හස්ති - මාරයා! | දිනමිණ

හස්ති - මාරයා!

මොන අතින් බැලුව ද අලි - ඇතුන් යනු රටක් සතු වටිනා සම්පතකි. ඈත අතීතයේදී අලි - ඇතුන් වෙළෙඳාමෙන් ශ්‍රී ලංකාව ද ආදායම් ලබා ඇති බවට සාක්ෂි තිබේ. රජවරුන් ස්වකීය වාහනය උදෙසා ද, යුද කටයුතු උදෙසා ද අලි - ඇතුන් භාවිත කර ඇත. ඒ පමණක් ‍නොව; ඇත් - පොර නැරඹීම ප්‍රභූන්ගේ විනෝද කටයුත්තක් ලෙස ද පැවතී ඇත. අලියා යනු මිහිපිට ඇති විශාල ම සත්වයා ය. ඌ පරිසරයේ තුලනයට දක්වන දායකත්වය ද මානව කටයුතු සඳහා දක්වන දායකත්වය ද සුළුපටු නැත. ඉතිහාසය ද වර්තමානය ද නිරීක්ෂණය කරන කල අලියාගේ ඇති වටිනාකම පැහැදිලි වනු ඇත. එහෙත් දැනට සිදුවන දේවල් අනුව පෙනී යන්නේ අන්තිම වන අලියාත් අපෙන් ඈත්වීමට වැඩි කාලයක් ගත නො වන බව ය.

Òඉන් රුහුණු ජන්ගල්ස්Ó නමින් පිටරැටියකු පොතක් ලියා තිබේ. මේ පොතෙන් කියැවෙන්නේ ශ්‍රී ලංකාවේ වන - සතුන්ගේ චර්යාවන් ගැන ය. අතීතයේදී වනසතුන් මිනිසාට තර්ජනයක් වී නැති බව ද එම කෘතියෙන් කියැවේ. පොතෙහි එක පරිච්ඡේදයකින් නිරූපණය කර ඇත්තේ වල් අලි රංචුවකට මැදි වූ මිනිසකු ගැන ය. බීමත්ව පා-පැදියකින් ගමන් ගත් ඒ මිනිසා අලි රංචුවට කොළොප්පම් කරමින් රංචුව මැදින් රිංගා ගොස් තිබේ. රංචුවේ සිටි සද්දන්ත අලියෙක් සිය අඩි පොළොවේ ගසමින්, හොඬවැල ඔසොවා මිනිසා බියගන්වා ඇති’මුත් පහර දී නැත. සද්දන්ත අලියා වනයේ ඇති මාර්ගය දිගේ මිනිසා ඈතට බයිසිකලයෙන් යන අයුරු බලා සිට නැවත වනය තුළට ම ගිය බව කර්තෘ කියයි. අලි නිකරුණේ මිනිසුන්ට පහර දෙන්නේ නැත.

ඉහත පූර්විකාව ලියා තබන්නේ අතීත අලියා හා වර්තමාන වන අලියා ගැන සාපේක්ෂ සටහනක් තැබීමට පසුබිමක් සකස් කර ගැනීම සඳහා ය. අතීතය විමසන විට පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ අලියා වාසනාවන්ත බව ය. එහෙත් වර්තමානය විමසන විට පෙනී යන්නේ වන අලියා බලවත් ඛේදවාචකයකට මුහුණ දී ඇති බව ය. අද විවිධාකාරයෙන් අලියා තර්ජනයට ලක් වී ඇත. හක්කාපටස් නම් පුපුරණ ද්‍රව්‍ය තබා අලියා විනාශ කරන අය සිටිති. වෙඩි තබා උන් ඝාතනය කරන අය සිටිති. ඇතුන්ගේ දළ කපාගන්නා අය සිටිති. මේ හැරෙන්නට දුම්රිය අලියාගේ ප්‍රධාන මාරකයක් බවට පත් වැ තිබේ. ගෙවී ගිය සති කිහිපය තුළ දී අලි දස දෙනෙක් පමණ දුම්රියට බිලි වූහ. දුම්රියේ ගැටී මිය යන අලින්ගේ ගණන දිනෙන් දිනම වැඩි වෙයි.

පෙරේදා උතුරු දුම්රිය මාර්ගයේ දී තවත් අලි තිදෙනෙක් කෝච්චියට බිලි වූහ. එක අලියකුගේ සිරුර කෑලිවලට කැඩී ගොස් තිබිණි. අලියා වැනි සද්දන්ත සතකු වේදනාවෙන් මිය යනු බලා සිටීම අතිශය දුක් සහිත දර්ශනයෙකි. මේ අනතුරට මුහුණ දුන් තවත් අලියෙක් පණ අදිමින් සිටියේ ය. වන සතුන්ට මේ අයුරින් මිය යෑමට ඉඩ දීම මනුෂ්‍යත්වයට තරම් නො වන ක්‍රියාවකි. ලෝකයේ විවිධ අණ පනත් මඟින් පරිසරය හා සත්වයා ආරක්ෂා කිරීමට පියවරගෙන තිබේ. එම අණ - පනත් රැසකට ශ්‍රී ලංකාව ද අස්සන් කර තිබේ. වෙනත් වන සතුන් අතර ද අලියා අපට වටිනාකමින් වැඩිවෙයි. අපේ පෙරහර වැනි සංස්කෘතිකාංගවල ප්‍රධාන සාධකයක් බවට පත්ව ඇත්තේ හස්තියා හෙවත් අලියා ය. ඌ රැකගැනීම අප සියල්ලන්ගේ ම යුතුකමක් හා වගවීමක් බව කිව යුතුය.

වන අලින් දුම්රියේ ගැටී මිය යෑම අතීතයේ දී අසන්නට ලැබුණේ කලාතුරෙකින් ය. එහෙත් දැන් එය සුලබ සිද්ධියක් බවට පත් වැ තිබේ. මේ ගැන විවිධ සාකච්ඡා පවත්වා ඇත. සම්මන්ත්‍රණ පවත්වා ඇත. දුම්රිය දෙපාර්තමේන්තුව මේ ගැන සොයා බැලීම සඳහා කමිටුවක් පත් කළේය. එම කමිටුවේ වාර්තාව මීට දින කිහිපයකට පෙර අදාළ අංශ වෙත භාර දී ඇතැයි දැනගන්නට ලැබේ. එහෙත් එය ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැත. දුම්රියේ අලි ගැටීම පිළිබඳ විද්වත් සාකච්ඡාවක් කොළඹ පදනම් ආයතනයේ දී පැවැති බව ද අපට මතක ය. එහෙත් එය ද ක්‍රියාකාරී වැඩසටහනක් ඇතිකිරීමට සමත් වී නැත. සාකච්ඡා කිරීම, සම්මන්ත්‍රණ පැවැත්වීම හොඳ දේවල් වන්නේ ඒවායෙහි ප්‍රතිඵලයක් දැකගත හැකි නම් පමණි. දුම්රියට අලින් බිලිවීමට විසැඳුමක් මේ වනතුරු අප දැක නැත.

කෙනකුගේ යෝජනාව වන්නේ අලි ගැවසෙන ස්ථාන හා අලිමංකඩ තෝරාගෙන එම ස්ථානවල විදුලි වැටක් ඇතිකළ යුතු බව ය. උතුරු දුම්රිය මාර්ගය ගතහොත් එබඳු ස්ථාන විශාල සංඛ්‍යාවක් තිබේ. නැඟෙනහිර දුම්රිය මාර්ගයේ ද එබඳු ස්ථාන විශාල සංඛ්‍යාවක් තිබේ. විදුලි වැට විසැඳුමක් නම්; ඒ සෑම ස්ථානයක් සඳහා ම විදුලි වැට ඉදිකළ යුතු ය. තව කෙනකුගේ යෝජනාව වන්නේ අවදානම් ස්ථානවලදී දුම්රිය වේගය අඩුකොට ධාවනය කළ යුතු බව ය. ඊට ප්‍රතිඋත්තර දෙන දුම්රිය රියැදුරන් කියා ඇත්තේ අපේ බොහෝමයක් දුම්රිය එන්ජින්වල ධාවන වේගය දක්වන මීටරය වැඩ කරන්නේ නැති බව ය. තවත් කෙනකුගේ යෝජනාව වී ඇත්තේ දුම්රිය මාර්ගයේ අවදානම් ස්ථානවල ශබ්දයක් පිටකිරීම සඳහා විද්‍යුත් තරංග යොදාගත යුතු බව ය. මේ එක යෝජනාවක්වත් ප්‍රායෝගික නැති බව පෙනී යයි.

දුම්රිය හා අලි අතර ප්‍රශ්නය වැළැක්වීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුව සිය වාර්තාව මඟින් කුමන යෝජනා ඉදිරිපත් කර තිබෙන්නේදැ’යි අප දන්නේ නැත. එය ප්‍රසිද්ධියට පත්කර නැත. එහෙත් කුමක් හෝ විසැඳුමක් වහාම ක්‍රියාත්මක විය යුතු ව තිබේ. වනජීවී අමාත්‍යාංශය ඇතුළු තවත් ආයතන මේ ඛේදවාචකයේදී තරමක් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ද පෙනෙන්නට තිබේ. රටේ වන ජීවීන් ගැන ඇත්ත උනන්දුවක් දක්වන්නේ නම්; මේ ගැටලුවට විසැඳුමක් සොයාගැනීම තවත් ප්‍රමාද කළ යුතු නැත. මෙබඳු ගැටලු නිරාකරණය සඳහා වෙනත් රටවල් අනුගමනය කරන උපාය මාර්ග සොයා බැලීම මෙහිදී වැදගත් යැයි අපට සිතේ.

අලින්ගේ මරණ ගැන කරුණු ගවේෂණය කළ අපට දැනගන්නට ලැබුණේ ගිය වසර තුළ පමණක් ස්වාභාවික නො වන හේතු නිසා ශ්‍රී ලංකාවේ වන අලි දෙසීයක් මරණයට පත් වී ඇති බව ය. එය ඉතා නරක තත්ත්වයකි. රටේ වන අලි ගහනය දෙදහසකට වැඩි නැතැ’යි සමහරු කියති. ඒ ගැන නිශ්චිත තොරතුරු අප දන්නේ නැත. එහෙත් මේ වන විට වන අලියාගේ ප්‍රධාන මරුවා බවට කෝච්චිය පත් වී තිබේ. එය කෙතරම් අවාසනාවක් ද?

 


නව අදහස දක්වන්න

Or log in with...