ගිහින් තියෙනවද ඉරක්කණ්ඩි? | දිනමිණ

ගිහින් තියෙනවද ඉරක්කණ්ඩි?

සංචාරයට සීමා මායිම් නැත. ඒ ආශ්වාදයට ද සීමා මායිම් නැත. එකිනෙකා විවිධාකාරයට විනෝදාශ්වාදය ලබති. අද අප ඔබ වෙත ගෙන එන්නේ නැවුම් සංචාරයක් තුළ ලබාගත් අපූරුම වින්දනයක මතක සටහනකි.

සංචාරයට කැමැත්තෝ විවිධ ආකාරයේ සංචාර තෝරා ගනිති. තමන් පෙර නොගිය ස්ථානයකට යෑමට බොහෝ පිරිස් රුචියක් දක්වති. මුහුද ආශ්‍රිතව විවේකීව සිත්සේ විනෝද වන්නට කදිම ස්ථානයක සංචාරක මතක සටහනකි මේ.

අද අපේ සංචාරය ඉරක්කණ්ඩි මුහුදු තීරය හා සින්නකරච්චි කළපුව වෙතට යි. මේ ඉරක්කන්ඩි තියෙන්නේ, ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය නගරයට කිලෝමීටර් 18ක් පමණ ඔබ්බෙන්. වඩාත් පහසු විදිහට කියනවා නම් ඔබ දන්න නිලාවේලි මුහුදු තීරයට කිලෝමීටර් තුන හතරක් එපිටින්. ශ්‍රී ලංකාවේ දිගම පාලම් අතර තුන්වැනි ස්ථානය ගන්නා ඉරක්කන්ඩි පාලම පසුකර මද දුරක් යනවිට ඉරක්කන්ඩි මුහුදු තීරය හමුවේ. ඉරක්කණ්ඩි කොරල් පරය යනු නැ‍ඟෙනහිර වෙරළල තීරයේ තිබෙන සුන්දරම කොරල් තීරයයි. විසිතුරු මුහුදු මත්ස්‍යයින්, කුඩා ප්‍රමාණයේ මෝරුන්, මෙන්ම ඉතා අලංකාර කොරල් පර සමූහයකින් යුක්ත මේ ඉරක්කණ්ඩි මුහුදු තීරය තවමත් ප්‍රසිද්ධ නැති අතිශය නිසංසල ඉතා සුන්දර මුහුදු තීරයක්. සින්න කරචිචි කලපුවේ මෝය කටත් දර්ශනීය ඉරක්කණ්ඩි පාලමත් ඉරක්කණ්ඩි මුහුදු තීරයේ සුන්දරත්වය දෙගුණ තෙගුණ කරයි.

එක් පසකින් ඉරක්කණ්ඩි සුන්දර මුහුදු තීරය අනිත් පසින් සින්නකරච්චි කළපුව තවමත් සංචාරක ආකර්ෂණය මහ ඉහළින් නොලැබුව ද නිලාවේලි මුහුදු තීරයටත් වඩා අතිශය සුන්දර ස්ථානයක් බව එහි ගිය අපට දක්නට ලැබුණා. මෙහි ඇති විශේෂත්වය තමයි කලපුව තුළ පිහිටි සාගර උද්‍යානයක්.

එහි ඉතා හොඳින් කොරල් පර වැඩී තිබෙනවා. කරදිය මිරිදිය මිශ්‍ර වතුරේ ගැවසෙන අතිශය සුන්දර මත්‍ය ගහනයක්ද මේ කළපුවේ දී නරඹන්ට ඔබට පුළුවනි. නොගැඹුරු පැහැදිලි දිය සහිත කළපුවේ මේ කොරල් පර අතර සිට සුන්දරත්වය නැරඹීමට හැකිවීම ම භාග්‍යයක්.

දැනට මේ ස්ථානයේ සංචාරකයන් සඳහා සේවා සපයන ආයතන දෙකක් පමණ පිහිටුවා තිබෙනවා. ඔවුන් ගේ උපදේශකයන්ගේ මඟ පෙන්වීම යටතේ මේ කොරල් නැරඹීමටත් බෝට්ටු සවාරි, ස්නොක්ලින්(Snorkeling), කායකින් (Kayaking) වැනි ජල ක්‍රීඩාවන්හි නිරත වීමටත් හැකියි. ජීවිතාරක්ෂක උපකරණ ආදිය ද මෙහිදී ඔවුන්ගෙන් ලබා ගැන්මට හැකියාව සලසා තිබෙනවා.

කිසිවකුගේ සහය නොලබා වුණත් මෙහි සිත් සේ විනෝද විය හැකි නමුත් ඒ උපදේශකයකුගේ මග පෙන්වීම ලබාගැන්ම කළපුවේ කොරල්පරයේ ආරක්ෂාවට හිතකරයි. මන්ද අපි නොදැන කොරල් මත ඇවිදින්නට බලන්නට ගියහොත් මේ අගනා කොරල් පරයද විනාශයට ලක්වන්නට ඉඩ ඇති නිසායි.

වඩාත්ම සුන්දර දසුන උදාවන්නේ හිරු උදාවත් සමඟයි. රක්තවර්ණ වන නැඟෙනහිර ක්ෂිතිජය ඔස්සේ හිරු උදාවේ චමත්කාරය වචනයෙන් විසිතර කළ නොහැකි යි. ඔබ එය වටහා ගන්නට දිනක එය නැරඹිය යුතුමයි. ත්‍රිකුණාමල සංචාරයකදී රාත්‍රී නවාතැන ලෙස ඔබ මේ ඉරක්කණ්ඩි තෝරාගන්න. තාමත් එතරම් සංචාරක අවධානයට ලක්ව නැති නිසා මෙහි නවාතැන් පහසුකම් ආදියද සාධාරණ මිල ගණන්වලට ලබා ගත හැකියි.

ඉරක්කණ්ඩි සිට බලන විට සුප්‍රකට පරවි දුපතද ඔබට දිස්වනවා. එහි සිට බෝට්ටු මඟින් පරවි දූපතට යාමට ද පුළුවනි.

ඉරක්කණ්ඩි සංචාරයක ඔබ නිරත වන්නේ නම් ඔබට නැරඹිය හැකි අනෙක් තැන් වන්නේ කන්නියා උණුවතුර ළිං, තිරියාය ගිරිහඩු සෑය හා ලංකාවට ආවේණික වූ මුහුදු තීරයක් සහිත ආරාණ්‍ය සේනාසනයක් වූ අරිසිමලේ. අරිසිමලේ යනු එහි වැල්ල සැබැ සහල් ඇට මෙන් පැවතීමයි. අරිසිමලේ මුහුදු තීරයද දිය නෑමට ආරක්ෂිත ස්ථානයක්.

කොළඹ සිට කුරුණෑගල හබරණ ත්‍රිකුණාමලය හරහා යන්නේ නම් දුර ප්‍රමාණය කිලෝ මීටර් 280ක් පමණ වනවා. ඔබේ මීළග නැඟෙනහිර චාරිකාව සැලසුම් කිරීමේදී ඉරක්කණ්ඩි යන්නට අමතක කරන්න එපා. තාමත් සුරක්ෂිතව පිරිසිදුව පවතින ඒ වෙරළ තීරය අපද්‍රව්‍යයන්ගෙන් කිළිටි නොකර ආපසු ‍එන්න මතක තියාගන්න. අපේ ඉල්ලීම එයයි.

ඉරක්කණ්ඩි සුන්දරත්වය වීඩියෝවක් මගින් බලන්න කැමති නම් පහත ලින්කුව භාවිත කර නරඹන්න. https://youtu.be/k3Nsx9Rtc4E

සටහන හා ඡායාරූප
නලීන් දිල්රුක්ෂ

නව අදහස දක්වන්න