රෝද පුටුවේ සින්ඩරෙල්ලා | දිනමිණ

රෝද පුටුවේ සින්ඩරෙල්ලා

ෆවුස් මොහොමඩ්

‘අඳුරක් තිබේනම් එතැන ආලෝකයක් ද තිබිය යුතුය. ජීවිතය අපට කියාදෙන්නේ ද ඒ පරම සත්‍යයයි. ඔබට මුහුණපෑමට සිදුවන අභියෝග කෙතරම් දුෂ්කර වූවත් කම් නැත. අඳුරු කාල පරිච්ඡේදයකදී පවා ඔබට ජීවිතය ආලෝකමත් කරගැනීමේ අවස්ථාව උදාවනු ඒකාන්තය.’

එසේ කියන්නේ රිය අනතුරක් නිසා සිය ජීවිතයේ හොඳම කාලය රෝද පුටුවක ගෙවා දමන්නට තරම් අවාසනාවන්තියක වූ එංගලන්ත තරුණිය ජෝර්ඩන් බෝන්ය.

ජීවිතය එහෙම පිටින්ම උඩුයටිකුරු කරවන මාරාන්තික රිය අනතුර ජෝර්ඩන් බෝන්ගේ ජීවිතයේ අරමුණු වෙනස් කරන්නට හෝ විනාශ කරන්නට සමත්වූයේ නැත. ඇය රිය අනතුර ඇගේ ජීවිතයට ආශිර්වාදයක් කරගත්තාය. අවුරුදු 15දී මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වූ අතිශය සුන්දර යුවතියක වන ජෝර්ඩන් සිය ජීවිත කතාව පොතකට ගොනු කරමින් ලොව පුරා ඉමහත් කීර්තියක් අත්කර ගත්තේ එවැනි අභාග්‍යසම්පන්න ඉරණමකට මුහුණපෑ ලොව සෙසු යුවතියන්ට කදිම ආදර්ශයක් බවට පත්වෙමිනි.

‘මගේ ලස්සන සටන‘...!

ඇය සිය ජීවිත කතාව ලොවට තිළිණ කරන්නේ අපූරු නමකිනි. මුළු ජීවිත කාලයම ආබාධිතයකු ලෙස ගෙවා දමන්නට සිදුවී තිබුණත් මේ දිරිය යුවතිය කියන්නේ රිය අනතුරින් පසුව ගෙවී ගිය මුල් අවුරුදු කිහිපය පුරා ජීවිතය යළි ගොඩනගා ගැනීමට කළ දුෂ්කර අරගලය ඉතා සුන්දර බවය.

උතුරු ලන්ඩනයට සැතපුම් 98ක් පමණ දුරින් පිහිටි වෙළෙඳ නගරයක් වන නෝෆෝර්ක් ටවුමේ දී ඇය මේ රිය අනතුරට මුහුණ පෑවේ 2005 වසරේ මැයි මාසයේදීය.

හේයි ටිම්....වෝව්...ඔයාගෙද කාර් එක..? එදා සිදුවීම පසුව ඇය විස්තර කරන්නට වූයේ ඒ අයුරිනි.

රිදී පැහැති සිට්රෝන් සැක්සෝ අප අසළට ඇවිත් නතරවෙද්දී මා 17 හැවිරිදි මගේ තරුණ මිතුරාගෙන් එසේ ඇසුවා. මිනිහා ඊයේ පෙරේදා තමයි ඩ්‍රයිවින් ලයිසන් එක ගත්තේ.

‘අපි රවුමක් යමු..‘ ටිම් අපෙන් ඇසුවා.

මගේ මිතුරිය සාරා සහ මා මුහුණට මුහුණ බලාගත්තා. අපිට හිතුනේම මේක එච්චර හොඳ වැඩක් වෙන්න බෑ කියලයි. ඒත් අපි දෙන්නා මෝටර් රථයට ගොඩවුණා. එදා තමයි මම අන්තිම වතාවට ඇවිද්දේ.‘

‘මේ අනතුර තමයි මගේ ජීවිතය ගැන අලුතින් හිතන්න පුරුදු කළේ. සමහර විට මේ අනතුර සිදුනොවුණා නම් බාගෙ විට මගේ ජීවිතය මීට වඩා වෙනස් වෙන්න තිබුණා. ඒත් මං ඒ ගැන පසුතැවිලි වෙන්නෙ නෑ. රිය අනතුර නිසා මට මගේ නිදහස ගොඩාක් දුරට අහිමිවුණා. තනිවම කිසිවක් කරකියා ගන්න බැරි තරමට අසරණ වුණා. ‘ මේ වෙද්දී 27 හැවිරිදි වියෙහි පසුවන මේ රූමත් යුවතිය එසේ කියන්නීය.

එදා කාසල් රයිසින් පාරේ ටිම්ගේ මෝටර් රථය ගමන් කළේ අධික වේගයකිනි. ඒ අතරම ටිම් සිය කාරයේ රේඩියෝවේ හඬ තවත් වැඩි කරමින් ජෝර්ඩානාටත්, ඇගේ මිතුරිය සාරාටත් ගෙන දුන්නේ දැඩි භීතියකි.

‘මට කාරයෙන් බහින්න ඕන කළා. ඒත් ටිම්ට මම බයවුණු විත්තිය ටිම්ට පෙන්වන්නට කැමැත්තක් තිබුණෙත් නෑ. අපි මැරෙන්නයි යන්නේ. මට එහෙමයි හිතුණේ. ‘ ජෝර්ඩන්ගේ සුන්දර මුහුණ ඒ සිදුවීම සිහිකරද්දී පවා බියෙන් ඇළලී යයි.

‘මට මතක අන්තිම සිදුවීම වුණේ මුළු ලෝකයම උඩුයටිකුරුවෙලා පෙනුණු හැටියි. අපි යටිගිරියෙන් කෑගැහුවා. ඊළඟට මොකුත් මතක නෑ. මගේ මුළු සිරුරම වේදනාවෙන් හිරිවැටෙනවා වගේ මතකයි. එච්චරයි.‘

‘අඩුම තරමින් අපිව එලිසබෙත් රෝහලට ගෙන යද්දී පවා මට සිහියක් තිබුණේ නෑ. සිහිය එද්දී මගේ ඇඳ වටේට සෙනඟ පිරිලා හිටියා. ළඟම හිටියේ මගේ අම්මා. ජෝර්ඩන්ගේ බෙල්ල කැඩිලා. ඩොක්ටර් එහෙම කිව්වේ අම්මට වෙන්නැති. එයාගේ මුළු ශරීරයම පණ නැතිවේවි. එයාට ජීවිතය ගෙවන්න සිද්ධවෙන්නේ ඇඳේමයි.‘

ඒ කතාව මට කාලයක් යනකල් අමතක කරන්න බැරි දුක්බර සිද්ධියක් වුණා. ඒක තමයි මගේ ජීවිතයේ මං අහපු වඩාත්ම දුක්බර වචන ටික.ඒත් මං ඇස් දෙක හැරලා අම්මා දිහා බැලුවාම අම්මා මට කිව්වේ වෙන කතාවක්.

‘ඩොක්ටර්ස්ලා මොනව කිව්වත් මං දන්නවා ඔයාව සනීප කරන්න පුළුවන් බව.‘ ඒක මේ වගේ සිද්ධියකදී ඕනම අම්මා කෙනෙක් කියන කතාවක්.

ඉන් පස්සේ මාව ශල්‍යාගාරයට රැගෙන ගියා. ඩ්‍රිල් මැෂින් එකකින් වගේ මගේ සිරුර විදිනවා මට යාන්තමට දැනුණා. ඊළඟට එයාලා ඇලුමේනියම් තහඩු කැබැලි කිහිපයක් මගේ සිරුර තුළ තැන්පත් කරලා බෙල්ල කෙළින් තියාගන්න පුළුවන් විදිහට. ඩොක්ටර්ස්ලා, නර්ස්ලා කලබලයෙන් එහා මෙහා ඇවිදිනවා මම යාන්තමට දැක්කා. මට දැනුණේ ලොකු තිගැස්මක්. මගේ කකුල් සුදුපාට කොට්න් රෙද්දකින් වහලයි තිබුණේ.‘

‘මට හරියටම පියවි සිහිය ලැබුණේ සතියකට දෙකකට විතර පස්සෙයි. මුළු ශරීරයම හොල්ලන්න බැරිවුණා. මම පුළුවන් තරම් කෑගහලා ඇඬුවා. මාව සනසන්න කාටවත්ම බැරිවුණා. එතකොට මට අවුරුදු 15යි. පුංචි ළමයෙක්. මගේ ලෝකය මේකද කියලා මම අම්මගෙන් ඇහුවා. එයා මුකුත් කිව්වේ නෑ. ඒත් ඒ නිල් පාට ඇස්දෙකින් කඳුළු කඩා වැටුණා.‘

‘ඊළඟ සති කිහිපය තුළ තවත් සැත්කම් ගණනාවක් සිද්ධවුණා. හරියටම ජූලි මාසේ 1 වැනිදා මම මගේ ජීවිතයේ මුල් වතාවට රෝද පුටුවක ඉඳගත්තා. ඊට කළින් විහිළුවකටවත් මම රෝද පුටුවක ඉඳගෙන නෑ. මම අම්මා දිහා බැලුවා. එයා නිතරම කිව්වේ මම මානසිකව ගොඩාක් ශක්තිමත් කියලයි. ඒත් ඒක එහෙම වුණේ නෑ. අනේ මට තාත්තා කෙනෙක් හිටියානම්...ලොකු හයියක් දැනේවි කියලා මට එවෙලේ හිතුණා. මම කවදාවත් මගේ තාත්තාව දැකලා තිබුණේ නෑ. එයා අපිව දාලා ගිහින් තිබුණේ මං ඉපදෙන්නත් කළින්.

‘ඔන්න ඔයාට දැන් නිදහස් ජිවිතයක් ලැබිලා. එහෙම කියන ගමන් අම්මා හිනාවෙන්න උත්සාහ කළා. ඒත් මගේ ඇස් දෙකින් කඩා වැටෙන කඳුළු නතර කරන්න එයාට බැරිවුණා.

‘ඔයා ඉස්සර හැමදාම උදේට කණ්නාඩිය ළඟට ගිහින් හැඩ බලන ඔයාගේ ලස්සන මුහුණට මුකුත් වෙලා නෑ.‘ අම්මා එහෙම කිව්වට මට ඒක එච්චර දැනුණේ නෑ. ජිවිත කාලයම රෝද පුටුවක නම් ලස්සන මුහුණකින් වැඩක් තියේද.? මට එහෙමයි හිතුණේ.

ඔක්තෝබර් වෙද්දී මට ආපහු ගෙදර යන්න පුළුවන් වුණා. හැබැයි රෝද පුටුවෙන්. මට දැනුනේ මුළු ලෝකයම මට හිනාවෙනවා වගේ. මම මුල් වතාවට මගේ උපන්දිනය රෝද පුටුවක සැමරුවේ ඊට දවස් කිහිපයකට පස්සෙයි. මගේ 16 වැනි උපන්දිනය. එදායින් පස්සේ හැම උපන්දිනයකදීම මට ඉටිපන්දම් නිවලා කේක් ගෙඩිය කපන්න වෙන්නේ රෝද පුටුවේ ඉඳගෙන නේද කියලා හිතෙද්දී පුදුමාකාර වේදනාවකින් හිත කකියන්නට වුණා.

මාව මානසිකව ශක්තිමත් කරන්න හිතාගෙන අම්මා මට භාවනාව පුරුදු කරවන්න කාන්තාවක් ගෙදරට ගෙන්වුවා. ඒ උපදේශකවරියට මගේ මනස හදන්න පුදුමාකාර විදිහට මහන්සි වෙන්න සිද්ධවුණා. ඒත් ඒක අන්තිමට සාර්ථක වුණා.

මට ඇවිදින්න විතරක් නෙවෙයි අතේ ඇඟිලි පවා පාලනය කරගන්න බැරි තරමට ස්නායූ දුර්වල වෙලයි තිබුණේ. තේ කෝප්පයක්, හැන්දක්, ගෑරුප්පුවක් අතට ගන්න ඇඟිලි පහම පාවිච්චි කරන්න සිද්ධවුණා. මේක ද ජීවිතය කියන්නේ. ඇරත් ගැහැනු ළමයකුගේ...?

ඒත් අන්තිමට තනිවම මේකප් කරගන්න. ඇහි බැම හදාගන්න මට පුරුදු වුණා. කවදාහරි දවසක රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට අනාගතය හදාගන්න තිබුණු හීනය ආයෙත් අලුත් වුණා. මම ඒවා පුරුදු වුණේ කඳුළු පෙර පෙරා.

ඒත් මට ජීවත්වෙන්න බලාපොරොත්තුවක් ඉන් ලැබුණා. රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට කොහොමහරි අනාගතය පාට කරගන්නවා කියලා මං හිතාගත්තා. භාවනාව තමයි ඒකට හිත හදාගන්න උපකාර වුණේ. රිය අනතුර මගේ ජීවිතයට අලුත් මුහුණුවරක් ගෙනල්ලා. රෝද පුටුවේ රූපලාවන්‍ය ශිල්පිනිය...ඒක පුදුම හිතෙන කතාවක්.

මිනිස්සු මාව කොහොම පිළිගනීවිද කියලා හිතාගන්න අමාරුවුණා. මේක අභියෝගයක්. කොහොමද ජයගන්නේ. මම රාත්‍රීන් ගණනාවක් නින්දක් නැතිව අනාගතය සැලසුම් කළා තනිවම. ඒක හරි පුදුම අත්දැකීමක් වුණා. රිය අනතුරට කළින් මං පුංචි කෙල්ලෙක් හැටියට ජීවිතය කොයිතරම් සැහැල්ලුවෙන් ගෙව්වද.? සිංදු කියන්න..නටන්න... පාසල් නාට්‍යවල රඟපාන්න මං තරම් දක්ෂ කෙල්ලෙක් තවත් හිටියේ නෑ. ඒත් දැන්..!

මට ඕන කළේ මුළු ලෝකයටම අලුත් පාටක් වෙන්නයි. යූ ටියුබ් වෙබ් අඩවිය ඒකට හොඳම නවාතැන වුණා. රිය අනතුරෙන් අවුරුදු 5කට පස්සේ මං පළමුවතාවට යූ ටියුබ් වෙබ් අඩවියට මගේ කුළුඳුල් වීඩියෝව මුදා හැරියා. ඒක මං නම් කළේ ‘සුපිරි හිරුඑළිය‘ කියලයි. ජීවිතය ගැන මම රෝද පුටුවේ හිඳගෙන තනිවම ඉගෙන ගත්තු දේවල් මොනවද කියලා ලෝකයටම කියන්න ඒක මට ලොකු ශක්තියක් වුණා. ලැප්ටොප් එක මගේ උකුල උඩ තියාගෙන වාරු නැති ඇඟිලි තුඩුවලින් අකුරෙන් අකුර ටයිප් කරලා මට ලොකු දෙයක් කරන්න පුළුවන් වුණා.

මම මගේම කියලා බ්ලෝග් පිටුවක් පටන් ගත්තා. ‘ජෝර්ඩන්ගේ ලස්සන ජීවිතය‘ කියලා. හිතාගන්න බැරි තරමට ඒකට ප්‍රතිචාර ලැබුණා. මම දිනුම්..ඔව් මම පුංචි කාමරේක රෝද පුටුවක ඉඳගෙන ජීවිතය ජයගත්තා. අඳුර මැදින් ආලෝකය දුටුවා.

‘මගේ පණිවිඩය හැමෝටම...ඔබ ඔබවම විශ්වාස කරන්න. කවදාහරි ජයගන්නවාමයි.‘

රිය අනතුරින් වසර දහයකට පසුව ලොවම දිනූ මේ අතිශය රූමත් යුවතියගේ බ්ලොග් අඩවිය ලක්ෂ දෙකක වෙබ් අඩවි සැරිසරන්නන්ගේ පාරාදීසයක් බවට පත්වී තිබේ. ඉන්ස්ටර් ග්‍රෑම් වෙබ් අඩවියේ ඇගේ පිටුවේ සාමාජිකයන් ගණන ලක්ෂ දෙකකටත් ආසන්නය.

‘මිනිස්සු මගේ රූපලාවන්‍ය කටයුතු ගැන කතා කරනවා. කාට හරි මොනව හරි අලුත් දෙයක් කරන්න ඕනෙ නම් ඒක රෝද පුටුවක ඉඳගෙනත් කරන්න පුළුවන් කියලා ඔන්න මම ඔප්පු කළා. මට මේ දේ කරන්න පුළුවන් නම් මං හිතන්නේ ඕනෑම කෙනෙකුට කරන්න පුළුවනි.

ජෝර්ඩන්ගේ යූ ටියුබ් වීඩියෝ නරඹන පිරිස දැන් ලක්ෂයකට ආසන්නය. නමුත් ඇය රෝද පුටුවකට සීමාවූ ජීවිතයක් ගෙවන ආබාධිත තරුණියක් බව දැනෙන්නේ අතලොස්සකටය.

‘මගේ ලස්සන සටන‘ඔබට හරි අපූරුවට කියා දෙන්නේ ජෝර්ඩන්ගේ ජීවිතයේ අලුත් පැහැය ගැනය.

 

 


නව අදහස දක්වන්න