චානුක රත්වත්තේ ඇතුළු හයකට අධිචෝදනා | දිනමිණ

චානුක රත්වත්තේ ඇතුළු හයකට අධිචෝදනා

කුමුදු හෙට්ටිආරච්චි

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය සමාගමක් පිහිටුවා පවත්වාගෙන යෑම සම්බන්ධව චානුක රත්වත්තේ මහතා ඇතුළු විත්තිකරුවන් හයදෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ ඊයේ (22) අධිචෝදනා පත්‍ර භාරදෙන ලදී.

2015 ජනවාරි 01 වැනිදා හා 2015 ඔක්තෝබර් මස 30 වැනිදා අතර කාලයේදී නිසි අවසරයකින් තොරව එන්ට්‍රස්ට් ලිමිටඩ් නමැති සමාගම පිහිටුවා පවත්වාගෙන යාමෙන් දඬුවම් ලැබිය හැකි වැරැදි සිදුකර ඇති බවට නීතිපතිවරයා විසින් විත්තිකරුවනට එරෙහිව අධිචෝදනා නඟා ඇත.

තිරුගම් කනගසබේ, චානුක උපේන්ද්‍ර රත්වත්තේ, රොමේෂා දුෂාන්ති සෙනරත්, නන්දික සංජීව දයාරත්න, නිරෝෂන් රොචෙන්ඩෝ සහ ඉසිර ධර්මප්‍රිය බණ්ඩාර දිසානායක යන විත්තිකරුවනට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත.

ඊයේ (22) අධිකරණය හමුවේ පෙනී සිටි විත්තිකරුවන් 06 දෙනා හට විවෘත අධිකරණයේදී අධිචෝදනාවක් කියවා දීමෙන් අනතුරුව විත්තිකරුවන් ඔවුනට එරෙහි චෝදනාවන්ට නිවැරැදිකරුවන් බව ප්‍රකාශ කර සිටියේය.

ඒ අනුව මෙම නඩුව විභාගයට ගැනීමට තීරණය කළ විනිසුරුවරයා නඩුව ලබන දෙසැම්බර් 11 වැනිදා යළි කැඳවීමට ද නියෝග කෙරුණි.

නව අදහස දක්වන්න