අපි සියලු දෙනාම දව­සක තනි වෙනවා | දිනමිණ

අපි සියලු දෙනාම දව­සක තනි වෙනවා

පුංචි තිරයේ අහිංසකාව ලෙසින් ප්‍රේක්ෂක ආදරයට බඳුන්ව සිටින උමයංගනා වික්‍රමසිංහ මේ දිනවල දරුවන් අතර කතාබහට ලක් වූ චරිතයක්. ඒ ඇය හිරු නාළිකාවේ විකාශය කෙරෙන 'මායා සක්මන' ළමා ටෙලි නාට්‍යයේ කරන රංගනය හේතුවෙන්. ඒ වගේම ස්වාධීන රූපවාහිනියෙන් විකාශය කෙරෙන ‘රාහු’ හි 'නවෝදාගේ' චරිතයත් මේ දිනවල ජනප්‍රියයි. ඒ ගැන කතාබහ කරන්නටත්, ඇයගේ නවක තතු දැන ගන්නටත් අපි උමයංගනාට කතා කළා.

කොහොමද උමයංගනා...?

හොඳින් ඉන්නවා!

නවෝදාට ලැබෙන ප්‍රතිචාර කොහොමද ?

චාමර පීරිස්ගේ රාහු ටෙලිනාට්‍යයේ නවෝදා චරිතයට ලැබෙන ප්‍රතිචාර හොඳයි. එම චරිතය සාම්ප්‍රදායික ගැහැනියගෙන් ඔබ්බට ගිය, අලුත් විදිහට සිතන පතන කාන්තාවකගේ චරිතයක්. මෙය මම මීට පෙර කළ චරිතවලට වඩා වෙනස්.

සිනමා නිර්මාණවල දකින්න ලැබෙනවා අඩුයි...

මම රඟ පෑ චිත්‍රපට කිහිපයක්ම තිරගත වෙන්න තියෙනවා. ටවුමේ කඩේ, ඉස්කෝලේ, ආදරණීය රිකී, විශ්ම යන මේ චිත්‍රපට හතරම ඉදිරියේදි තිරගත වෙයි. ඒ වගේම 'සුදු ඇඳගෙන කළු ඇවිදින්' ටෙලි නාට්‍යයත් එන්න තියෙනවා.

උමයංගනා වේදිකාවේ නිතරම දකින්න ලැබෙන රංගන ශිල්පිනියක්..

ඔව්. මම වේදිකාවට ආදරෙයි. මම කලාවට පිවිසෙන්නේ වේදිකාවෙන්. මේ දවස්වල 361, රජා මං වහලා, මාරක ළිඳේ සවාරියක් යන නාට්‍ය තුන වේදිකාගත වෙනවා. ඒ වගේම චාමික හත්ලහවත්තගෙ අලුත්ම වේදිකා නාට්‍යයටත් සම්බන්ධ වී සිටිනවා.

‘ඩොක්ටර්’ චැනලින් හි ඔබ නිවේදිකාවක්..

ජාතික රූපවාහිනියෙන් ගෙන එන 'ඩොක්ටර් චැනලින්' හි නිවේදිකාව ලෙස කටයුතු කරනවා.

කොහොමත් පුංචි කාලයේ සිටම මගේ හීනය වුණේ ප්‍රවෘත්ති නිවේදිකාවක් වෙන්න. සුමනා නෙල්ලම්පිටිය, රම්‍යා වනිගසේකර වැනි ප්‍රවීණ නිවේදිකාවන් ප්‍රවෘත්ති කියනවිට අහගෙන ඉන්න ආසා කළා.

ඒ නිසා තමයි නිවේදිකාවක් වෙන්න සිතාගෙන 'නිට්' ආයතනයේ ජනමාධ්‍ය පාඨමාලාවක් හැදෑරුවේ.

එහි ලාල් හේමන්ත මාවලගේ ගුරුතුමා ලබාදුන්නු දැනුමෙන් දෙරණේ ප්‍රථම ප්‍රවෘත්ති නිවේදිකාව ලෙස අවුරුද්දක් සේවය කළා.

ඉන් පසුව ශ්‍රී ටීවී සැටලයිට් ආයතනයේ වසර නවයක් ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස කැළුම් විජේසූරිය සමග පුවත් ඉදිරිපත් කළා.

ඉන් පසුවද කලාවට සම්බන්ධ වූයේ...?

මගේ අම්මා අනුලා කාන්ති කුමාරි. ඇය ගුවන් විදුලියේ සහන නිවේදිකාවක් ලෙස වැඩ කළා. ඒ වගේම ටවර් හෝල් රංගන ශිල්පිනියක් සහ ගායිකාවක් ලෙසින් කලාව සමග සම්බන්ධව සිටියා. ඇය තමයි මාව දයා වයමන් මහත්මයාට හඳුන්වා දුන්නේ.

ඔහු ‘නෙයිනගේ’ සූදුව 2002 නව නිෂ්පාදනයෙහි කෝරස් එකට මාව බඳවා ගත්තා. එහෙම තමයි කලාවට ආවේ.

ඔබ රංගන ශිල්පිනියක වුණාට පාසලේදි හැදෑරුවේ විද්‍යා විෂයයන්...

ඔව්. උසස් පෙළට හැදෑරුවේ විද්‍යා විෂයයන්. ඉස්සෙල්ලාම ඖෂධවේදිනියක ලෙස රැකියාවත් ලැබුණා. ඒත් මම ගියේ නැහැ. විද්‍යා විෂයන් හැදෑරුවත් පාසලේදි කලාවට සම්බන්ධ දේවල මූලිකත්වය ගෙන වැඩ කළා. ඒ වගේම නිවේදන කටයුතුත් කළා.

ඔබ කලාවට ගෙනා මව අද නැතිවීම ගැන දුකක් නැත්ද?

අම්මා නැතිවෙච්ච මුල් කාලයේ ඒ දුක තදින්ම දැනුණා. දැන් ඇය නැති වී වසර පහක්. එහෙත් අම්මා නැතිවුණේ අද ඊයේ වගේ මට දැනෙන්නේ.

අම්මා අපිට බෞද්ධ දර්ශනය පිළිබඳව හොඳින් කියා දී තිබුණා. ඇයගේ වියෝවෙන් මට හු‍ෙදකලා බවක් දැනෙනවා.එහෙත් අපි සියලු දෙනාම දවසක තනි වෙනවා කියන ධර්මතාව තේරුම් ගත්තා.

උමයංගනා වේදිකාව, පුංචි තිරය සහ රිදී තිරයෙන් වඩාත් කැමැති...?

සුදත් රෝහණගේ ‘කටු ඉඹුල’ නාට්‍යයෙන් තමයි මාව රටම හඳුනාගත්තේ. එදා සිට මේ දක්වා ටෙලි නාට්‍ය 50ක්, චිත්‍රපට හයක, සහ වේදිකා නාට්‍ය හතක පමණ රඟපෑවා.

මේ තුනෙන්ම මම කැමැතිම මාධ්‍යය වේදිකාව. රංගනය පිළිබඳව ප්‍රායෝගිකව අත්හදා බලන්න පුළුවන් හොඳම ස්ථානය වේදිකාව. වෘත්තීය රංගන ශිල්පිනියක් ලෙස වේදිකාව අපේ රංගන කෞශල්‍යය ප්‍රගුණ කළ හැකි හොඳම තැන යැයි මා විශ්වාස කරනවා.

විදේශීය මෙගා නාට්‍ය රැල්ල නිසාද ඔබටත් වැඩ අඩු...?

එහෙම දෙයක් නෑ. මම හැමදාමත් තෝරාගත් නිර්මාණවල පමණයි රඟපාන්නෙ. විදේශීය මෙගා නාට්‍ය හඬකැවීමෙන් ජීවත් වන ශිල්පීන් කොටසකුත් අපේ රටේ ඉන්නවා.

අපි පුංචි කාලෙත් ‘රොබින් හුඩ්’ වැනි නාට්‍ය නැරඹුවා.

අද වෙලා තියෙන්නේ නිර්මාණයේ ගුණාත්මකබව නොබලා ඕනෑම නිර්මාණයක් පෙන්වීමයි. ඒ නිසා මට කියන්න තියෙන්නේ විදේශීය මෙගා නාට්‍ය ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව සලකා සීමා කළ යුතුයි කියා.

ඔබේ තනියට කවුරුද ළඟින් ඉන්නේ...?

මගේ තාත්තා. ඔහු දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කර මේ වන විට විශ්‍රාමිකව සිටිනවා. තාත්තා තමයි කොළඹින් පිටත රූගත කිරීමකට ගියත් මා සමග යන්නේ. ඒ වගේම මගේ මල්ලිත් මට සහාය වෙනවා. 

නයනා වෑත්තෑව

නව අදහස දක්වන්න