ලෝකය සහ මේ රට | දිනමිණ

ලෝකය සහ මේ රට

අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු ආසියා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල ලොක්කා අප වෙනුවෙන් මෙබඳු නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් වන අර්ථ සරල බසින් කිවහොත්; මෙසේ ය; ඔබලා ව්‍යවස්ථාවට අනුව ක්‍රියා කළ යුතු ය. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ යුතුය. පාර්ලිමේන්තු ක්‍රමයට මුල් තැන දිය යුතුය. මේ උපදේශනය නරක නැත. එහෙත් අමෙරිකාව පවා එය අනුගමනය කරන ‍බවක් ද පෙනෙන්නට නැත. කෙසේ වුව ව්‍යවස්ථාව ප්‍රමුඛ තැනෙකලා සලකන්නට යැයි අමෙරිකාව අපට උපදේශන සපයයි.

රටකට අන්තර්ජාතික බලපෑම් එල්ලවීම ගැන විවිධ විග්‍රහ හා විමර්ශන ඉදිරිපත් කළ හැකි ය. පවතින තත්ත්වය යටතේ ලෝක බලවතා වූ අමෙරිකාව අපට කියා සිටින්නේ ව්‍යවස්ථාව අනුව ක්‍රියා කරනු යන්නය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කිසිදු උල්ලංඝනයක් ජනාධිපතිවරයා සිදුකර නැත. ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව නව අගමැතිවරයකු ද කැබිනට් මණ්ඩලයක් ද පත් කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතා ක්‍රියාකර ඇත. එහි කිසිදු ව්‍යවස්ථා විරෝධී බවක් නැතැ’යි නීති විශාරදයෝ පෙන්වා දී සිටිති.

ශ්‍රී ලංකාවට අන්තර්ජාතික බලපෑම් එල්ලවන්නේ ඉතා ඈත අතීතයේ සිටය. පහළොස්වන ශතවර්ෂයේ සිට යුරෝපා ජාතිකයන්ගේ බලපෑම් අධික විය. එය කෙතරම් ව්‍යාප්ත වූයේ ද යත් යුරෝපා ජාතිකයන් තුන්දෙනකුගේ ග්‍රහණයට ලක්වීමට අපට සිදුවිය. ඒ පෘතුගීසි, ඕලන්ද (නෙදර්ලන්ත) හා ඉංග්‍රීසි වශයෙන් ය. 1505 සිට මේ බලපෑම් අනුව ශ්‍රී ලංකාවේ දේශපාලනය හා ආර්ථිකය තීන්දු විය. මීට එරෙහිව නැඟුණු අරගල ගණනාවකින් පසුව අපට 1948 නිදහස ලැබිණි. එහෙත් ඒ නිදහස පූර්ණ එකක් නොවීය. එමෙන්ම යටත්විජිත මානසිකත්වය සහිත සමාජ නායකයෝ ද ඒ අතර සිටියෝය.

කිසියම් රාජ්‍යයකට අන්තර්ජාතික බලපෑම් එල්ල වන්නේ ද; එම රාජ්‍යය ඉහත කී අන්තර්ජාතික බලපෑම්වලට අනුව ක්‍රියා කරන්නේ ද; එහිලා වගකීම භාරගත යුතු පාර්ශ්වය වන්නේ රටේ ජීවමාන පාලකයන් ය. දහතුන්වන ශතවර්ෂයේ දී පාලකයන්ට උපදේශන ලබා දුන් මැකියාවේලි කියා සිටියේ පාලකයා සිංහයකු සේ එඩිතර විය යුතු බව ය. එලෙසම නරියකු සේ කපටි විය යුතු බවය. මේ දෘෂ්ටාන්ත දෙකෙහි ම ගැඹුරු අර්ථය වන්නේ පාලකයා නිවැරැදි තීන්දු ගනු ලබන එඩිතර පුද්ගලයකු විය යුතු බව ය.

ජාත්‍යන්තර බලපෑම් යනු තුට්ටුවකට නොසැලකිය යුතු කාරණයකි. එලෙසම ඊට අදාළ විග්‍රහයේ පැහැදිලි වන්නේ නායකයන් ජාත්‍යන්තර බලවේගවලට එරෙහිව සටන් කිරීමට සන්නද්ධ වී සිටිය යුතු බවය. ශ්‍රී ලංකාව 1505 සිටම ජාත්‍යන්තර බලවේගවලට යටත් විය. යටත් වූවා පමණක් නො ව; ඒ අනුව රටේ අනාගතය සැලැසුම් කළේය. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යන පාලන සමයන්හි අත්දැකීම්වලින් පෙනී යන්නේ එම සත්‍යය ය.

අද තත්ත්වයට අනුව ගතහොත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අමෙරිකාව එක දෙයක් කියයි. යුරෝපා සංගමය තව දෙයක් කියයි. ඉන්දියාව තවත් දෙයක් කියයි. මේවා වැදගත් වන්නට පුළුවන. එහෙත් රට ඉදිරියට ඔසවා තැබීමේදී අපේ පාලකයන් තීන්දුවක් ගත යුතුය.

මේ විග්‍රහ හා විමර්ශන සැලැකිල්ලට ගැනීම වැදගත්ය. එලෙසම රටක් හැටියට ශ්‍රී ලංකාව ස්වාධීන ආර්ථික හා සමාජයීය මාර්ගයක් ඔස්සේ ඉදිරියට ගෙන යෑම ඊටත් වඩා වැදගත්ය. ඒ සඳහා ස්වාධීන චින්තනයක් ආර්ථික දර්ශනයක් හා වැඩපිළිවෙළක් තිබිය යුතුය.

අමෙරිකා එක්සත් ජනපදයේ ආසියානු හා දකුණු ආසියානු කලාපය පිළිබඳ විශ්ලේෂණයක නිරත කණ්ඩායම ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයෙන් කියැවෙන්නේ ශ්‍රී ලංකාව මේ මොහොතේ ව්‍යවස්ථාවට අනුකූලව හා ප්‍රජාතන්ත්‍රවාදයට ගැළපෙන ලෙස ක්‍රියා කළ යුතු බවය. එලෙස ම අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයාගේ ප්‍රවේශයට අනුව අප පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය හා ආකෘතිය ද රැකගත යුතුය. එම ප්‍රකාශයෙහි වරදක් නැත. වරද ඇත්තේ ඒ ඔස්සේ අපට බලපෑම් කිරීම ගැන ය.

ශ්‍රී ලංකාව තුළ නව දේශපාලන වෙනසක් ඇතිකිරීමට මූලික වූ ප්‍රධාන චරිතය වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ය. ජනාධිපතිවරයා ඉතා සූක්ෂ්ම ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අධ්‍යයනය කොට නව පත්වීම සිදුකර තිබේ. ඒ ගැන කිසිදු නෛතික තර්කයක් ගොඩනැඟිය නොහැකි බව බොහෝ දෙනා දනිති. මේ ජාත්‍යන්තර බලපෑම කෙරෙහි විශ්වාසය තබාගෙන ඇති කණ්ඩායම වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ පිරිස් ය.

වික්‍රමසිංහ මහතා අතීතයේ සිට ම ජාත්‍යන්තර ප්‍රජාව ගැන විශ්වාසය තැබූ පුද්ගලයෙකි. ඔහුගේ නවතම අභිප්‍රාය වන්නේ අමෙරිකාව ඇතුළු බලවත් රටවලට පැමිණිලි ඉදිරිපත්කොට නැවත සිය බලය ස්ථාපනය කරගැනීම ය. ඊට කුමන රාජ්‍යයක් කැමැත්ත පළකර තිබේ ද යන්න ගැන අප දන්නේ නැත. එහෙත් ජාත්‍යන්තර බලවේග අනුව රටක් පාලනය කිරීම යනු නොසිදුවිය යුත්තක් බව කව්රුත් දනිති. මේ සම්බන්ධයෙන් නියම ප්‍රකාශයක් සිදුකර ඇත්තේ චීනය යැයි අපට කිව හැකිය. චීනයේ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රකාශයට අනුව දැනට ශ්‍රී ලංකා‍ෙව් පවතින්නේ දේශපාලනික ප්‍රශ්නයකි. එය විසඳාගත යුත්තේ ද ශ්‍රී ලංකාවේ දේශපාලකයන්ම ය.

 

නව අදහස දක්වන්න