නීතියේ හිල් නැත...! | දිනමිණ

නීතියේ හිල් නැත...!

යම් අපරාධයකට ගොදුරු වූ තැනැත්තකුට හෝ අයුක්තියට ලක් වූ තැනැත්තකුට හෝ සාධාරණය ඉටුකළ හැක්කේ කෙසේ ද? ඉතා සරල නිගමනයකට ගියහොත් පැහැදිලි සාධක දෙකක් ඔවුන් වෙනුවෙන් ඉටුවිය යුතුය. පළමු සාධකය වන්නේ මීට අදාළ නෛතික කටයුතු ඉතා ඉක්මනින් ඉටු වී අවසන් විනිශ්චයක් ලබා දීම ය. දෙවන සාධකය වන්නේ වින්දිතයන් වෙනුවෙන් වන්දි හා සහන ලබාදීම ය. මේ සාධක දෙක ම ඉටුවීම සම්බන්ධයෙන් විවිධ වූ ගැටලු අපේ නීති ක්ෂේත්‍රයේ පැවැතිණි. ඒ අනුව ගැමියන්ගේ අදහස වූයේ නඩුයන්නෝ වැනසෙන්නෝ යන්න ය. මේ කියමන නීතියේ ආධිපත්‍යය ඉල්ලා සිටින රටකට අභියෝගයක් ලෙස පවතී.

වත්මන් ආණ්ඩුව නීතියේ ආධිපත්‍යය ගැන ඉතා ඉහළ සංවාදයක් ගෙන ගිය අතර ඊට අදාළ කරුණු හා සාධක සාක්ෂාත් කරගැනීම සඳහා සැලැකිය යුතු පරිශ්‍රමයක් දැරී ය. එය අන්තර්ජාතික ප්‍රජාවගේ පැසසුමට ලක් වූ අවස්ථා ද තිබේ. අප ගෙවා දමා ඇත්තේ නීතිය වල්වැදුණු කාලපරිච්ඡේදයක් නිසා එහි අගය තවත් වැඩි වූ බව අපගේ පිළිගැනීම ය. කෙසේ වුව නඩු විභාගවල කාර්යක්ෂමතාවක් අපට දකින්නට ලැබේ. පමා වූ ඇතැම් නඩු දිනපතා විභාග කොට අවසන් විනිශ්චය ලබාදීමට පියවර ගෙන ඇත. අධිකරණ අමාත්‍යාංශය ගත් අලුත් පියවරක ප්‍රතිඵලය ලෙස එය දැක්විය හැකි ය. දිනපතා එක ම නඩුව විභාග කරන ක්‍රමවේදයක් මීට පෙර අපට තිබුණේ නැත. මෙහි ප්‍රතිඵල විමර්ශනය කිරීම ඉතා වැදගත්ය.

1999 දී සිදු වූ ස්ත්‍රී දූෂණයක් සම්බන්ධ අවසන් තීන්දුව මීට දින දෙකකට ඉහත දී ලබා දී තිබිණි. එය ස්ත්‍රී දූෂණයක් ලෙස ද ළමා අපහරණයක් ලෙස ද සැලැකිය හැකිය. සිද්ධියට මුහුණ දුන් දැරියගේ එදා වයස අවුරුදු හයකි. ඇය වන රොදකට ඇදගෙන ගොස් බරපතළ ලිංගික අපචාරයකට ලක් කර තිබිණි. දීර්ඝ කාලයක් මේ නඩුව විභාග වූ අතර චුදිතයාගේ දැන් වයස අවුරුදු හැට නවයකි. වින්දිත තරුණියගේ වයස අවුරුදු විසිහයකි. වසර විස්සකට පසුව තීන්දුව ලබා දී ඇත. එම තීන්දුව ප්‍රකාශ කිරීමට පෙර විනිසුරුවරයා කියා ඇත්තේ පුද්ගලයන් වයසට යන’මුත් නීතිය වයසට යන්නේ නැති බව ය. තීන්දුව ලැබී ඇත්තේ නඩුව දිනපතා විභාගයට ගත් නිසා ය. නඩු විභාග ප්‍රමාද වන තරමට වින්දිතයන් වේදනාවටත් - හිරිහැරයටත් ලක්වන බව කිව යුතුය.

2011 දී ආබාධිත තරුණියක දූෂ්‍යකොට ඇය ගැබිනියක බවට පත් වූ පසු මුළාකොට වනයකට ගෙන ගොස් මරා සිරුර පුළුස්සා දැමූ චුදිතයකුට ත්‍රිකුණාමලය අධිකරණය මගින් මරණ දඬුවම ලබා දී තිබේ. එලෙස ම එහි දෙවන චුදිතයා වූ තැනැත්තා නිදොස්කොට නිදහස් කර තිබේ. මේ නඩු විභාගයේ තීන්දුව ලැබෙන්නේ ද 2018 සැප්තැම්බර් 17 දා සිට දිනපතා ම නඩුව විභාගයට ගත් නිසාය. නඩු විභාගවල ඇති ප්‍රමාදය ගැන බලවත් චෝදනාවක් අධිකරණ ක්ෂේත්‍රයට තිබේ. එය කෙමෙන් වියැකී යන බවක් දක්නට ලැබෙන්නේ ඉහත සඳහන් ආකාරයේ තීන්දු නිසා ය. එම නඩු තීන්දු යුක්තිසහගත වන අතර තීන්දුවේ ප්‍රමාදය වළක්වා තිබේ. නීතියේ ආධිපත්‍යය යන්නෙන් අප අපේක්ෂා කරනුයේ ද සාධාරණය හා කාර්යක්ෂමතාව යි.

අප මුලින් සඳහන් කළ වයස අවුරුදු හයක දැරිය දූෂණය කිරීමේ සිද්ධියට අදාළ චුදිතයා අධිකරණයට පැමිණ ඇත්තේ අංශභාග රෝගියකු හැටියට ය. එම රෝගියා ඔසොවාගෙන යෑම සඳහා බිරිය හා දියණියෝ පැමිණ සිටියහ. විත්තියේ නීතිඥයා චුදිතයාගේ රෝගී තත්ත්වය හා වයස සැලැකිල්ලට ගන්නා මෙන් විනිසුරුවරයාගෙන් ඉල්ලා සිටි අතර ඊට විනිසුරුවරයා ලබාදුන් පිළිතුර අපි මුලින් ද සඳහන් කළෙමු. එනම්; පුද්ගලයා වයසට ගියත් නීතිය වයසට නොයන බව ය. නීතිය වයසට ගියහොත් සාධාරණය අපේක්ෂා කළ නොහැකිය. ස්වාධීන විනිශ්චයක් අපේක්ෂා කළ නොහැකිය. මෙබඳු ප්‍රකාශයක් විනිසුරුවරයකුට කළ හැක්කේ ද නීතියට හා අධිකරණයට බලපෑම් එල්ල නොවන නිසා යැයි කිව හැකිය.

ඉහත සිද්ධියේ වින්දිතයන්ට අදාළ යුක්තිය ඉටු වන්නේ වසර දහනවයකට පසුවය. එය පවා සිදුවන්නේ අධිකරණ කටයුතු කාර්යක්ෂම කිරීමට ආණ්ඩුව ගත් පියවර නිසා ය. ගොළු තරුණිය එනම්; අප මුලින් සඳහන් කළ ආබාධිත තරුණිය සම්බන්ධ නඩු විභාගයේ අවසන් තීන්දුව ලබා දෙන්නේ වසර විසි එකකට පසුව ය. වසර විසි එකකට පසුව හෝ යුක්තිය ඉටුවීම ගැන සතුටු විය හැකිය. නඩු විභාගය සාමාන්‍ය පරිදි පැවැත්වූයේ නම්; අවසන් විනිශ්චය ලබාදීමට තවත් වසර ගණනාවක් ගතවනු ඇත. එක්තරා මිත්තණියක් සම්බන්ධ ඉඩම් නඩුවක අවසන් විනිශ්චය ලැබුණේ මිත්තණිය මිය ගොස් සති ගණනාවක් ගෙවී ගිය පසුවය. අවසන් ලෙස එම මිත්තණිය මියගොස් ඇත්තේ ද නඩු විභාගයේ විනිශ්චය නොදැක ය.

නීති ක්ෂේත්‍රය ගතහොත් එය ව්‍යාපාරයක් බවට පරිවර්තනය වී තිබේ. ඇත්ත -නැත්තකොට තම සහචරයන් බේරා ගනු ලබන නීතිඥයාට බොහෝ තැන්වලින් වරදාන හා තවත් දේවල් ලැබේ. මීට හුරු වූ නීතිඥයෝ නඩු විභාග කල්දැමීම සඳහා විවිධ උපායමාර්ග භාවිත කරති. අපට හැඟෙන පරිදි දැන් නීතිය නැමීමට හැකියාවක් නැත. එලෙසම නඩු විභාග දිගින් - දිගට ම කල් දැමීමට හේතුවක්ද නැත. එබඳු පසුබිමක් ගොඩනැඟී ඇත්තේ බොහෝ කලකට පසුවය. අධිකරණයට ස්වාධීන ලෙස ක්‍රියා කළ හැකි ව්‍යූහාත්මක පදනමක් ආණ්ඩුව විසින් ඇති කරනු ලැබ තිබේ. ඒ හැරෙන්නට විනිසුරුවන්ට ස්වාධීන ලෙස ද තර්කානුකූල ලෙස ද තීන්දු ගැනීමේ හැකියාව ඇතිකර තිබේ. එය කොයි අතින් බැලුව ද හොඳ තත්ත්වයක් සේ සැලැකිය හැකිය.

නීතියේ ස්වාධිපත්‍යය පිහිටුවීමත් අධිකරණ පද්ධතිය තුළ කාර්යක්ෂමතාව ඇති කිරීමත් අප බොහෝ කාලයක සිට අපේක්ෂා දල්වාගෙන සිටි කාරණයෙකි. ආණ්ඩුව ඊට මැදිහත් වී සාර්ථක වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කිරීම ප්‍රීතිය දනවන කාරණයෙකි. නීතිය මේ අයුරින් කර්යක්ෂම ලෙස ඉටුවන්නේ නම්; එය නැමීමට අවශ්‍ය වන්නේ නැත. අවසන් ලෙස කිව හැක්කේ අධිකරණ ක්‍රියාවලිය මේ රට යහපත් තැනකට ගෙනයෑම සඳහා හේතු - සාධක වන බව ය.


අදහස් 1ක් ඇත

May it be continued through out irrespective of the persons in power.

පිටු

නව අදහස දක්වන්න

Or log in with...