කොටස් වෙළෙඳ පොළ අනාවැකිය | දිනමිණ

කොටස් වෙළෙඳ පොළ අනාවැකිය

මෙයට සතියකට පෙර ශ්‍රී ලංකා දේශපාලනයේ අතිශය වැදගත් වූ ද එතරම් ම තීරණාත්මක වූ ද තීරණයක් ගනු ලැබුණි. එම තීරණය අන් කිසිවක් නොව මෙරට අග්‍රාමාත්‍ය ධුරයට මහින්ද රාජපක්ෂ මහතා පත්කරන්නට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණයයි. සුළු පිරිසක් එම තීරණය සම්බන්ධයෙන් විරෝධය පෑ බව පිළිගත යුතුය. එය සාමාන්‍ය තත්ත්වයකි. සියල්ලන් එකවර සතුටු කරන තීරණ ගැනීමට කිසිවකුට හැකි වන්නේ නැත. දේශපාලනයේදී එය වඩාත් සාධාරණය. දේශපාලනයේදී අවශ්‍ය වන්නේ ජනප්‍රිය තීරණ නොවේ. යථාර්ථවාදී නිවැරැදි තීරණ ය.

ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ පිහිටුවීම එබඳු යථාර්ථවාදී තීරණයක් බව ඔප්පු කෙරෙන සාධක බෙහෙවින් මතුවෙමින් තිබේ. එක් අතකින් එය ජනප්‍රිය යථාර්ථවාදී තීරණයක් ලෙස ගත හැක්කේ, බහුතර ශ්‍රී ලාංකික ජනතාව එකී තීරණයෙන් සතුටටත්, සොම්නසටත් පත්වූ බව පෙනෙන්නට තිබෙන බැවිනි. ඊට නිදසුන් වශයෙන් කරුණු කිහිපයක් දක්වන්නට පුළුවන. එකක් මහින්ද මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්කළ බව ඇසූ ශ්‍රී ලංකාවාසී ජනතාව උද්දාමයට පත්වීමය. අනෙක ඒ මහතා අග්‍රාමාත්‍ය තනතුරට පත්කිරීම නිමිත්තෙන් හෝටල් හිමියන්ගේ සංගම් සහ ත්‍රිරෝද රථ සංගම් තමන්ගේ ගාස්තු අඩු කිරීමට තීරණය කිරීමයි.

රටේ ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා විසින් නව අග්‍රාමාත්‍යවරයකු පත්කරන්නට ගත් තීරණය ඉවහල් වී ඇති බව දැන් තහවුරු වී තිබේ. ඊට ආසන්නම සාක්ෂිය ලැබෙන්නේ මෙරට කොටස් වෙළෙඳ පොළෙනි. අප එසේ කියන්නේ කවර කරුණක් මත පදනම්වද යන්න පැහැදිලි කළ යුතුය. එය කළ හැකි වන්නේ පසුගිය සතියේ සහ ඊට පෙර වසර කිහිපය තුළ කොටස් වෙළෙඳ පොළ පැවැති ආකාරය පැහැදිලි කර ගැනීමෙනි. කෙටියෙන් කිවහොත් යහපාලන ආණ්ඩුව පැවැති වසර තුන තිස්සේ මෙරට කොටස් වෙළෙඳ පොළ පැවතියේ නිද්‍රාශීලීවය. එහි වර්ධනයක් හෝ ප්‍රබෝධයක් හෝ දක්නට ලැබුණේ නැත.

පසුගිය සතියේ ජනාධිපතිවරයා ගත් තීරණය දේශපාලන වශයෙන් පමණක් නොව මෙරටට ආර්ථික වශයෙන් ද වැදගත් වූවක් බව කියාපාන දර්ශකයක් මේ වන විට ඉස්මතු වී තිබේ. එනම් කොටස් වෙළෙඳ පොළේ හදිසි පිබිදීමක් දක්නට ලැබීමයි.

කොටස් වෙළෙඳ පොළ සංඛ්‍යා දත්ත අනුව ඊයේ එනම් 2018 ‍ෙනාවැම්බර් 01 දින දැවැන්ත වර්ධනයක් වාර්තා වී තිබේ. එනම් ඊයේ දහවල පසුවී සුළු ‍ෙමාහොතකට පසුව කොටස් වෙළෙඳ පොළේ සියලු කොටස් මිල දර්ශක ඒකක 121 කින් හා එස්. ඇන්ඩ් පී. එස්. එල් 20 දර්ශකය ඒකක 125 කින් ඉහළ යාමයි. ඒ වනාහි ඊට පෙර දිනයට සාපේක්ෂව සියලු කොටස් මිල දර්ශකයේ සියයට 02 ක වර්ධනයක් සහ එස් ඇන්ඩ් පී එස් එල් 20 දර්ශකයේ සියයට 04 ක වර්ධනයකි. මේ වනවිට ගනුදෙනු පිරිවැටුම රුපියල් මිලියනයේ සීමාවද ඉක්ම ගොස් තිබේ. වඩාත්ම වැදගත් වන්නේ පසුගිය වසර 05 ක කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකය වාර්තා කළ ඉහළම වර්ධනය මෙය වීම සහ එය ඉකුත් දින තුනේදී වාර්තා වී තිබීමයි.

රටක කොටස් වෙළෙඳ පොළ යනු එරට ආර්ථිකයේ පදනම වේ. කොටස් වෙළෙඳ පොළ නිද්‍රාශීලී වන්නේද රටේ ආර්ථිකයද නිද්‍රාශීලී වේ. එක තැන පල්වන තත්ත්වයට පත්වේ. කොටස් වෙළෙඳ පොළ හෙමින් වැඩෙන්නේ නම් රටේ ආර්ථිකය ද වැඩෙන්නේ ඉබි ගමනිනි. කොටස් වෙළෙඳ පොළ ජවසම්පන්න වේගයකින් ඉහළ නැගීම යනු රටේ ආර්ථිකය ද ජවසම්පන්න වේගයකින් ඉහළ නැගීමයි. ඒ අනුව ඊයේ කොටස් වෙළෙඳ පොළ දත්ත අනුව නොබියව පුරෝකථනය කළ හැක්කේ මෙරට නවතම හා වේගවත් සංවර්ධන යුගයකට අවතීර්ණ වෙමින් පවතින බවයි. ආර්ථික සංවර්ධනය පදනම් වන්නේද කොටස් වෙළෙඳ පොළ සංවර්ධනය මත බැවිනි.

කොටස් වෙළෙඳ පොළක් ආවාට ගියාට සංවර්ධනය වන්නේ නැත. කොටස් වෙළෙඳ පොළෙහි සංවර්ධනය හෝ පසුබෑම තීරණය වනු ඇත්තේ එම රටට අදාළ ව්‍යාපාරික ප්‍රජාවගේ හැසිරීම අනුවය. එනම් කොටස් වෙළෙඳ පොළ සක්‍රීය වීම යනු රටක ක්‍රියාත්මක ව්‍යාපාරික ප්‍රජාව සක්‍රීයව එරට ආර්ථික ක්‍රියාවලියට දායක වීමට කැමැත්තක් දක්වන බවයි.

ව්‍යාපාරිකයන් කොටස් වෙළෙඳ පොළෙහි ආයෝජනය කරන්නට හෝ ක්‍රියාකාරීවන්නට පෙර සලකා බලනු ඇති කරුණු කිහිපයක් තිබේ. එකක් තමන්ගේ ආයෝජනයේ ස්ථාවරත්වයයි. තවත් එකක් නම් ඉන් ලැබෙනු ඇතැයි සිතන ලාභයේ ප්‍රමාණයයි.

ඉහත කරුණු දෙක සම්පූර්ණ වීමට තවත් පැවතිය යුතු කරුණක් වන්නේ රටක දේශපාලන ස්ථාවරත්වයයි. එනම් එම ‍රටෙහි ශක්තිමත් ආණ්ඩුවක් පවතින්නේය යන්නයි. අස්ථාවර ආණ්ඩු පවතින රටක ආයෝජනය කරන්නට ලොව කවර හෝ ආයෝජකයකු ව්‍යාපාරිකයකු කැමැති වන්නේ නැත.

කොටස් වෙළෙඳ පොළේ ඊයේ පිබිදීම අනුව පෙනී යන්නේ මෙරට දේශපාලන ස්ථාවරභාවය ගොඩනැඟි ඇති බව ව්‍යාපාරික ප්‍රජාවට අවබෝධ වී ඇති බවයි. එනම් ශක්තිමත් ආණ්ඩුවක් ගොඩනැගී ඇති බවට විශ්වාසක් ව්‍යාපාරික ප්‍රජාවට ඇති වී ඇති බවයි.

පසුගිය සතියේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ගත් තීරණය දේශපාලන තීරණයක් පමණක් නොව මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් ද වැදගත් වන්නක් බව කොටස් වෙළෙඳ පොළෙහි ඉහත වර්ධනය විසින් තහවුරු කර තිබේ. එසේම එය රටේ සංවර්ධනය කෙරෙහිද යහපත් ආකාරයෙන් බලපාන සංවර්ධනාත්මක තීරණයක් වශයෙන් අර්ථකථනය කළ හැකිය. මෙරට ආර්ථිකයේ වර්ධනය වෙනුවෙන් එකී තීරණය බෙහෙවින් වැදගත් ආකාරයෙන් බලපානු ඇති බවට සැකකයක් ඇත්තේ නැත. සතුටු විය හැකිය. හෙට එච්චරම කරුවල නැත. සංවර්ධනයේ හිරු උදාවනු ඇත.

නව අදහස දක්වන්න