දෙස බලනවිට අලුත් ආණ්ඩුවේ ශක්තිමත් භාවය තව අතෙකින් ප්‍රදර්ශනය වෙයි. ජනමහිම ජනහමුව සඳහා රාශිභූත වී සිටි මහා ජනකාය ධාරානිපාත වර්ෂාවේ පවා නොසෙල්වී නායකයන්ගේ කතාවලට සවන් දුන්හ. එවන් ජන ගඟක් මීට පෙර කොළඹට පැමිණියේ නම්; ඒ ඒකාබද්ධ විපක්ෂය පසුගියදා පැවැත්වූ විරෝධතාවටය. වික්‍රමසිංහ මහතා කොල්ලුපිටියෙන් විරෝධතාවක් ආරම්භ කළ අතර එජාපයේ පරණ සාමාජිකයන් ඊට පැමිණියේ නැත. එම විරෝධතාව සඳහා සෙනඟ රැස්කිරීමට ගිය එජාප ප්‍රාදේශීය නායකයෝ ගුටි කෑහ. අවුල් ගොඩක් මැද අවසන් වූ කොල්ලුපිටියේ විරෝධතාව කිසිදු සාධනීය ප්‍රතිඵලයක් උදා කළේ නැත.

පෙරේදා පැවැති ජනහමුවෙන් ප්‍රකට වන තවත් ප්‍රධාන කරුණක් තිබේ. එනම්; ජනතාව පෙළගැසෙන්නේ අලුත් ආණ්ඩුව වටා බවය. එය අපේ ජනතාව ජාත්‍යන්තරය වෙත ලබාදෙන හොඳ පණිවිඩයක් ද වන්නේ ය. වික්‍රමසිංහ මහතාගේ පෙලඹවීම මත කුමන විජාතික බලපෑම් ඇතිවුව ද ජනතාව ආණ්ඩුව සමඟ සිටින බව එයින් කියැවෙයි. නායකයකුට මෙන්ම දේශපාලන පක්ෂයකට ද වැදගත් වන්නේ ජනතාවගේ අභිමතය යි. පළාත් පාලන මැතිවරණය නිල වශයෙන් ප්‍රකාශ කර ඇත්තේ ද එජාපයට හා එහි නායකයාට රටේ බහුතරය අකැමැති බවය. පාර්ලිමේන්තුවේ බහුතරයටත් වඩා රටේ ජනතාවගේ බහුතරය රාජ්‍ය පාලකයකුට වටින්නේ ය.

මහා සංඝරත්නය වෙතින් ද අලුත් ආණ්ඩුව වෙත යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. එනම්; දැන් ඉතින් අපි රට හදමු යන්න ය. එයින් කරුණු දෙකක් අර්ථ ගැන්වෙයි. පළමු අර්ථය වන්නේ පැවැති ආණ්ඩුවට රට හැදීමේ හැකියාවක් හා වුවමනාවක් නොතිබුණු බව ය. දෙවන අර්ථය වන්නේ රටේ රාජ්‍ය පාලනය දැන් නිවැරැදි පීල්ලට වැටී ඇති බව ය. සංඝරත්නයේ ආශිර්වාදය හා උපදේශනය නැතිව රාජ්‍ය නායකයකුට පැවැතිය නොහැකි ය. එය දේශපාලන නියමයක් ලෙස පවතී. වික්‍රමසිංහ මහතාට ගෙදර යන්නට සිදු වූයේ ද ආගමික නායකයන්ගේ උපදේශන සැලැකිල්ලට නොගත් නිසා ය.

දැනට සිදු වන බල අරගලයේ දී ඇතැමුන් ක්‍රියාකරන ආකාරය කිසිසේත්ම අනුමත කළ නොහැකිය. ඇතැම්විට මේවා සම්බන්ධයෙන් නීතිමය පියවර ගතහොත් බොහෝ දෙනකු වැරැදිකරුවන් වී දඬුවම් විඳීමට සිදුවනු ඇතැ’යි යන්න අපගේ පිළිගැනීම ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිවීම බලවත් වරදකි. ජනාධිපතිවරයා අභියෝගයට ලක් කිරීම ඊටත් වඩා බරපතළ වරදකි.

නව අදහස දක්වන්න