ඉන්දියානු ගෝත්‍රිකයන්ගේ රත්රන් ලණුව | දිනමිණ

ඉන්දියානු ගෝත්‍රිකයන්ගේ රත්රන් ලණුව

නිව්යෝක් නුවර දී වෙයින්බර්ග් ඔහු වැනි හොර ජාවාරම්වල යෙදෙමින් කෙටි ක්‍රමවලින් මුදල් සෙවීම ජිවිතය කරගත්තවුන් සමඟ සිය පැරණි මිත්‍රකම් යළි අලුත් කර ගත්තේය. එවැන්නන් දවසේ වැඩි කාලයක් ගත කළේ ව්‍යාපාර ගනුදෙනු, සැලසුම් කරමින් හා එක් රැයකින් දැවැන්ත මුදල් සම්භාරයකට හිමිකම් කීමට සමත් වූ තමන් වැනි දවල් හීන දකින්නන්ගේ අතිශයෝක්තියෙන් බරසාර වූ කතන්දර විශ්වාස කරමිනි. මොවුන් අතර ඇමරිකාවේ වඩාත්ම සාර්ථකත්වයට පත්වු වෙයින්බර්ග් වැනි වංචාකරුවෝ සේම ඔවුන්ගේ ගොදුරු බවට පත්වූ සුවිශේෂ පුද්ගලයෝ ද වූහ. වංචාකරුවන් බවට පත්වීමට ඔවුන් පෙළඹ වු, කෙටි ප්‍රයෝගකාරි ක්‍රමවලින් කඩිනම් මුදල් සෙවීමට දැක්වු ගිජුබවම පෙරළා ඔවුන් එවැනිම වංචාකරුවන්ගේ පහසු ගොදුරු බවට පත් කළේය. හොඳම දෙය අවසානයේදී රැවටිලිකරුවන්ද වින්දිතයන්ද එකම පිරිසක් වීමය. අනුන් රැවටු වෙයින්බර්ග්ද තමා වැනිම ප්‍රයෝගකරුවකුට ගොදුරු වූ අවස්ථා ඕනෑ තරම් තිබිණි.

“හොඳටම ප්ලෑන් කරලා කරන ජාවාරමක් සාර්ථක වෙන්නේ ගොඩක් වෙලාවට ඒකේ ටාර්ගට් එක නැතිනම් ‘මාර්ක් එක‘ (ගොදුරු වන පුද්ගලයා වෙයින්බර්ග් හඳුන්වන්නේ මෙනමිනි.) තමන් අනික් අයව රවටනවා කියලා හිතන නිසයි. නමුත් වෙන්නේ අනික් පැත්ත.“ වෙයින්බර්ග් කියන්නේ අත්දැකීමෙනි.

මුදලට තණ්හාව හා ගිජුකම සීමාව ඉක්මවා ගිය විට පරෙස්සම ගිලිහී යන බව කියන්නේ කට කහනවාට නොවේ. අවංක මිනිසකුට වංචා කළ නොහැකිය යන උපහැරණය නිර්මාණය වීමට පදනම සපයා ඇත්තේද එම සත්‍යයයි. ඇමරිකාවේ නම ගිය දේශපාලඥයන් හා අතිශයින් සැලකිලිමත් කොන්ග්‍රස් සාමාජිකයින් පවා නිල මැස්සන් සේ ඇබ්ස්කැම් මගඩියට ඇදී ආවේ මන්ද යන්නට පැහැදිලි කිරීමක්ද ඉන් ලැබේ.

බටහිර දෙසට සංක්‍රමනය වීමෙන් පසු බලාපොරොත්තු වු සාර්ථකත්වය ලැබීමට පෙර වෙයින්බර්ග් නොයෙකුත් සුළු සුළු ජාවාරම්වල නිරත වෙමින් දිවි ගැටගසාගත් අවධියක් තිබිණි. මැණිකක් ලැබෙන්නට පෙර හමුවන්නේ දලං කැබලි කියා ඔහු හිත හදා ගත්තේ එම කාලයේදීය. එම කාලයේදී දිනක් උදෑසන වෙයින්බර්ග් අවදිවුණේ කලකට ඉහතදි කැලිෆෝනියාවේ සිටියදි අසන්නට ලැබුණු කොන්ත්‍රාත්තුවක් පිළිබඳ මිහිරි මතකයකින් ප්‍රමුදිත වූ සිතකිනි. ඔහුගේ මතකයේ හැටියට එම කොන්ත්‍රාත්තුව පිළිබඳව වෙයින්බර්ග්ට දන්වා තිබුණේ, මෙක්සිකෝවේ ජීවත් වු ඉන්දියානු ගෝත්‍රිකයන් පිරිසක් සමඟ රත්රන් පිළිබඳ වු එම ගිවිසුමට එකඟවු තැනැත්තා විසින්මය. යුරෝපා වෙළෙඳ පොළේ රන් සඳහා ඉහළ ඉල්ලුමක් තිබු එකල තමාගේ වාසනාව පාදා ගැනීමට නම් කළ යුත්තේ, ඉන්දියානු රත්රන් ගිවිසුමට තමාගේ නමද ඈඳා ගැනීම බවට වෙයින්බර්ග් තීරණය කළේය.

තවත් පමානොවී යළි කැලිෆෝනියාව බලා පියාසර කළ හෙතෙම ඔත්තුව දුන් කොන්ත්‍රාත්කරු මුණ ගැසුණේය. වාසනාවකට මෙන් ඔහුද වෙයින්බර්ග්ටම කැපෙන ඉක්මන් මුදල් සොයන්නකු විය. ඩොලර් පන්දහසක අත්තිකාරමක් ගෙවා තමාව පෞද්ගලිකවම ‘යාකි‘ ඉන්දීය ගෝත්‍රික නායකයන්ට හඳුන්වා දීමට කොන්ත්‍රාත්කරු එකඟ කරගත් වෙයින්බර්ග්, ඔහුත් සමඟ කල් නොයවාම මෙක්සිකෝව බලා ගියේය. ගෝත්‍රිකයන් හා වෙයින්බර්ග් අතර හමුව සිදුවුයේ යාකි ඉන්දියානුවන්ගේ බලප්‍රදේශයක් වූ ඇරිසෝනා දේශසීමාවෙන් දකුණට වන්නට පිහිටි කඳුකර පිටිසරබද පෙදෙසකදීය. කාගේත්, විශේෂයෙන්ම වෙයින්බර්ග්ගේ නෙත් සිත් පැහැර ගැනීමට සමත් වූයේ ගෝත්‍රිකයන් අතර සිටි කැපී පෙනෙන රූපශ්‍රීයකින් යුතු කළු සමැති කාන්තාවයි. යාකි ඉන්දියානුවන් වෙනුවෙන් ඉංග්‍රිසි බසට පෙරළුවේ ඇය විසිනි. කළු රූමතිය පිළිබඳ ගෝත්‍රිකයින් කළ හැඳින්වීමට අනුව ඇගේ උපන්බිම හාලෙම් නුවරය. ඇමරිකානු දේශසීමාව පැන ඇය මෙක්සිකෝවට පලාවිත් තිබුණේ නිව්යෝක් නුවරදි මිනීමැරුම් චෝදනා පිට අත්අඩංගුවට පත්වීමෙන් ගැලවීමටය.

ඉන්දියානුවන්ට අවශ්‍යව තිබුණේ ඔවුන් මෙක්සිකානු රජයට එරෙහිව ගෙන යමින් තිබු යුද්ධය සඳහා වෙයින්බර්ග් ලවා ගිනි අවි ගෙන්වා ගැනීමටය. ගිනි අවි ගනුදෙනුව වෙනුවෙන් වෙයින්බර්ග්ට ඕනෑතරම් රත්රන් ලබාදීමට ගෝත්‍රිකයින් සැදී පැහැදී සිටියහ. කළු රූමතිය කළ විස්තරයට අනුව ගෝත්‍රිකයන් සතුව කඳුකරයේ රහසිගත රත්රන් පතල් පිහිටා තිබුණු අතර ගිනි අවි වෙනුවෙන් රත්තරනින් මිල ගෙවීම ඔවුන්ට සු‍ළු දෙයක් විය. සිතා සිතා කල් මැරීමට වෙයින්බර්ග්ට ඉස්පාසුවක් නොතිබිණි. ගිනි අවි ලබාදීමේ කොන්ත්‍රාත්තුව ගෝත්‍රිකයන් සංකේතාත්මකව සැමරුවේ ගනුදෙනුවේ සියලු කොන්දේසි යතුරුලියනය කළ ලිඛිත ගිවිසුමක පිටපතක් වෙයින්බර්ග්ට පිරිනැමීමෙනි. රත්රන් සම්බන්ධ සියලු ගනුදෙනුවල පුර්ණ අයිතිය ඉන් පවරා තිබුණේ වෙයින්බර්ග්ටය.

මුද්‍රිත ගිවිසුමක් හා රත්රන්වල සාම්පල ඇතිව ප්‍රමුදිත සිතින් පෙරළා නිව්යෝක් නුවර බලා පැමිණි වෙයින්බර්ග්ගේ මීළඟ උත්සාහය වුණේ ගිනි අවි මිලදී ගෙන දීමට කැමති සගයකු සොයාගැනීමයි. වෙයින්බර්ග් සිටියේ තමා අතට පත් මෙම වටිනා ගනුදෙනුව සාර්ථක කර ගැනීමට නොඉවසිල්ලෙනි. ඇරිසෝනා දේශසීමාවට ඔබ්බේ කඳුකරයේ සැඟවුණූ රන් පතල් සිහිවන විට ඔහුට ඉවසුම් නැතිවිය. මුදල්වලට ගිජු වෙයින්බර්ග්ට පිටර් නෝර්මන් ඩාවේස්ගේ හමුවීම දැනුණේ නත්තල් භෝජන සංග්‍රහයක් මෙනි. කැනඩාවේ ධනවත් පවුලකට දාව උපන් ස්වභාවයෙන්ම වීර ක්‍රියාවලට ප්‍රියකළ ඩාවේස්, නිතර විනෝදයෙන් සිටිම පුරුද්දක් කරගත්තෙකි. කැනේඩියානු ජාතිකයකු වුවත් ඩාවේස්ට ඕනෑ කළේ නියම ඉංග්‍රීසි මහත්මයකු ලෙස පෙනී සිටීමටය.

සිය රන් ගනුදෙනුවට හවුල්වීමට ඩාවේස් කැමති කරවා ගැනීම වෙයින්බර්ග්ට අපහසු වූයේ නැත. ගිනිඅවි මිලදී ගැනුණේත්, ඒවා මෙක්සිකෝව වෙත කුලියට ගත් පෞද්ගලික ගුවන් යානයකින් ප්‍රවාහනය කෙරුණේත් ඩාවේස්ගේ වියදමෙනි. වෙයින්බර්ග්ගේ සැලසුම වූයේ ඉන්දියානුවන්ගෙන් ලැබෙන රන් පිරිපහදු කිරිම පිණිස එම ගුවන්යානයෙන්ම, කැනල් සෝන් වෙත යවා පසුව යුරෝපා වෙළෙඳ පොළට නැව්ගත කිරීමටය. ඩාවේස් සමඟ ජීප්රථයකින් ඉන්දීය ගෝත්‍රිකයින් වෙසෙන කඳුකරයට ගිය වෙයින්බර්ග් ගුවන් යානයේ නියමුවාට උපදෙස් දී තිබුණේ තමා සංඥාවක් දෙන තෙක් යානය ඉහළ අහසේ පියාසර කරමින් තබා ගන්නා ලෙසයි.

මෙක්සිකෝවේ වනගත පෙදෙසක දූවිලි වලාවන් පීරාගෙන ඒ මැදින් වේගයෙන් පෙරට ධාවනය වන ජීප් රථයකි. එහි රියැදුරු අසුනේ සිටින්නේ ගණ ජැකට්ටුවක් පැලඳ තනි අතකින් සුක්කානම කරකවන ඩාවේස්ය. ඔහුට පසෙකින් අසුන්ගෙන සිටින වෙයින්බර්ග් වෙතින් පළවන්නේ වේගයෙන් ගමන් කරන මෝටර් රථයක් තුළ සිටින්නකුට ඇතිවන ‘ගමන් අසනීපයෙන්‘ පෙළෙන බව කියන තෝන්තු, විඩාපත් බවකි. ජීප් රථයේ ගමනට බාධා වන්නේ ඒ ඉදිරියට පැමිණෙන ගෝත්‍රික ඉන්දියානුවා හා කළු රූමතිය නිසාය. ජීප් රථයේ ගමන බාල කරමින් ඩාවේස් තිරිංග තද කරන්නේ අමුත්තන් දෙදෙනාගේ සංඥා කිරීමට අවනත වෙමිනි. සෙසු ගෝත්‍රිකයින් රත්රන් රැගෙන කඳුකරයේ සිට එමින් සිටින බව කළු රූමතිය ඔවුන් පැහැදිලි කරන්නීය. ඉන් සෑහිමට පත්වු ඩාවේස් ඉහළ බලා පියාසර කරමින් තිබු ගුවන්යානය ගොඩබස් වන ලෙසට සංඥාවක් කරයි. යානය බිමට පහත්වූ සැණින් හතරවටින් කණ් බිහිරි කරවමින් වෙඩි පුපුරන්නට පටන් ගනී. සිදුවන්නේ කුමක්දැයි ඩාවේස්ට හා වෙයින්බර්ග්ට සිතා ගැනීමටවත් ඉඩක් නැත. වෙඩි ප්‍රහාර මැද ගෝත්‍රික පිරිස ජීප්රථය ආක්‍රමණය කරති.

වෙඩි පහරකට ලක්වීමේ අවදානමද නොතකා ජීප්රියට පැන ගන්නා ඩාවේස් හිස හැරුණු අතට ජීප්රිය පදවයි. වෙයින්බර්ග් රිය පතුලේ වැතිරි බියෙන් වෙව්ලයි. ට්‍රක් රියකට පැනගන්නා ගෝත්‍රික පිරිසද ජීප්රිය පසුපස හඹා එන්නට පටන් ගනී. වෙයින්බර්ග් අතට රිවෝල්වරයක් දෙන ඩාවේස් ලුහුබැඳ එන ට්‍රක්රථයට වෙඩි තබන ලෙස ඔහුට නියෝග කරයි. ඒ වන විට ජීප් රිය ගමන් කරමින් සිටින්නේ වෙඩි වරුසාවකට මැදිවය. කඳු පල්ලම් ඔස්සේ ආතක් පාතක් නැතිව අධික වේගයෙන් ගමන් කරන ජීප් රිය තුළ හැකිතාක් පහළටම වී සිය උරහිසට ඉහළින් වෙයින්බර්ග් වෙඩි පිට වෙඩි තබයි. ඉලක්කයක් ගැන ඔහු වද වෙන්නේ නැත. බිය නිසා දෑස් පියාගෙන සිටින වෙයින්බර්ග් රිවෝල්වරයේ උණ්ඩ අවසන් වන තුරුම වෙඩි තැබීම නතර කරන්නේ නැත. ඒ වන විට රෑ බෝවී තිබුණද මෝටර් රියේ විදුලි පහන් දැල්විම ඩාවේස් එකහෙළාම ප්‍රතික්ෂේප කරයි. යන ඉසව්වක් ගැන කිසිදු හැඟීමක් දැකීමක් නැතිව රිය පැදවු ඩාවේස් වෙයින්බර්ග් සමඟ වල්මත් වන්නට වැඩි වේලාවක් ගතවූයේ නැත. එහෙත් කෙසේ ඇරිසෝනා කරා දිවෙන මාර්ගය සොයා ගැනීමට ඔවුහු සමත් වෙති. මහා විපතකින් දිවි ගලවා ගැනීමට ලැබුණද වෙයින්බර්ග් නාහෙන් අඬන්නට පටන් ගනී. “ඇයි දෙයියනේ මට කලින් මේ වගක් කල්පනා වුණේ නැත්තේ? අර අසමජ්ජාතියෝ මට ටයිප් කරපු කොන්ත්‍රාත්තු පිටපතක් දෙද්දි මේක අමු බොරුවක් කියලා මගේ ගොං මොළේට දැනෙන්න තිබුණා. පාලු කාන්තාරෙක ඉන්න වැද්දෝ ටිකකට කොහෙන්ද අම්මපා ටයිප් රයිටරයක්? “ ගිනි අවි රැගෙන කාන්තාරයට ගොඩබෑ ගුවන් යානයට හා එහි නියමුවාට සිදුවු දෙය වෙයින්බර්ග්ට කිසිදා දැනගන්නට ලැබුණේ නැත. ඩාවේස්ද ඇරිසෝනා හැරදා තමාගේ වාසනාව සොයා ගියේය.

නමුත් වෙයින්බර්ග් සිටියේ ලොකු අකරතැබ්බයකට මැදිවය. ඒ වන විට ඉන්දීය රත්රන් මගඩිය නිසා ඔහුට ඩොලර් හත්දහසක් අහිමිව තිබිණි. විපතකින් වුවද මොනයම් හෝ වාසියක් ලබාගැනීමට වෙයින්බර්ග් සතු අරුම පුදුම කුසලතාව කරළියට එන්නේ මෙහිදිය. යාකි ගෝත්‍රිකයන්ගේ වංචනික රත්රන් ගිවිසුම මොනයම් ක්‍රමයකින් හෝ රත්රන් කර ගැනීමට අධිෂ්ඨානයක් කළ වෙයින්බර්ග්ගේ කපටි නුවණට කදිම අදහසක් පහළ විය.

එය ඔහු වැනි කපටිකම්වලින්ම පදම්වූ අයකුටම පමණක් පහළ විය හැකි නියම ප්‍රයෝගයකි.

රොබට් ඩබ්. ග්‍රීන් විසින් රචනා කළ මෙල්වින් වෙයින්බර්ග්ගේ චරිතාපදානය ‘ස්ටිං මෑන්‘ කෘතියේ පරිවර්තනය

රුක්ලන්ති පෙරේරා

හෙට - රක්ෂණ සමාගමෙන් වීදුරු ඇණවුම්

 


නව අදහස දක්වන්න