විධායකය සහ ව්‍යවස්ථාදායකය එකම දේශපාලන පීල්ලකට | දිනමිණ

විධායකය සහ ව්‍යවස්ථාදායකය එකම දේශපාලන පීල්ලකට

යහපාලන ආණ්ඩුවේ තිබූ ප්‍රධානම ගැටලුව නම් සභාග ආණ්ඩුවේ විවිධ මතගැටීම ඇති පක්ෂවල මන්ත්‍රීවරු අතර බලතුළණයක් පවත්වාගැනීමයි. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් අඩකටත් වැඩි පිරිසකට මේ නිසා ඇමැතිධුර පිරිනැමීමට සිදුවිය. මේ හේතුවෙන් රුපියල් බිලියන ගණනක විශාල ධනස්කන්ධයක් එම ඇමැතිවරුන්ගේ පඩිනඩි දීමනා, නිවාස, වාහන, ඉන්ධන සහ දුරකතන ගාස්තු යනාදිය වශයෙන් ගෙවීමට සිදුවිය. මෙය රටේ ආර්ථිකයට දැරිය නොහැකි බරක්වූ අතර මේ නිසා තව තවත් රට ආර්ථික අගාධයකට ඇද දමනු ලබයි.

යහපාලන රජය බිඳවැටීමත් සමගම හා ඉන් පසුව මහින්ද රාජපක්ෂ අගමැතිතුමා පත්කිරීමත් සමගම රට එක් මාවතකට පැමිණි අතර එක් දේශපාලන දර්ශනයක් දරන ඇමැතිවරුන්ගෙන් සමන්විත නව කැබිනට් මණ්ඩලයකි. මේ අනුව විධායකය සහ ව්‍යවස්ථාදායකය එකම දේශපාලන මාවතකට දර්ශනයකට පිවිස ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති මහින්ද රාජපක්ෂ එකම දේශපාලන කඳවුරක බැවින් ඔවුනට මෙම කටයුතු කිරීම පහසුවනු ඇත. නව කැබිනට් මණ්ඩලය 30කට පමණක් සීමාවන බැවින් විශාල ලෙස කලින් පැවැති කැබිනට් මණ්ඩලයට වඩා ආර්ථික වශයෙන් රටට සහනදායී වනු ඇත. මිලියන 21කට වඩා වැඩි ජනගහනයකට මෙම කැබිනට් මණ්ඩලය ඕනෑවටත් වඩා සෑහේ.

ඉන්දියාව බිලියන එකකට වඩා වැඩි ජනගහනයක් ඇති ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය සහ ශ්‍රී ලංකාව මෙන් 60 ගුණයකට වඩා විශාල වුවත් එරට මධ්‍යම රජයේ ඇත්තේද 40 අඩු අමාත්‍ය මණ්ඩලයකි. මිලියන 66ක් වෙසෙන මහා බ්‍රිතාන්‍යයේ ඇත්තේ කැබිනට් ඇමැතිවරු 21 පමණි.

අමෙරිකා එක්සත් ජනපදයේ මිලියන 325ක ජනගහනයට ඇත්තේ පෙඩරල් ඇමැතිවරු 16 දෙනකි. කොටින්ම මිලියන 31ක් සිටින මැලේසියාවේද කැබිනට් මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව 30කට අඩුය. මේ අනුව අප වැනි රටකට දැරිය හැකි වන්නේ 30 කට අඩු ඇමැති මණ්ඩලයක් බව නොරහසකි. පසුගිය රජය කාලයේ ඇමැති මණ්ඩලයට ඇමැති ධූරවලට විවිධාකාර නොගැළපෙන අමාත්‍ය විෂයන් එකතුකර තිබූ අතර තවත් සමහර අමාත්‍යාංශවලට කරන්නට වැඩක් පවා නොතිබිනි. එම නිසා අත්‍යාවශ්‍ය කැබිනට් විෂය පථ අනුව අමාත්‍ය මණ්ඩලය තෝරාගැනීම කළයුතුව ඇත.

ආරක්ෂක, මුදල්, විදේශකටයුතු, කෘෂිකර්මය අධ්‍යාපන හා උසස් අධ්‍යාපන, ඉඩම්, සෞඛ්‍ය, ප්‍රවාහන සහ ගුවන්සේවා, ක්‍රීඩා සහ තරුණ කටයුතු,ජනමාධ්‍ය සහ සන්නිවේදන, කර්මාන්ත, පළාත්පාලන, කම්කරු, කාන්තා සහ ළමා කටයුතු, සංචාරක, සංස්කෘතික හා කලා කටයුතු, නිවාස සහ ඉදිකිරීම්, ග්‍රාමීය සංවර්ධනය, විද්‍යා හා තාක්ෂණ හා සැළසුම් ක්‍රියාත්මක කිරීම වැනි අමාත්‍යාංශ ඉන් ප්‍රධානය. මෙයිනුත් ආරක්ෂක කටයුතු ජනාධිපතිතුමා යටතට ගැනෙන අතර අගමැතිතුමාද සමහර අමාත්‍යාංශවල රාජකාරි ඉටුකරයි. මේනයින් බලනකල ඉහතකී විෂයන් පහසුවෙන්ම 30 දෙනකුගේ පමණ අමාත්‍ය මණ්ඩලයක් යටතේ බෙදී යනු ඇත. රජයේ පිරිවැය අවම මට්ටමක තබා ගැනීම නව රජයේ ප්‍රධාන අභියෝගයකි.

එහෙත් පසුගිය යහපාලන රජයේ කාබාසිනියා ප්‍රතිපත්තිය නිසා මුදල් විශාල වශයෙන් අපතේ ගිය අතර ඇතැම් ඇමැතිවරුන් රුපියල් මිලියන 60කටත් වැඩි අධි සුඛෝපභෝගී යාන වාහන පාවිච්චි කළහ. සමහර දේශපාලනඥයෝ තම විදේශ ගමන්වලදී පළමු පංතියේ ගුවන් ටිකට්පත් මහජන මුදලින් මිලදීගෙන ජනතාවට විශාල බරක් වූහ.

එමෙන්ම අමාත්‍යාංශ වෙනුවෙන් කාර්යාල පහසුකම් සපයා ගැනීම සඳහා නිතරම රජය සතු ඉඩම් කෙරෙහි අවධානය යොමුකළ යුතු ය. නොඑසේ නම් පසුගිය යහපාලන රජය කළාක් මෙන් සමහර අමාත්‍යාංශවලට මිලියන 254 ක මාසික කුලියකට රාජගිරියෙන් මිලදී ගත්තාක් වැනි අනවශ්‍ය වියදම් බහුල වනු ඇත.

තවද අප ඇමැතිවරුන් සහ දේශපාලඥයන් පරිවාරක රථ පෙරහර පාවිච්චි කිරීමේදීද සැලකිළිමත් විය යුතු ය. ජනාධිපතිතුමා සහ අගමැතිතුමා හැරෙන්නට අනිකුත් මැති ඇමතිවරුන් හට විශාල පරිවාර රථ පෙරහරවල් අවශ්‍ය නොවේ. අනිකුත් දේශපාලනඥයන් පරිවාර රථ රහිතව සාමාන්‍ය ජනතාවට අදාළ මාර්ග නීති පිළිපදින්නේ නම් මෙම ප්‍රශ්න ඇති නොවනු ඇත.

සාමාන්‍ය නීතිගරුක ජනතාව පසුගිය කාලයේදී අත්දුටු විශාල පරිවාර රථ සහ මහාමාර්ග නීති තුට්ටුවකටවත් ගණන් නොගැනීමේ ක්‍රමවේදයට විරාමය තැබීමට දැන් කාලය එළැඹ ඇත.

තවද පාර්ලිමේන්තු සැසිවාර පවත්වන හැම දිනකම හැකි සෑම අයුරකින්ම ඒවාට සහභාගිවීම මහජන නියෝජිතයන්ගේ යුතුකමකි. තවද පාර්ලිමේන්තු සැසිවාර පැවැත්වීමට වියදම්වන අධික මුදල් සහ ඒවාට සහභාගීවන අමාත්‍යාංශ නිලධාරීන්ගේ වියදම්ද සැලකූවිට මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තු සැසිවාර මග නොහැරිය යුතු ය. මෙලෙසින් බලනකල නව රජයට විවිධ අභියෝග ජයගත යුතුව ඇත. එමෙන්ම සියලුදෙනා එක්සිත්ව එක්සත්ව මෙම ගමන ගියහොත් අප මාතෘභූමිය යහපත් දිසාවකට රැගෙනයා හැකි ය.

නව අදහස දක්වන්න