කොල්ලුපිටියේ වි‍රෝධතාව...! | දිනමිණ

කොල්ලුපිටියේ වි‍රෝධතාව...!

වික්‍රමසිංහ මහතාගේ අසාර්ථකභාවයත්, එක්සත් ජාතික පක්ෂයේ දිළිඳුකමත් රටට ප්‍රදර්ශනය කරමින් කොල්ලුපිටියේ විරෝධතාව නිමාවට පත්විය. මීට පෙර ඒකාබද්ධය කොළඹට රැගෙන ආ ජනගංගාව දෙස බලන විට මෙය ඉතා ඇබිත්තකි. රටේ ජනමතය ඇත්තේ කොතැනක ද යන්න කොල්ලුපිටියේ පුංචි විරෝධතාවෙන් පැහැදිලි කර ගත හැකි ය. අඟහරුවාදා කොළඹට සෙනඟ ගෙන්වීම සඳහා එ.ජා.ප. මන්ත්‍රීවරුන් කෙබඳු උත්සාහයක යෙදුණේ ද යත්; ඇතැම් ශාඛා සමිති තුළ ගුටි - කෙළි පැවතුණේ ය. අවසානයේ ඉහත සෙනඟ ටික හෝ කොළඹට ගෙන්වා ගෙන ඇත්තේ කෑම - බීම හා මුදල් ද විරෝධතාකරුවන්ට ලබාදීමෙන් පසුව බව දැනගන්නට ලැබේ.

මේ විරෝධතාවේ අරමුණු දෙකක් තිබුණු බව පැහැදිලි ය. පළමු අරමුණ වූයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන බලය ජාත්‍යන්තරයට පෙන්වීම ය. දෙවන අරමුණ වූයේ අලුත් ආණ්ඩුවට හා නව අගමැතිවරයාට එරෙහිව ජනතාව පෙළගැස්වීම ය. වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර අතපෙවීම්වලට කැමැති නායකයෙකි. ඔහු අමෙරිකාව කට අරින තුරු බලා සිටී. සාම සාධක හමුදාවක් රටට කඩා වදින්නේ නම්; වික්‍රමසිංහ මහතා ඊටත් කැමැතිය. වික්‍රමසිංහ මහතා එබඳු ඉල්ලීමක් කර ඇති බවට ආරංචියක් ද පැතිර යයි. රටේ බහුතරයකට වික්‍රමසිංහ මහතා හා ඔහුගේ ප්‍රතිපත්ති එපා වී ඇත්තේ ඔහු සතු විජාතික ගැතිභාවය නිසා ය. එක්සත් ජාතික පාක්ෂිකයෝම ඊට විරුද්ධ වෙති.

විජාතික ගැති නායකයන් නිසා රටවල්වලට සිදුවී ඇති විනාශය දැක ගැනීමට නම්; ලෝකය නිරීක්ෂණය කළ යුතු ය. ඉරාකය, ලිබියාව යන සශ්‍රීක රටවල් දෙක විනාශ මුඛයට ගියේ ද අරාජික තත්ත්වයට පත් වූයේ ද විදේශ අතපෙවීම් නිසා ය. ඒ රටවල් පාලනය කළ නායකයන් ඊට වගකිව යුතු ය. ඇෆ්ඝනිස්ථානය, යේමනය හා සිරියාව යුද ගිනිදැල් මැද දැවෙන්නේ ද විදේශ අතපෙවීම් නිසා ය. යේමනය සාර්ථක ආර්ථිකයක් සහිතව ඉදිරියට ගිය රාජ්‍යයෙකි. අද එහි දරුවෝ මන්දපෝෂණයෙන් මියයති. දස ලක්ෂ ගණන් ජනතාව අනාථ කඳවුරුවල ජිවත් වෙති. වික්‍රමසිංහ මහතාගේ උත්සාහය වන්නේ ජාත්‍යන්තර අතපෙවීමක් ඔස්සේ තම බලය තහවුරු කරගැනීම ය. එය භයානක සෙල්ලමකි.

ශ්‍රී ලංකාව දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ස්වාධීන රාජ්‍යයකි. අප අමෙරිකාවට යටවිය යුතු නැත. චීනයට හෝ ඉන්දියාවට හෝ අවශ්‍ය පරිදි රූකඩයක් සේ නැටිය යුතු ද නැත. ජාත්‍යන්තර සබඳතා පවත්වාගැනීම හොඳ දෙයකි. ඒ මගින් ලෝක ගනුදෙනු ව්‍යාප්ත කරගත හැකි ය. එහෙත් සබඳතා එකකි. ජාත්‍යන්තරයට යටවීම තවත් එකකි. වික්‍රමසිංහ මහතා සබඳතා වෙනුවට බලවත් රටවලට හා එහි නායකයන්ට කීකරු වන බවක් පෙනෙන්නට තිබේ. ඔහු හතර වාරයක් අගමැති පදවිය දරා තිබේ. ඒ සෑම වාරයකම ඔහුගේ විදේශ ගැතිභාවය හොඳින් ප්‍රදර්ශනය කර තිබේ. මේ දැන් හිටපු අගමැතිවරයා ලෙස වික්‍රමසිංහ මහතා ඉටුකරමින් සිටින්නේ ද එදා කළ දේ ම ය.

වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරය තුළ බලහත්කාරයෙන් රැඳී සිටින්නේ ජන බලයේ ආශිර්වාදයෙන් නම්; දැන් වහාම ගෙදර යා යුතු ය. ඒ කෙසේද යත්; ඔහුට රටේ බහුතර ජන බලයක් නැති බව කොල්ලුපිටියේ විරෝධතාවෙන් හොඳ හැටි සනාථ වන බැවින් ය. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ප්‍රමුඛ තැන ලැබෙන්නේ ජනතාවගේ අභිමතයට ය. පාර්ලිමේන්තුවේ බලය, ජනාධිපතිවරයාගේ බලය හා තවත් දේවල් ජනබලය ඉදිරියේ දෙවැනි තැනට පත් වේ. ජන බලය නැති නායකයකුගෙන් ද ජන බලය නැති පක්ෂයකින් ද රටට වන සෙතක් නැත. රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂය වළ පල්ලට යමින් තිබෙන බව බොහෝ දෙනා පෙන්වා දෙති.

රජයේ ඇතැම් උසස් නිලධාරීන්ට නිල නිවාස ලබාදී ඇත. එය ඉංග්‍රීසි ආණ්ඩු සමයේ පටන් පැවැත එන ක්‍රමයකි. එම නිලධාරීන් මාරුවීමක් ලැබුවද, වැඩ තහනමකට ලක් වුව ද, විශ්‍රාම ගත්තද තම නිල නිවස අලුත් නිලධාරියාට භාර දී ආපසු ගෙදර යෑම සිදුවන්නේ ඉතා සුහද ලෙස ය. නිල නිවසක් භාර නොදීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස සැලකේ. අගමැතිවරයාගේ නිල නිවස වන්නේ අරලියගහ මන්දිරයයි. එය පොදු දේපොළක් හෙවත් මහජනයා සතු සම්පතක් ලෙස සැලැකිය හැකි ය. වික්‍රමසිංහ මහතා දින ගණනාවක සිට එම පොදු දේපොළ අයථා ලෙස පාවිච්චි කරයි. මේ සඳහා නීතිමය පියවර ගත යුත්තේ මේ දැන් මිස පසුව නොවේ.

වික්‍රමසිංහ මහතා හා පිරිසක් කොල්ලුපිටියේ උද්ඝෝෂණ කරත් දී එක්සත් ජාතික පක්ෂයේ රත්නපුර මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද මහතා අලුත් ආණ්ඩුවේ ඇමැතිවරයකු හැටියට ජනාධිපතිවරයා ඉදිරියේ දිව්රුම් දුන්නේ ය. අමතක නොකළ යුතු කාරණය වන්නේ ඔහු වික්‍රමසිංහ ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ බව ය. පැවැති ආණ්ඩුවේ ඇමැතිවරුන් කී දෙනකු අලුත් ආණ්ඩුවට එකතු වන්නේ ද එජාප ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් කී දෙනකු අලුත් ආණ්ඩුවට එකතු වන්නේ ද යන්න ඉදිරි දින කිහිපය තුළ දී දැක බලා ගත හැකි ය. එක මතයකට අනුව එජාපයෙන් විස්සක් මහින්ද මහතා සමග එකතු වෙති. එජාපයේ පසු පෙළ මන්ත්‍රීවරු පිරිසක් නායකත්වය විවේචනය කරති. මේ අනුව වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරය තුළ තනි වන බවක් පෙනෙන්නට තිබේ.

ජනාධිපතිවරයා නව අගමැතිවරයකු පත් කර ඇත්තේ ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව බව දැන් තහවුරු වී තිබේ. ඒ ගැන විවාද කිරීම ද පලක් නැති කාරණයකි. ජාත්‍යන්තර ප්‍රජාව ද ඒ බව වටහා ගත යුතුව තිබේ. ජනාධිපතිවරයා විදේශීය තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් සමග සාකච්ඡාවක් පවත්වා ඇත්ත තත්ත්වය පැහැදිලි කර දී ඇත. පවතින තත්ත්වය පිළිබඳ යම් සැකයක් හෝ අවිශ්වාසයක් පැවැතියේ නම්; විදේශීය තානාපතිවරුන් එය ද ඉවත් කර ගන්නට ඇත. ඒ කෙසේ වුව ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රශ්න අපම විසඳාගත යුතු ය. ඊට විදේශීය මැදිහත්වීමක් අවශ්‍ය නැත.

ලෝකයේ බලවත් රටවල් නායකයෝ ස්වදේශිකත්වය කෙරෙහි වැඩි නැඹුරුවකින් කටයුතු කරන්නට පෙලැඹී සිටිති. එය දැන් ලෝක ප්‍රවණතාවක් ලෙස පවතී. අමෙරිකන් ජනාධිපතිවරයා සිය රාජ්‍ය සතු කර්මාන්ත හා ව්‍යාපාර තහවුරු කරනු සඳහා දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ද ස්වදේශික චින්තනයට මුල්තැන දෙමින් ය. රට හා රටේ සම්පත් විකුණන ප්‍රතිපත්තියක් ජනාධිපති ට්‍රම්ප් ළඟ නැත. වික්‍රමසිංහ මහතා අමෙරිකන් ගැති පුද්ගලයකු වුව ට්‍රම්ප්ගේ ක්‍රමය අනුගමනය කරන්නේ නැත. කොටින්ම ස‍්වදේශික චින්තනයක් ඔහු ළඟ ගෑවිලාවත් නැත. ඔහු ක්‍රියා කරන්නේ ඩී.එස්. ලාගේ චින්තනයට එරෙහිව ය. පොදු ජනතාවට වික්‍රමසිංහ මහතා අප්‍රසන්න වන්නේ ද ඒ හේතුව නිසාමය.

වික්‍රමසිංහ මහතාට පා - ගමනක් යෑමට අවශ්‍ය නම්; ඒ සඳහා මහින්ද මහතාගෙන් ටියුෂන් ගත යුතු ය. එතුමාට විරෝධතාවක් පැවැත්වීමට අවශ්‍ය නම්; ඒ සඳහා ජේ. ආර්. මහතාගේ පොත පෙරළා බැලිය යුතුය. දඟකාර කම් නොකර වික්‍රමසිංහ මහතා ගෙදර යෑම කාට - කාටත් යහපත් ය.

 


නව අදහස දක්වන්න

Or log in with...