මාස්ටර් සෑර් 1000 ක් දෙන්න! | දිනමිණ

මාස්ටර් සෑර් 1000 ක් දෙන්න!

ලී ක්වාන් යූ මහතාගේ ප්‍රධාන ආර්ථික උපදේශකයා වූ ආචාර්ය ගොග් 1978 දී ශ්‍රී ලංකාවට පැමිණ ජේ. ආර්. ජයවර්ධන මහතා හමුවී ය. දෙදෙනා අතර පැවැති සාකච්ඡාවේ දී ගොග් මහතා ජේ. ආර්. ජයවර්ධන මහතාට අපූරු උපදේශනයක් ලබා දුන්නේ ය. එහි දළ අදහස ගතහොත් මෙසේ ය. මහවැලි ව්‍යාපාරයෙන් ද, ආයෝජන කලාපවලින් ද ශ්‍රී ලංකාවට වේගවත් ආර්ථික දියුණුවක් ලබාගත හැකි ය. එහෙත් ශ්‍රී ලංකාවේ වඩාත් හොඳින් සංවිධාන ගතවූ ආර්ථිකය ඇත්තේ වැවිලි අංශය තුළ ය. එබැවින් වැවිලි අංශය අමතක කොට ශ්‍රී ලංකාවට ඉදිරියට යා නො හැකිය. ආචාර්ය ගොග් මහතාගේ උපදේශනයෙහි ඇති වැදගත්කම අපට මේ මොහොතේ තේරුම් යා යුතුය.

කෙනකුගේ විවේචනයට අනුව අපේ වතු වගා අංශය දුර්වල වන්නට පටන් ගත්තේ වතු ජනසතු කිරීමත් සමඟ ය. වතු ව්‍යාපාරය ජනසතු කළේ 1975 දීය. මේ ක්‍රියාවලියත් සමඟ පළපුරුදු වතු හිමියෝ ශ්‍රී ලංකාව අතහැර කෙන්යාවට ගියහ. කෙන්යාවේ තේ වගාව ආරම්භ කළ ඔව්හු ලෝක වෙළෙඳපොළේ දී ශ්‍රී ලංකාව පරාජයට පත් කළහ. තේ වගාවේ සාර්ථකත්වය ඇත්තේ පළපුරුදු කළමනාකරණය තුළ යැයි කියනු ලැබේ. අපේ රටේ තේ වගාව ආරම්භ කළේ ඉංග්‍රීසි ජාතිකයා ය. වතු වගාව දියුණු කළේ ද, යුරෝපීය වෙළෙඳපොළට ශ්‍රී ලංකා තේ හඳුන්වා දුන්නේ ද ඉංග්‍රීසි ජාතිකයා ය. ස්වදේශික ආයතනවලට වතු අංශය පැවරීමත් සමඟ කෙමෙන් ඒ කර්මාන්තය දුර්වල විය.

1975 වන තෙක් ම ශ්‍රී ලංකාවේ වතු අංශය ඉතා හොඳින් වර්ධනය වී ඇති බව පෙනෙයි. 75 න් පසුව ද සැලකිය යුතු කාලයක් වතු අංශය යම් පමණක් වර්ධනයක් පෙන්වා ඇත. 1990 න් පමණ පසුව එහි බැස්ම සටහන් වී ඇත. වතු අංශයේ ස්ථාවරත්වය සඳහා විවිධ සැලැසුම් ක්‍රියාත්මක වුව එය යථා තත්ත්වයට පත් නොවූ බව පැහැදිලි ය. නිෂ්පාදන පිරිවැය දිනෙන් - දින ඉහළට ගමන් කිරීම, නිෂ්පාදනය අඩුවීම, නිෂ්පාදනවල ගුණාත්මකභාවය පිරිහීම මේ සඳහා බලපෑ සාධක ලෙස පෙන්වා දිය හැකි ය. ඒ හැරෙන්නට වතු ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක වූ වැඩ වර්ජන ආදියත් නිෂ්පාදනයේ පිරිහීමට බලපා තිබේ. නූතන වතු අංශයේ සේවක ගැටලු උත්සන්න වී ඇත.

වතු කම්කරුවන් දින කිහිපයකට පෙර ආරම්භ කළ විරෝධතාව තව ම පවතී. එය තවදුරටත් දිග්ගැස්සෙන බවක් ද පෙනෙන්නට තිබේ. වෘත්තීය සමිතිවල මූලික ඉල්ලීම වන්නේ දිනක වැටුප රුපියල් දහස දක්වා වැඩි කරනු යන්නය. මේ ඉල්ලීම අයුක්තිසහගත යැයි කිසිවකුටත් කිව නො හැකි ය. රටේ පවත්නා ජීවන වියදම ගැන බලන විට දිනක වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීමත් ප්‍රමාණවත් නැති බව කිව හැකි ය. එහෙත් ආපසු හැරී මේ කර්මාන්තය දෙස බලන විට පෙනී යන්නේ නිෂ්පාදන පිරිවැය ඉහළ යෑම මත එය පවත්වා ගැනීමේ අවදානමක් ඇති බවය. ඒ අනුව වතු හිමියන්ගේ පාර්ශ්වයට ඇහුම්කන් දීමට ද සිදු වේ. වතු හිමියන්ගේ යෝජනාව වී ඇත්තේ කම්කරුවකුගේ දෛනික වැටුප රුපියල් හයසියය දක්වා පමණක් වැඩි කළ හැකි බව ය.

කෝපි, තේ, රබර් ආදී වගාවන් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කරන මුල් කාලයේ කම්කරු නීති බලපෑවේ නැත. එකල වෘත්තීය සමිති පැවැතියේ ද නැත. එහෙත් පසුකලෙක වෘත්තීය සමිති මෙන් ම වෘත්තීය සමිති දේශපාලනය ද වතු ක්ෂේත්‍රයට ඇතුළු විය. කම්කරුවන්ගේ පැත්තෙන් බලන විට එය සාධනීය තත්ත්වයක් වුව වතු හිමියන්ගේ පැත්තෙන් කරදරකාරී පසුබිමක් ඇති කර තිබේ. අද වන විට වතු අංශයේ කම්කරු ප්‍රජාව දැඩි ලෙස දේශපාලනීකරණයට ‍ගොදුරු වී ඇත. මේ අනුව වතු හිමියන් හා කම්කරුවන් අතර ආරවුල ද ප්‍රසාරණය වී ඇත. මේ ආරවුල කර්මාන්තයේ දියුණුවට බලවත් පහරකි. විශේෂයෙන් තේ නිෂ්පාදනය සඳහා ලෝකය තුළ තියුණු තරගයක් පවතී. එම තරගයට මුහුණදීම සඳහා ඉහත ආරවුල විසඳාගත යුතුව තිබේ.

වෘත්තීය සමිති පෙන්වා දෙන අන්දමට වතු හිමියෝ විශාල ලාභයක් ලබති. එම ලාභයෙන් සාධාරණ කොටසක් කම්කරුවන් උදෙසා වැය කළ යුතුය. වෘත්තීය සමිතිවල තවත් ඉල්ලීමක් වන්නේ උත්සව අත්තිකාරම් හා ප්‍රසාද දීමනා ලබා දිය යුතු බවය. උත්සව දීමනා ලෙස රුපියල් දසදහසක මුදලක් මීට පෙර ලබා දුන්න ද එය කපා හැර ඇතැ’යි කියති. මේවා පිළිබඳ යම් සමාලෝචනයක් අවශ්‍ය බව පෙනී යයි. ගැටලුව විසඳාගැනීම සඳහා රජයේ මැදිහත්වීමක් ද අවශ්‍ය වෙයි. රජය යනුවෙන් අප අදහස් කරනුයේ ආණ්ඩුවේ නායකයන්ගේ මැදිහත්වීමකි. රජයේ අමාත්‍යවරයකු ද විරෝධතාවට එක්වී සිටින අතර ඔහු ආණ්ඩුවට යම් බලපෑමක් සිදු කරන බව පෙනී යයි. එය නරක යැයි කිව නොහැකිය.

ආර්ථික විද්‍යාවේ න්‍යායන්ට අනුව සලකා බලන විට සේවක වැටුප් වැඩි කිරීම ඉතා පරීක්ෂාකාරීව සිදුකළ යුත්තකි. එකවර විශාල පිරිසකගේ ආදායම් ඉහළ යෑම වෙළෙඳ පොළ කෙරෙහි තදින් බලපායි. එමඟින් බඩු මිල ඉහළ යා හැකිය. උද්ධමනය ඉහළ යා හැකිය. වත්මන් ආණ්ඩුව බලයට පත්වූ විගස රාජ්‍ය සේවක වැටුප් රුපියල් දසදහසකින් ඉහළ දැමූ අතර එය ආර්ථිකයට අහිතකර ලෙසින් බලපෑ බව කෙනකුගේ විවේචනය වී තිබේ. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවා පිළිගෙන ඇත්තේ දසදහසේ වැටුප් වැඩිවීම අහිතකර තත්ත්වයක් ඇති කර තිබෙන බවය. නිදහස් වෙළෙඳපොළට මුදල් ගලාඒම නිසා ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ යයි. එහෙත් සැපයුම ඉහළ යන්නේ නැත .ඉල්ලුම්-සැපයුම් න්‍යායට අනුව මේ ක්‍රියාවලියේ අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ භාණ්ඩ හා සේවා මිල ඉහළ යෑමය.

නැවත වතු කම්කරුවන් දෙසට හැරුණහොත් ඔවුන් තරම් දුක්විඳින පිරිසක ද ඔවුන් තරම් නොසලකා හැරීම්වලට ලක් වූ පිරිසක ද තවත් නැත. බොහෝ දෙනා තවම ‘ලයින්’ කාමරවල ජීවත් වෙති. අධ්‍යාපන පහසුකම් නැත. සෞඛ්‍ය පහසුකම් නැත. පරම්පරා ගණනාවක් එකම දුෂ්ට චක්‍රයක හිරවී ඇති බව පෙනෙන්නට තිබේ. දෛනික වැටුප රුපියල් දහස දක්වා ඉහළ දැමීමෙන් සියලු ප්‍රශ්න විස‍ඳෙන්නේ නැත. එහෙත් එය යම් සහනයක් ලෙස සැලැකිය හැකිය. වතු අංශයේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ දැමීම සඳහා මීට වඩා පුළුල් සංවර්ධන ව්‍යාපෘතියක් අවශ්‍ය බව දේශපාලකයන් වටහාගත යුතුය. දැනට සිදුවන්නේ කම්කරු ජනතාවගේ ශ්‍රමය හා ඡන්දය පාවිච්චි වීම පමණකැයි කිව හැකිය. කෙසේ වුව මේ කම්කරු ප්‍රජාව රටේ ආර්ථිකයට බරපතළ දායකත්වයක් ලබා දෙති. එය අමතක කළ නොහැකි සාධකයකි.

තේ කර්මාන්තය හොඳින් පවත්වාගෙන යා යුතුය. එලෙස ම එහි කම්කරු ප්‍රජාවගේ ජීවන තත්ත්වයද මීට වඩා උසස් විය යුතුය. ඒ සාධක දෙකම ඉටුවන තැනකට අප යා යුතුය.

 


නව අදහස දක්වන්න