ගම්පහට දියුණුව කැන්ඳන සංචාරක පුරවරය | දිනමිණ

ගම්පහට දියුණුව කැන්ඳන සංචාරක පුරවරය

 අගනුවරට කිලෝමීටර් 25ක් පමණ නුදුරෙන් පිහිටි ගම්පහ දිස්ත්‍රික්කය දිගු අතීතයකට හිමිකම් කියන ගැමි සුන්දරත්වය සහ නාගරික දියුණුව එකට කැටි කරගත් දිස්ත්‍රික්කයකි.

එම අලංකාරය සහ නිසා ගම්පහට සංචාරක ආකර්ෂණය පහසුවෙන් දිනාගත හැකිය. ඒ සඳහා වඩාත් උචිත කලාපය ලෙස හඳුන්වා දිය හැක්කේ පිළිකුත්තුව , මාලිගාතැන්න සහ බුත්පිටිය යන පුරාණ රජමහා විහාර ආශ්‍රිත ප්‍රදේශයයි. දැනුදු දේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය සහ කැමැත්ත දිනාගෙන ඇති මෙම ප්‍රදේශය මීට වඩා විශාල දියුණුවක් වෙත යොමු කළ හැකි ප්‍රදේශයකි. එයට ප්‍රධානම හේතුව ලෙස සඳහන් කළ හැක්කේ කොළඹ සහ කටුනායක ප්‍රදේශ ආශ්‍රිත ව ඇති තරු පන්තියේ හෝටල්වල සිට මෙම ස්ථාන වෙත පැයක් ඇතුළත ළඟා වීමට ඇති පහසුවයි. මේ හැම කරුණක්ම නිසා මෙම පැරැණි වෙහෙර විහාර ආශ්‍රිතව නව සංචාරක රටාවක් බිහිකිරීමට හැකියාව ලැබී තිබේ.

මේ හැම කරුණක් ගැනම අවධානය යොමු කළ මහ නගර සංවර්ධන සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශය මෙම කලාපය ඇසුරේ දියුණු සංචාරක කලාපයක් ඇති කිරීමට අවශ්‍ය මුලික කරුණු මේ වන විටත් සම්පාදනය කර තිබේ. ඉඩම් මැනුම් කටයුතු මෙන්ම අවශ්‍ය පවරා ගැනීම් පිළිබඳවද මේ වනවිට අවධානය යොමු කර තිබෙන අතර මෙම අයවැයෙන් වෙන්කරනු ලබන ප්‍රතිපාදන මත මෙහි කටයුතු ආරම්භ කර කඩිනමින් නිම කිරීමට නියමිතය. මේ සඳහා මුලිකත්වය ගෙන සිටින්නේ මුදල් ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතායි මහ නගර සංවර්ධන සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ලබන්නේ ද නියෝජ්‍ය ඇමැතිවරයායි

දැනටමත් මාලිගාතැන්න, පිළිකුත්තුව සහ බුත්පිටිය රජමහා විහාරවල නායක හිමිවරු මේ සඳහා කැමැත්ත සහ ආශිර්වාදය පළ කර ඇති අතර උන්වහන්සේලා අප සමඟ මේ ගැන මහත් ප්‍රසාදයෙන් අදහස් පළ කරති.

මේ ගැන අප සමඟ මුලින්ම අදහස් දැක්වූයේ මාලිගාතැන්න රාජමහා විහාරයේ විහාරාධිපති කොටපොල පියරතන හිමියන්ය

“ඇත්තෙන්ම රජය ආරම්භ කර ඇති මේ වැඩසටහන ඉතාමත් හොඳයි. ඒ ගැන මුලින්ම අපි සතුට පළ කළ යුතුයි. ඇත්තෙන්ම මේ ප්‍රදේශ තාමත් ස්භාවික අලංකාරයෙන් ඉහළ තැනක තියෙන්නේ. අනෙක් අතින් අවුරුදු දෙදහසක අතීතයකට අපේ විහාරස්ථාන උරුම කම් කියනවා. ඒත් මෙතෙක් කාලයකට මේ ප්‍රදේශ විධිමත්ව දියුණු කරන්න කිසිම වැඩපිළිවෙළක් තිබුණේ නැහැ. විදෙස් සංචාරකයෙක් නොවෙයි අහල පහළ කෙනෙක්ටවත් මේ තැන්වලට එන්න ක්‍රමයක් තිබුණේ නැහැ.

දැන් තමයි කෙමෙන් අපේ ප්‍රදේශ දියුණු වෙමින් තියෙන්නේ. මේ විදිහේ සංචාරක කලාපයක් ඇති කිරීම නිසා අපේ විහාරස්ථාන විතරක් නොවෙයි ගැමියන්ගේ ආර්ථික තත්ත්වය පවා වැඩි දියුණු වෙනවා. අනෙක විදේශිකයන්ට පෙන්වන්න පුළුවන් අපේ රටේ පැරැණි උරුමය කුමක්ද කියා. දැන් බොහෝ සංචාරකයන් හිතන්නේ මේ විදිහේ අධ්‍යාත්මික මිහිරක් විඳින්නනම් අනුරාධපුර හෝ පොළොන්නරු යන්න ඕනැ කියලායි. ඒත් අගනුවරට ළඟ මෙවැනි ස්ථානත් ප්‍රවර්ධනය කරන්න පුළුවන්.

අනෙක අගනුවරට ආසන්න කාර්යබහුල ජීවිතයක් ගත කරන පිරිස් පවා උත්සාහ කරනවා මේ වගේ තැනකට ඇවිත් වන්දනා කර අවශ්‍ය ආගමික කටයුතුවල නියැලෙන්න. ඒ විදිහේ රටාවක් ඇති වීමෙන් අපේ ප්‍රදේශ ද ලොකු දියුණුවක් ලබනවා .මාලිගාතැන්න රජමහා විහාරය කියන්නේ දළදා වහන්සේ පවා වැඩසිටි ස්ථානයක් විදිහටයි ඉතිහාසයේ කියැවෙන්නේ.

ඌරුවළ වළගම්බා රජමහා විහාරාධිපති බුත්පිටියේ සුමංගල හිමි- ඇත්තෙන්ම මම ඉතාමත් සතුටට පත් වෙනවා මේ වැඩසටහන ගැන . ලසන්ත අලගියවන්න ඇමැතිතුමාට ලොකු අවශ්‍යතාවක් තියෙනවා මේ ප්‍රදේශ දියුණු කරන්න එතැනදී පාරක් හදනවාට වඩා පාලමක් හදනවාට වඩා වටිනවා මේ විදිහේ අලුත් සංවර්ධන සංකල්ප යථාර්තයක් බවට පත්කිරීමට.

මේ වැඩසටහන දැන් ආරම්භ කර තිබෙනවා අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ වැඩසටහන ඉක්මන් අවසානයක් වෙත රැගෙන ඒමටත් එයින් අපේ ජනතාවට ප්‍රතිලාභ ලැබෙන තැනකට මෙම සංචාරක කලාපය දියුණු කරන්න වැඩ පිළිවෙළක් අවශ්‍ය කරන්නේ.

මේ ප්‍රදේශය තමයි ගම්පහ දිස්ත්‍රික්කයේ මෙන්ම බස්නාහිර පළාතේම ඉතිහාසික වශයෙන් වැදගත් ප්‍රදේශය. මේ හැම දෙයක් නිසාම අපේ ගමට ලැබුණ මේ සම්පත අගය කරන්නම ඕනැ. ජනාධිපතිතුමාට අගමැතිතුමාට මෙන්ම අපේ ප්‍රදේශයේ ආණ්ඩු පක්ෂ නියෝජිතයා විදිහට ලසන්ත අලගියවන්න මහතාටත් ස්තුතිය පළ කළ කරන්නම ඕනැ.

පිළිකුත්තුව ප්‍රදේශයේ සමාජ ක්‍රියාකරිකයකු වන හසන්ත ජයසිංහ මහතා ඇත්තෙන්ම පිළිකුත්තුව තමයි මෙහිදි වඩාත් අවධානය යොමු වුණ ප්‍රදේශය මේ ප්‍රදේශවලට වැඩි වැදගත්කමක් වගේම ජනතාවගේ ආර්ථිකයට වගේම අපේ ජනතාවගේ ඉඩම්වල වටිනා කමද ඉහළ යනවා. මේ ගැන අපිට සතුටුයි.මේ වන විට ත් සංචාරක කලාපය ගැන මුල් කටයුතු නිමා වී තිබෙනවා.

මම ගම් වැසියකු විදිහට මම ඉල්ලන්නේ කොහොම හරි මේ හොඳ වැඩේ ඉක්මන් කරන්න කියලායි. එහෙම වුණොත් අපේ ජනතාවටත් ලොකු වාසියක් ලැබෙනවා සිකුරුයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ මහර මැතිවරණ කොට්ඨාසයේ ඇති කරන මෙම ව්‍යාපෘතිය ගැන ප්‍රදේශවාසීහු දැඩි සතුට සහ අපේක්ෂා දල්වා බලා සිටිති. ඔවුන් ගේ මේ බලාපොරොත්තු මොනවාද යන්න අප මෙම ප්‍රදේශවල සිදු කළ සංචාරයේ දී දැක ගැනීමට ලැබුණි.

සටහන
උදිත ගුණවර්ධන
ඡායාරූප-දුෂ්මන්ත මායාදුන්න 


නව අදහස දක්වන්න