බන්ධනාගාරවල ආරක්ෂාව විශේෂ කාර්ය බළකායට | දිනමිණ

බන්ධනාගාරවල ආරක්ෂාව විශේෂ කාර්ය බළකායට

විජයානි එදිරිසිංහ

* මහජන නීතියට පටහැනි විවිධ වු අපරාධ මෙන්ම තවත් බොහෝ දේ සිදුවන්නේ බන්ධනාගාරවලයි
* බන්ධනාගාරවලට දිනකට කෝටි පහක පමණ මත්කුඩු
* ආරක්ෂක කටයුතු කළයුත්තේ ඉතාමත් සූක්ෂම අයුරිනි 
* සෑම අස්සක් මුල්ලකම සෙබළු සීරුවෙන්:
* සියලු ජාවාරම්කරුවන්ට තිත:
* ජාත්‍යන්තර ජාවාරම්වලටද වක්‍රාකාරයෙන් දැඩි බලපෑමක්:

බන්ධනාගාරවල ආරක්ෂක කටයුතුවලට සහාය පිණිස විශේෂ කාර්ය බළකාය යෙදවීම සම්බන්ධයෙන් බන්ධනාගාරවල සිටින රැඳවියන් මෙන්ම සෙසු කණ්ඩායම් මේ තරම් කලබල වෙන්නේ කුමකටද යන්න රහසක් නොවේ. මේ රටේ යම්කිසි අපරාධ සංඛ්‍යාවක් සිදු වෙයිද ඉන් සියයට අසුවකටත් වඩා වැඩි ප්‍රමාණයක් සැළසුම් කෙරෙන්නේ බන්ධනාගාරවල බවට බුද්ධි තොරතුරුවලින් අනාවරණය වීම පමණක් නොව පසුගිය කාලය පුරාම සිදු කරන ලද අපරාධ පරීක්ෂණවලින්ද හෙළි විය.

ඒ වගේම මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම ඉතාමත් බරපතළ ලෙස සිදු වෙයිද එම ජාවාරම්වලට සම්බන්ධ ප්‍රධාන ජාවාරම්කරුවන් සියලු දෙනාම සම්බන්ධකම් පවත්වන්නේ බන්ධනාගාරවල සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන් මෙන්ම සාමාජිකයන් සමඟ බවටද ‍ කාලයක් තිස්සේ සිට තොරතුරු හෙළිදරව් වු බවද රහසක් නොවේ.

බන්ධනාගාරවලට දිනකට රුපියල් කෝටි පහක් පමණ වටිනා මත්කුඩු කිලෝ දෙකක් හෝ ඊට වැඩිප්‍රමාණයක් සහ වෙනත් මත්ද්‍රව්‍ය වු ගංජා සහ තවත් බොහෝ මත්ද්‍රව්‍ය යැවේ.

මේ මත්ද්‍රව්‍ය බන්ධනාගාරවලට යවනු ලබන්නේ ඒ සම්බන්ධයෙන් කටයුතු කරන සංවිධානාත්මක කණ්ඩායම් විසින් බවද පිළිගත යුතු කරුණකි. මේ ආකාරයෙන් මේ රටේ ආරක්ෂාවට මහජන නීතියට පටහැනි සියලුම විවිධ වු අපරාධ මෙන්ම තවත් බොහෝ දේ සිදුවන්නේ බන්ධනාගාරවලය.

ජාවාරම් සිදු කෙරෙන්නේ ලෝක ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ පුර්ණ සහාය මත වන අතර පසුගිය කාලයේ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය මෙන්ම පාතාල අපරාධකරුවන්ගෙන් හෙළිදරව් වුයේ දැනට ඩුබායි සිටින සුප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වු මාකඳුරේ මධුෂ් අංගොඩ ලොක්කා, කොස්ගොඩ සුජි සහ තවත් බොහෝ පාතාල අපරාධකරුවන්ගේ ගෝලයන් ‍රැසක් බන්ධනාගාරවල සිට එම මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම පාතාල අපරාධ සැළසුම් කර ක්‍රියාත්මක කළ බවයි.

එපමණක් නොව ජාත්‍යන්තරයට රිංගාගෙන සිටින ජාවාරම්කරුවන්ට අමතරව මෙරටේ සිටින තවත් බොහෝ කණ්ඩායම් විසින් සිදු කරන අපරාධ පිටුපස ඇති බලගතු හස්ත සියල්ලක්ම බන්ධනාගාරවල ආරක්ෂාවට විශේෂ කාර්ය බළකාය යෙදවීමට එරෙහිව සිටින බව අමුතුවෙන් කිව යුතු කරුණක් ද නොවන්නේය.

අද බන්ධනාගාරවල වහළයට නැඟ සිටින්නේ රැඳවියන් පිරිසක් පමණි. මේ රැඳවියන්ට මේ ආකාරයෙන් පොළඹවන පිරිස පිටුපසින් සිට බලා සිටින්නේ විශේෂ කාර්ය බළකාය යෙදවිමෙන් පසු ඔවුන්ට සහ ඔවුන්ගේ ජාවාරම්වලට කන කොකා හඩලන අාකාරය පිළිබඳවයි. අද වහළට නඟින රැඳවියන්ට මේ උද්ඝෝෂණය කිරීමෙන් ලැබෙන්නේ කුමක්ද බන්ධනාගාරවල සිදුවන ජාවාරම්වලින් කෝටි ගණන් මුදල් උපයන සුපිරි පන්තියේ ජිවිත ගත කරන ධන කුවේරයන්ගේ ජාවාරම් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂක වැඩ කටයුතු නිසා අනිවාර්යයෙන්ම කඩා වැටෙන බව ද රහසක් නොවේ. මේ ජාවාරම් පිටුපස සිටින ධනකුවේරයන් ඉහළම ලාභය ලබන පුද්ගලයන් වුවත් ඒ පිටුපස තවත් විශාල පිරිසක් යැයි කියන්නේ එක් මත්කුඩු කිලෝවක් අලෙවිය පටුපස තවත් සිය දහස් ගණනක පිරිසක් සිටිති. ඒ වගේම සංවිධානාත්මක අපරාධ රැල්ල පිටුපසද එම පාතාල නායකයන්ට අමතරව තවත් විශාල පිරිසක් සිටිති. ඒ අනුව බන්ධනාගාර මේ සියලුම මෙහෙයුම් මධ්‍යස්ථාන බවට පත්කරගෙන කටයුතු කරගෙන යන පිරිසට සහ ඒවාට සහාය වන පිරිසද මේ ආකාරයෙන් රැදවියන් යොදා උද්ඝෝෂණය කරන්නේ ඔවුන්ගේ ජාවාරම් බිඳ වට්ටවා ගැනීමෙන් වළක්වා ගැනීම පිණිස වෙයි.

මේ ආකාරයෙන් සැටලයිටි දුරකතන භාවිතා කරමින් ඊසිකෑෂ් ක්‍රමය හරහා මුදල් ගනුදෙනු කරමින් බන්ධනාගාරයේ සිට ජාත්‍යන්තරය හරහා මුල්‍ය ගනුදෙනු සිදු කරමින් හොර මුහුදු මාර්ග ගුවනින් නැව් වලින් කන්ටේනර් පිටින් මත්කුඩු තොග මෙරටට ගෙනඒමේ මෙහෙයුම් සිදු කරන ඒවා රට පුරා බෙදා හරිනවා පමණක් නොව විවිධ පුද්ගලයන් ඝාතනය කරන ඝාතන සැළසුම් කරන ආයුධ අලෙවිය සිදු කරන මෙන්ම බන්ධනාගාරයට දුරකතන සිම්කාඩ් ඇතුළු මහාපරිමාණ ජාවාරම්වලට අමතරව සුළු පරිමාණ ජාවාරම් ද ඇතුළු බන්ධනාගාරයේ සිට කරන කියන සෑම සියලු දෙයකටම විශේෂ කාර්ය බළකා ආරක්ෂක කටයුතු හරහා සම්පුර්ණයෙන්ම තිත තැබෙන බව ස්ථිරය.

මීට මාස කිහිපයකට පෙර වෙනත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන වැලිකඩ බන්ධනාගාර කාන්තා රැඳවියන් උද්ඝෝෂණයක යෙදි සිටි අවස්ථාවේ එම තත්ත්වය පාලනය කිරීමට හෝ එසේත් නොමැති නම් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශ යොදා බන්ධනාගායේ සිදුවන විවිධ වු අපරාධ සම්බන්ධ සෙවීමට කටයුතු කරන්නේද යන්න විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර් .ලතිෆ් මහතාගෙන් විමසු විට ඒ මහතා කියා සිටියේ තවමත් එවැනි අදහසක් ඉදිරිපත් වී නොමැති බවයි. එහෙත් වැලිකඩ බන්ධනාගාරයේ සිට සැටලයිට් මාර්ගයෙන් සහ වෙනත් සාමාන්‍ය දුරකතන පද්ධති හරහා මසකට දුරකතන ඇමතුම් පන්දහසකට අධික ප්‍රමාණයක් පිටතට සහ ඇතුළට එන බවත් හෙළිදරව් කරගනු ලැබුවේ විශේෂ කාර්ය බළකා බුද්ධි අංශ මගින්ය. එම සොයා ගැනීම සම්බන්ධයෙන් විවිධ වු පරීක්ෂණ ගණනාවක් ද සිදු කරනු ලැබු අතර බන්ධනාගාරයේ සිට ජාත්‍යන්තරය සමඟද වු මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ තොරතුරු හෙළිදරව් කරගනු ලැබුවේ විශේෂ කාර්ය බළකායයි.

ඒ අනුව විශේෂ කාර්ය බළකාය බන්ධනාගායේ ආරක්ෂාවට යෙදවිම තරම් මහජනතාව‍ගේ ප්‍රසාදයට ලක්වු යහපත් තීරණයක් තවත් නැති තරම්ය. බන්ධනාගාරවල ආරක්ෂක කටයුතු සිදු කරන බන්ධනාගාර ආරක්ෂක අංශය‍ හෙවත් ජේලර්වරුන් අතරින් ඇතැම් පිරිස් මේ තීරණයට එරෙහි බව තහවුරු වී ඇත. ඒ තුළ සිදුවන අපරාධ රැල්ලට යම් ආකාරයකින් සහාය වන පුද්ගලයන් විය හැකිය.එහෙත් විශේෂ කාර්ය බළකාය යොදා සිදු කරන මේ ආරක්ෂක වැඩපිළිවෙළින් ඉදිරියේදි බන්ධනාගාරයේ සිදුවන තවත් අභිරහස් වැඩපිළිවෙළ සංවිධානාත්මක ක්‍රියාවලියන් පිළිබඳ තොරතුරු හෙළිදරව් වන බව ස්ථිරය.

කාගේ වුවද විරෝධතාවලින් නොසැලී විශේෂ කාර්ය බළකාය දැන් බන්ධනාගාරවල ආරක්ෂක කටයුතු වල නියැළී සාර්ථක දින තුනද ගෙවී යයි. එම ආරක්ෂක කටයුතු ඉතාමත් සුක්ෂම කල්පනාකාරිව සිදු කළ යුතු බව පවසන විශේෂ කාර්ය බළකාය බොහෝ දේ පිළිබඳව සිය උකුසු ඇස යොදා ඇති බව අප කළ විමසුමකදි හෙළි විය.

විශේෂ කාර්ය බළකාය යනු මේ රටේ ජාතික ආරක්ෂාවට මෙන්ම රටේ විවිධ අවස්ථාවල සිදුවන විවිධ වු අරගලකාරී සිදුවීම්වලදීද කැපි පෙනෙන සේවයක් සිදු කරන සුවිශේෂි වු ආරක්ෂක අංශයකි. පොලිස් දෙපාර්තමේන්තුව යටතේ පවතින විශේෂ කාර්ය බළකාය පසුගිය කාලය තුළ මේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම පාතාලය සංවිධානාත්මක අපරාධ ඇතුළු රටට හානිකර විෂබිජ සියල්ල මර්දනය කිරීමට දැඩි වෙහෙසක් දරා ක්‍රියාකළ විශේෂ කාර්ය බළකාය එම කැප කිරීමේ නියම ප්‍රතිඵල ලබා ගනිමින් රටට අහිතකර එම පිළිලයන් මර්දනය කිරීම ඉතාමත් සාර්ථක ප්‍රතිඵල ලබා ගනිමින් සිදු කළ බව රහසක් නොවේ.

මීට වසර කිහිපයක් තිස්සේ සිදුවු මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම මේ වන විට මෙරටේ ක්‍රියාත්මක වීම සියයට පනහකින් පමණ අඩු වී ඇති බව පොලිස් වාර්තා පෙන්වා දෙයි. විශේෂයෙන් ජාත්‍යන්තරයේ සිට එන මත්ද්‍රව්‍ය තොගවල අඩුවක් සිදුවී ඇත්තේ පසුගිය කාලය පුරාම විශේෂ කාර්ය බළකාය සහ මත්ද්‍රව්‍ය නාශක අංශය මෙන්ම නාවික හමුදාවද මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිට මත්කුඩු කිලෝ සිය ගණනින් අත්අඩංගුවට ගෙන එම ජාවාරම්කරුවන් විශාල මුල්‍ය හානියකට පත්කි‍රීමේ ප්‍රතිඵලයක්ද සමඟිනි. විශේෂයෙන් මුහුදු මාර්ග ඔස්සේ ධීවරයන් විසින් මත්ද්‍රව්‍ය ජාවාරමට විශාල සහායක් ලබා දෙන බව නාවික හමුදා බුද්ධි අංශ සනාථ කරගෙන තිබුණි. ඒ අනුව ධීවරයන් විසින් මත්කුඩු තොග මහමුහුද මැද සඟවා කරගෙන යන ජාවාරමට විශාල සහායක් ලබා දී ඇති බවටද තොරතුරු හෙළි විය.එසේ රටට එන මත්ද්‍රව්‍ය තොගවලට මුදල් ගෙවීමද බන්ධනාගාර ඊසිකෑෂ් හරහා සිදුවී ඇති බවද හෙළිදරව් වී ඇත. මේ නිසා බන්ධනාගාරවල ආරක්ෂාවට විශේෂ කාර්ය බළකාය යෙදවීම ජාත්‍යන්තර කතාබහට ලක්වන්නක් බවට පත්වී ඇත්තේ ජාත්‍යන්තර ජාවාරම්වලටද වක්‍රාකාරයෙන් ඉන් දැඩි බලපෑමක් වන නිසා වෙයි.

කෙසේ වෙතත් බන්ධනාගාර ආරක්ෂක කටයුතු හරහා එම බන්ධනාගාරවලට යන එන ද්‍රව්‍ය පරික්ෂා කිරීම පමණක් නොව බන්ධනාගාරයේ අස්සක් මුල්ලක් නෑරම පරීක්ෂාවට ලක්කිරීම සිදු කළහොත් එහ බෙහෙවින් අගනා කර්තව්‍යයක් වන බවද කිව යුතුමය.

නව අදහස දක්වන්න