ජනාධිපති බලයට අභියෝග නැත! | දිනමිණ

ජනාධිපති බලයට අභියෝග නැත!

ජනාධිපතිවරයාට සිය අභිමතය පරිදි අගමැතිවරයකු පත් කළ හැකි ද? නො හැකි ද?පත් කළ හැකි නම්; ඊට අදාළ ව්‍යවස්ථා ප්‍රතිපාදන කවරේ ද? යනුවෙන් සමාජ කතිකාවක් පවතී. මෙහිලා සමාජ කණ්ඩායම් දෙපැත්තකට බෙදී තර්ක කරති. එක පාර්ශ්වයක් ජනාධිපතිවරයාගේ බලතල සනාථ කිරීමට කරුණු දක්වති. තව පාර්ශ්වයක් ජනාධිපතිවරයාට එබඳු බලයක් නැතැ’යි කරුණු දක්වති. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යම් ආකාරයකින් අභියෝගයට ලක්වන බවක් පෙනෙන්නට තිබේ. බොහෝ රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මේ අයුරින් අභියෝගයට ලක් වී ඇත. මීට අදාළ අවසන් විසැඳුම ඇත්තේ නීතිය තුළ ය. ශ්‍රී ලංකාවේ නම්; ශ්‍රේෂ්ඨාධිකරණයට මේ සඳහා අර්ථ නිරූපණයක් ලබා දිය හැකි ය.

අප දන්නා හැටියට හා අපගේ නිරීක්ෂණවලට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නව අගමැතිවරයකු පත්කර ඇත්තේ සියලු නෛතික ප්‍රතිපාදන නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ය. මීට අදාළ ව්‍යවස්ථා වගන්ති හා පරිච්ඡේද මේ වනවිටත් නීති විශාරදයෝ උපුටා දක්වති. සරල නියමයකට අනුව ගතහොත්; පැවැති ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සමන්විත වූයේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් හා එක්සත් ජනතා සන්ධානයේ මන්ත්‍රීවරුන්ගෙන් ය. එක්සත් ජනතා සන්ධානයේ සාමාජිකයන් කැබිනට් මණ්ඩලයෙන් ද සභාග ආණ්ඩුවෙන් ද ඉවත් වූ විට කැබිනට් මණ්ඩලය අහෝසි වෙයි. කැබිනට් මණ්ඩලය අහෝසි වූ විට එහි ප්‍රධානයා වූ අගමැති පදවිය ද අහෝසි වෙයි. ඊළඟට රජයේ නායකයා හැටියට නව අගමැතිවරයකු පත් කිරීමට ද, නව කැබිනට් මණ්ඩල‍යක් පත් කිරීමට ද ජනාධිපතිවරයාට සිදු වේ.

දහනම වාරයක් ස‍ංශෝධනයට ලක් වී ඇත්තේ වුව අප තවමත් භාවිත කරනුයේ ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් නිර්මාණය කරන ලද බරපතළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බව බො‍හෝ දෙනකුට අමතක වී ඇත. එහි විධායක බලැති ජනාධිපතිවරයකු ගැන සඳහන් වේ. ජේ. ආර්. ජයවර්ධන මහතා ජනාධිපතිවරයා සතු බලය විග්‍රහ කළේ ගැහැනියක පිරිමියකු කිරීම; පිරිමියකු ගැහැනියක කිරීම හැර අන් සෑම දෙයක් ම කිරීමට බලයක් ඔහු සතු වේ යනුවෙන් ය. සංශෝධන කිහිපයකින් එහි බලය සීමා වී ඇති’මුත් අගමැතිවරයකු ඉවත් කිරීමට, නව අගමැතිවරයකු පත් කිරීමට අවශ්‍ය ඕනෑතරම් නෛතික ප්‍රතිපාදන අප භාවිත කරන ව්‍යවස්ථාව තුළ පවතී. ඒවා පෙන්වාදිය යුත්තේ නීති විශාරදයන් ය. නැතහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳ වි‍ශ්ලේෂකයන් ය.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරට පත්කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ය. එහිදී ජනාධිපතිවරයා සිය බලතල පාවිච්චි කළ අතර එදා හිටපු අගමැති දි.මු. ජයරත්න මහතා වහා ම ක්‍රියාත්මක වන පරිදි තනතුරෙන් පහකළේ ය. එය වරදක් ලෙස කිසිවකු දුටුවේ නැත. බහුතරය පවා නොවිමසා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරට පත් කිරීම ගැන ද එදා ප්‍රශ්න මතුවූයේ නැත. එදා අරලියගහ මන්දිරයේ රැඳී සිටි එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය පරාජයෙන් පැය කිහිපයකට පසු අරලියගහ මන්දිරය අතහැර සිය කාල්ටන් නිවස කරා ගියේ ය. එහෙත් අද සිදුවන්නේ වෙනත් දෙයකි.

දේශපාලන සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක් ද මෙහි ඇති බව පෙනීයයි. බලය අතහැරීම උසස් දේශපාලන චින්තනයක් සහිත නායකයන්ගේ වැදගත් චරිත ලක්ෂණයකි. නෙල්සන් මැන්ඩෙලා බලය අත්හැරීමට පැකිලුණේ නැත. අමෙරිකාවේ බොහෝ ජනාධිපතිවරු නියමිත කාලයේදී සිය පදවියටත් රජයටත් ආයුබෝවන් කියා නිදහස් ජීවිතයක් සඳහා ගෙදර යති. ඔවුන් යළි පාලනයට ඇඟිලි ගසන්නේ නැත. බලපෑම් කරන්නේ ද නැත. රනිල් වික්‍රමසිංහ මහතා ද කිහිපවරක් ඒ ක්‍රමය අනුගමනය කර ඇත. එහෙත් මෙවර සිදුවන්නේ අමුතු දෙයකි. එක්තරා පුවත්පතක කතුවැකියෙන් මේ තත්ත්වය පැහැදිලි කර තිබුණේ වික්‍රමසිංහ මහතා වටා ඇති අන්තේවාසිකයන් කිහිපදෙනකු වික්‍රමසිංහ මහතා නොමඟ යවා ඇති බව ය. එය ඇත්තක් විය හැකි ය.

ජේ. ආර්.ජයවර්ධන මහතා සිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කර ගැනීම සඳහා රටවල් ගණනාවක ව්‍යවස්ථා නිරීක්ෂණය කළ බව ද ඒවායෙහි කරුණු ගවේෂණය කළ බවද ප්‍රසිද්ධ කාරණයෙකි. ඒ අතරින් ප්‍රංශයේ ඩිගෝල් ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථාව කෙරෙහි ඔහුගේ දැඩි අවධානය යොමු වූ බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඩිගෝල් නම් සෙනෙවියාට රට ගොඩගන්නැ’යි ආරාධනා කළෝ රටේ ජනතාව ය. ඔහු රට ගොඩනැඟීමට අවශ්‍ය ශක්තිමත් නායකත්වය ගැන දැඩි ව විශ්වාසය තබා ප්‍රංශයට නව ව්‍යවස්ථාවක් හඳුන්වා දුන්නේ ය. පසුව එය ක්‍රියාත්මක කළේ ය. ඇද වැටුණු ආර්ථිකය යළි පිබිදුණේ ය. අස්ථාවර වූ දේශපාලනය යළි ස්ථාවර වූයේ ය. එම ව්‍යවස්ථාවේ මූලික ලක්ෂණ අපේ ව්‍යවස්ථාවේ ද තිබේ. ඒ අනුව ජනාධිපතිවරයා බලවත් බව පිළිගත යුතු ය.

අපේ ජනාධිපතිවරුන් තමන් සතු බලය නිසි ලෙස අවශ්‍ය අවස්ථාවලදී භාවිත කර තිබේ ද යනු ගැටලුවෙකි. එහෙත් අවස්ථා කිහිපයකදී එලෙස තීරණාත්මක ලෙස බලය පාවිච්චි කර ඇති බවද පෙනෙයි. ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය එ.ජා.ප. ආණ්ඩුවේ අමාත්‍යාංශ තුනක් පවරාගැනීමේ සිද්ධිය ඊට අදාළ එක් නිදසුනක් පමණි. එහෙත් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එලෙස සිය බලය භාවිත කළ අවස්ථා අඩු ය. මෛත්‍රීපාල සිරිසේන මහතා රටේ ප්‍රධානයා ලෙස බොහෝ ඉවසීමෙන් හා විමසීමෙන් යුතුව සිය බලය පාවිච්චි කරන බව ගත වූ කාලය තුළ සනාථ කර තිබේ. ඔහු කඩුවක් තමන් අත තිබුණ ද එයින් කිසිවකුගේ හිස ගසා නො දමන නායකයෙකි. එහෙත් තීරණාත්මක අවස්ථාවකදී ඔහු සිය බලය පාවිච්චි කර තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා ගෙදර යැවීම හා මහින්ද රාජපක්ෂ මහතා නව අගමැති ලෙස පත් කිරීම රට හා රටේ අනාගතය ගැන සිහිනුවණින් කල්පනා කොට ගත් තීරණයක් බව බුද්ධිමතුන්ගේ විශ්වාසය වී තිබේ. එය රටේ බහුතර ජනතාව ඉතා ඉහළින් පිළිගනු ලබන බව ද රට පුරා ඇති ප්‍රීති - ඝෝෂාවලින් පෙනී යයි. දේශපාලන වශයෙන් ලබන පරාජයන් හමුවේ විවිධ අය විවිධ විවේචන ඉදිරිපත් කරති. එහෙත් ඒ හැම විවේචනයක්ම සත්‍යවාදී නැත.


නව අදහස දක්වන්න

Or log in with...