විල් ස්මිත් බොලිවුඩ් තාලයට නටයි | දිනමිණ

විල් ස්මිත් බොලිවුඩ් තාලයට නටයි

ලෝකයෙන්ම මුල් තැන ගත් අසිරිමත් රූ සපුවක් හිමි ඓශ්වර්යා රායි සමඟ බොලිවුඩ් චිත්‍රපටයක රඟපෑමට හොලිවුඩ් සිනමාවේ දැවැන්ත ප්‍රතිරූපයක් හිමි විල් ස්මිත් කැමැත්ත පළකර තිබෙනවා.

පසුගිය දා ඉන්දියාවේ පැවැත්වුණු සිනමා සමුළුවකට සහභාගිවීමෙන් පසුවයි, විල් ස්මිත් මේ බව ප්‍රකාශ කර ඇත්තේ. ඉන්දියාවට පැමිණි ඔහු, ජනප්‍රිය නළු ෆර්හාන් අත්තාර් සමඟ කතාබහකට එක් වී තිබෙනවා.

සිනමාවට අදාළ කරුණු කිහිපයක් ගැන සාකච්ඡා කරමින් සිටින අතරතුරදී විල් ස්මිත්, ෆර්හාන් හට පවසා ඇත්තේ රූ රැජින ඓශ්වර්යා සමඟ චිත්‍රපටයක රඟපැමට තමන් සුදානම් බවයි.

ඔහු තවදුරටත් පවසා ඇත්තේ මීට වසර 15 කට පමණ පෙර ඓශ්වර්යා හමු වූ අවස්ථාවේදී ඇය සමඟ බොලිවුඩ් චිත්‍රපටයක නර්තන ජවනිකාවක රඟපෑමට තමා තුළ තිබෙන කැමැත්ත ප්‍රකාශ කළ බවයි.

විල් ස්මිත් මෙලෙස ප්‍රකාශ කළ සැණින්ම ෆර්හාන් ‘වහාම ක්‍රියාත්මක වී’ ඔහුට ‘භන්ග්‍රා’ නම් වූ පන්ජාබ් නැටුමකින් පියවර කිහිපයක්ම ඉගැන්වු බවත් එයට එක හිතින්ම කැමැති වූ විල් ස්මිත්, ෆර්හාන් සමඟ ‘භන්ග්‍රා’ නර්තනය පුහුණු වූ බවත් ආරංචියි.

මේ අතර, විල් ස්මිත්. කරන් ජොහාර් අධ්‍යක්ෂණය කළ ‘ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් -2’ චිත්‍රපටයේ නර්තන රංගනයකටද එක් වී තිබෙනවා. ඔහු එලෙස රංගනයෙහි යෙදුණේ ටයිගර් ශ්රොෆ් සහ අනන්‍යා පාන්ඩේ ඇතුළු යොවුන් නළු නිළි පිරිසක් සමඟයි.

නව අදහස දක්වන්න