ඩොලර් වැසි වස්සන ඉස්සන් වගාව නංවමු | දිනමිණ

ඩොලර් වැසි වස්සන ඉස්සන් වගාව නංවමු

මුන්නේශ්වරම සමුහ ඊ.සී.ප්‍රනාන්දු

වත්මන් ආණ්ඩුව මේරටේ ඉස්සන් වගාව නැංවීම පිණිස ලබා දුන් පහසුකම් හේතුවෙන් විශාල පිරිසක් මේ වනවිට එම කර්මාන්තයට ඇතුළු වී ඇති නිසා විශාල ඉස්සන් ප්‍රමාණයක් වෙළෙඳපළට එයි.

අපේ රටට වැඩිම ඩොලර් ප්‍රමාණයක් ලබා ගත හැකි මෙම ව්‍යාපාරය කෙරෙහි රජයේ අවධානය වැඩිවශයෙන්යොමු විය යුතු බව ශ්‍රී ලංකා ජල ජීවි වගා සංවර්ධන සංවිධානයේ සභාපති කමල් නානායක්කාර මහතා පැවැසීය.

මේ වන විට ආණුඩුව ඩොලර් අපේ රටට ගෙන ඒමේ අවශ්‍යතාව වැඩි වශයෙන් පෙන්වා දෙයි. මේ සඳහා සුදුසුම ව්‍යාපාරයක් වන්නේ පොකුණු ඉස්සන් වගාවයි. දින 120ක් වැනි කාලයක දී ඉස්සන් වෙළෙඳපළට යැවිය හැකියි. මේ සඳහා විශාල පිරිවැයක් දැරිය යුතුය. විශාල කැප කිරීමක් ද කළ යුතුයි.

මේ වන විට මෙරට ඉස්සන් ගොවියන් විශාල අසහනයකට මුහුණ දි සිටිනවා. ඒ තමන් නිෂ්පාදනය කරණු ලබන ඉස්සන් සඳහා හොද මිලක් නොලැබිමයි. වසරකට කන්න දෙකක් වගා කළ හැකියි එක් කන්නයක දී ටොන් 6000කට වැඩි අස්වැන්නක් නෙලා ගත හැකියි. මෙයින් සියයට පනහකට වැඩි ප්‍රමාණයක් විදේශ වෙළෙඳපළ වෙත යවනවා.

වත්මන් රජය අපට දුන් පහසුකම් අනුව වැඩිදෙනෙක් ඉස්සන් වගාවට ඇතුළු වෙලා.

එම සංධානයේ මෙහෙයුම් කමිටු සාමාජික නිමල් පතිරණ මහතා-

කලින් ඉන්දියන් ධීවරයන් අපේ උතුරුකරයේ මුහුදට හොරෙන් ඇවිත් ඉස්සන් ඇල්ලුවා. වත්මන් ආණ්ඩුව එසේ පැමිණිම නතර කළා. දැන් උතුරේ ධීවරයන් ට විශාල වශයෙන් මුහුදු ඉස්සන් අල්ලා ගත හැකිවී තියෙනවා. මෙම ඉස්සන් අඩු මිලට වෙළෙඳපළට එන නිසා පොකුණු මිල පහත බැහැලා. අපේ ව්‍යාපාරිකයන් රටට ණය කාරයන් වෙලා. ඉස්සන් මිල ඉහළ යවා, මෙරටට මේ මගින් එන ඩොලර් ප්‍රමාණය ඉහළ දමුවොත් අපේ රටට විශාල සෙතක්. එදා රුපියල් අට සියයකට වඩා වැඩි මුදලකට අලෙවි කළ ඉස්සන් කිලෝවකට අද රුපියල් හයසියයක් ගන්නත් අමාරුයි. මේය කිසියම් කුමන්ත්‍රණයක් ද කියලාත් හිතෙනවා. ඉස්සන් වගාවට අවශ්‍ය සෑම අමුද්‍රව්‍යයක්ම ගෙන එන්නේ පිට රටින්. එම අමුද්‍රව්‍ය මිල දී ගන්න විශාල ඩොලර් ප්‍රමාණයක් යනවා. නමුත් අපේ ඉස්සන් විදේශ වෙළෙඳපළට ගියාම මිල පහත බැහැලා. රජය වහාම මේ සඳහා මැදිහත් විය යුතුයි.

සංධානයේ ලේකම් සරත් කිත්සිරි මහතා- අගමැතිවරයා නිතර පවසන්නේ මේරටට අවශ්‍ය ඩොලර් වැඩි ප්‍රමාණයක් ලබා ගත හැකි කර්මාන්ත ඇති කළ යුතුයි කියලයි. මේ ඉස්සන් කර්මාන්තය ඉන් ප්‍රමුඛ කර්මාන්තයක්. රජය වහාම මේ මිල පහළ වැටීම සම්බන්ධයෙන් මැදිහත්ව සොයා බැලිය යුතුයි.

අපේ ව්‍යාපාරිකයන් කෝටි ගණනින් මුදල් ණයට අරන් තමයි මෙම ව්‍යාපාරය කරන්නේ. නිෂ්පාදන වැය පිරිමසා ගන්නත් අද මිලෙන් බැරි වී තිබෙනවා. මහභාණ්ඩාගාරය මෙම ගැටලුවට වහාම මැදිහත් විය යුතුයි. එකවරට විශාල ඉස්සන් ප්‍රමාණයක් ඉස්සන් වෙළෙඳපළට නොඑන ක්‍රමයක් ඇති කළ යුතුයි.

නව අදහස දක්වන්න