කථානායකගේ හෘදසාක්ෂිය...! | දිනමිණ

කථානායකගේ හෘදසාක්ෂිය...!

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වූ ඉන්ද්‍ර කුමාර් ගුජ්රාල් මහතා වරක් අපූරු ප්‍රකාශයක් ජාත්‍යන්තර ප්‍රජාව වෙත මුදා හළේය. ඔහුගේ ප්‍රකාශයෙහි හරයාත්මක අර්ථය වූයේ ආසියාවේ පාර්ලිමේන්තු ක්‍රමය හා ප්‍රජාතන්ත්‍රවාදය ගැන විමසන්නේ නම්; ඒ සඳහා ආදර්ශයට ගත හැකි රටවල් දෙකක් ඇති බව ය. එනම්; ඉන්දියාව හා ශ්‍රී ලංකාව ය. ඉන්දියාවටත් වැඩි පාර්ලිමේන්තු උරුමයක් ශ්‍රී ලංකාවට තිබේ. ඊට හේතුව අපේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය ඉන්දියාවේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට වඩා ටිකක් පරණ වීම ය. අද අප මුහුණදී සිටින අභියෝගය වන්නේ පාර්ලිමේන්තු ක්‍රමය, ප්‍රජාතන්ත්‍රවාදය හා ස්වෛරීත්වය ආරක්ෂා කර ගනු ලබන්නේ කෙසේද යන්නය.

පාර්ලිමේන්තුවක් ක්‍රියාත්මක වන්නේ කිසියම් රාජ්‍යයක් අනුගමනය කරනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එන එකිනෙක වගන්තිවලට අනුවය. සරල දර්ශකයක් ගතහොත් අපගේ පාර්ලිමේන්තුව නියෝජනය කරන හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් උපදේශන සපයනු ලබන ප්‍රධාන ක්ෂේත්‍ර තුනක් පවතී. එක; විධායක බලතල වන්නේ ය. දෙක ව්‍යවස්ථාදායකයේ බලතල වන්නේ ය. තුන; අධිකරණය වන්නේ ය. අපගේ ව්‍යවස්ථාවට අනුව කථානායකවරයා යනු රටේ තෙවන පුරවැසියා ය. පළමු පුරවැසියා ජනාධිපතිවරයා වන අතර දෙවන පුරවැසියා බවට අගමැතිවරයා පත්වේ. කථානායකවරයා ඇත්තේ ඉහත තනතුරු දෙකට පසුපසින් ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ අභිමතයට අනුව අගමැති ඉවත් කළ හැකිය. නව අගමැතිවරයකු පත් කළ හැකි ය. කැබිනට් මණ්ඩලය වෙනස් කළ හැකි ය. පාර්ලිමේන්තුව කල් තැබිය හැකි ය. පාර්ලිමේන්තුව කැඳවිය හැකිය. මේ සම්බන්ධයෙන් අභියෝග කළ හැකි තැනැත්තකු නැත. දේශපාලනය අනුව ගතහොත් ජනාධිපතිවරයාට අභියෝග කළ හැකි එකම තැනැත්තා ඡන්දදායකයා ය. හෙවත් මහජනතාවය. කථානායකවරයා සිය හෘද සාක්ෂිය ගැන කතා කරන‍්නේ ‍ෙම් සත්‍යය වටහාගෙන නැතිව බව පෙනී යයි.

අපේ කථානායකවරයා රටේ පවතින දේශපාලන අවුල ගැන කතාකරමින් නිවේදනයක් නිකුත් කර තිබේ. මේ නිවේදනයට අනුව පෙනී යන්නේ කථානායකවරයා සිය බලය හා ශක්තිය යොදමින් පෙරළා දැමූ ආණ්ඩුවක් යළි ස්ථාපනය කිරීමට වෑයම් කරන බවය. එය කළ හැකි කාරණයක් නොවේ. ඔහුගේ නිවේදනයට අනුව ජනතාව නොමග යවන සාධක කිහිපයක් තිබේ. එයින් කිහිපයක් මෙසේය.

(I) කථානායකවරයා පරණ ආණ්ඩුව පිළිගනී.

(II) රනිල්ට බහුතරයක් ඇති බව කියා සිටී.

(III) ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය වැරැදි බව හඟවයි.

කථානායක කරු ජයසූරිය මහතා වර්තමාන තත්ත්වය විග්‍රහ කරමින් එක්සත් ජාතික පෙරමුණට ආසන 116ක් ඇති බව පෙන්වා දෙයි. එපමණක් නොව; මහින්ද රාජපක්ෂ මහතාගේ පත්වීම ද ඔහු අභියෝගයට ලක්කරයි. මෙයින් පෙනී යන්නේ කථානායකවරයා අතිශයින්ම පක්ෂග්‍රාහී බව ය. ඒ පමණක් නොව; දේශපාලන වාසි තකා බොරු සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කිරීමට ද ඉදිරිපත් වන බවය. රනිල් මහතාට සහයෝගය දැක්වීම සඳහා මන්ත්‍රීවරුන් 116 දෙනකු ඉදිරිපත්වී නැත. දැනට පවතින තත්ත්වයට අනුව වික්‍රමසිංහ මහතා සමඟ සිටිනුයේ මන්ත්‍රීවරුන් අනූ ගණනක් පමණි. ඉදිරි කාලය තුළ එය ද වෙනස් විය හැකිය.

ජනතා විමුක්ති පෙරමුණ එ.ජා.ප. මන්ත්‍රී කණ්ඩායම සමඟ සාකච්ඡාවකට පැමිණියහ. එහි අදහස වූයේ පාර්ලිමේන්තුව රැස්කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ මතය පළ කිරීමය. ජ.වි.පෙ. කිසි දිනෙක එජාපයට සහාය දක්වා නැත. ඉදිරියටත් එජාපයට සහාය දැක්වීමට ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් වන්නේ නැති බව පැහැදිලිව ප්‍රකාශ වී ඇත. කථානායක කරු ජයසූරිය මහතා ජනතා විමුක්ති පෙරමුණත් රනිල් පාර්ශ්වයට බැරකර ඇත්තේ ඇයිදැයි කිව නොහැකි ය.

කථානායක කරු ජයසූරිය මහතා දේශපාලන වශයෙන් බොහෝ අත්දැකීම් සහිත පරිණත පුද්ගලයකු බව ඇතමකුගේ මතය වෙයි. එහෙත් ඔහු ඊයේ නිකුත් කර තිබූ නිවේදනයෙන් පෙනීයන්නේ ඔහු තරම් පක්ෂග්‍රාහී හා විනය විරෝධී කථානායකවරයකු මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ දකින්නට නැති බවය. ඔහු එම නිවේදනය නිකුත් කර තිබුණේ හෘදසාක්ෂියේ සටහනක් හැටියටය. එම ශීර්ෂය ඔස්සේ සාමාන්‍ය ජනතාව මුළාකිරීමට උත්සාහයක් ගෙන ඇති බවද පැහැදිලිය. කථානායකවරයා නිවේදනවලින්, කයිවාරුවලින් නොව; ප්‍රතිපත්ති හා තීන්දු මගින් තම තනතුරෙහි ගෞරවය රැකගත යුතු බව සඳහන් කළ යුතුය.

ජනාධිපතිවරයා ගත් තීන්දු හා තීරණ ව්‍යවස්ථාවට එකඟ බවද, ඒවා රටේ හා ජාතියේ අනාගතය සම්බන්ධයෙන් හිතා-මතා ගත් දේශපාලන තීන්දු බවද අද වනවිට සනාථ වී තිබේ. රටේ ආගමික නායකයෝ මේ තීන්දු හා තීරණ අනුමත කරති. කෙනකුගේ අදහස වන්නේ ජනාධිපතිවරයාගේ තීන්දුව මීට පෙර ක්‍රියාත්මක වූයේ නම්; වඩාත් වැදගත් වන බවය. සිදුවී ඇති දේශපාලන පෙරැළියට ව්‍යවස්ථාවෙන් හෝ අධිකරණයෙන් හෝ බාධාවක් එල්ල නොවන බව පැහැදිලි වී ඇත. එය දැන-දැනම කථානායකවරයා පක්ෂග්‍රාහී ප්‍රකාශ නිකුත් කරයි. මෙයින් පෙනී යන්නේ කරු ජයසූරිය මහතා ද සිය රාජ්‍යතාන්ත්‍රික ජීවිතය දැඩි ලෙස ගර්හාවට ලක්කර ගන්නා බවය.

ආවොත් කරු පායයි හිරු! යනුවෙන් ආකර්ෂණීය දේශපාලන සටන් පාඨයක් සමඟ ජනතාව අතරට ගිය ‘කරු ජයසූරිය මහතා රටේ බොහෝ දෙනකුගේ අවධානයට ලක් විය. ඔහු සිටියේ දේශපාලන‍ෙය් ඉහළ තැනක ය. එහෙත් ඊයේ නිකුත් කළ හෘද සාක්ෂියේ නිවේදනයත් සමඟ ඔහු එම ඉහළ තැනින් පහළ වැටෙනු පෙනේ.

 


නව අදහස දක්වන්න

Or log in with...