අසල්වැසියා! | දිනමිණ

අසල්වැසියා!

කුමන දේශපාලන පක්ෂයක් ශ්‍රී ලංකාවේ දේශපාලන බලය තහවුරු කරගෙන සිටිය ද ඉන්දියාව සමඟ පවත්වන සබඳතාවලින් දුරස් විය හැකි නො වේ. භූ - දේශපාලනික වශයෙන් අ පේ රටවල් දෙක අන්තර්පරායන සම්බන්ධතාවක ගැලී සිටිති. ඇතැම් දේශපාලන මතවාදවලට අනුව දෙරටේ ම විවේචක කණ්ඩායම් සිටිය ද එයින් රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පලුදු වී නැත. එක අතෙකින් දකුණු ආසියා කලාපයේ බලවතා ඉන්දියාව බවද, තව අතෙකින් ශ්‍රී ලංකාවට වඩාත් සමීප රාජ්‍යය ඉන්දියාව බව ද, අප වටහාගත යුතුව තිබේ. වත්මන් ආණ්ඩුව යටතේ මේ සබඳතා වඩාත් පුළුල් හා අවබෝධාත්මක එකක් බවට පත් වී ඇතැ’යි කීම බොරුවක් නො වේ.

ඉන්දීය අගමැති මෝදි මහතා වරක් කියා සිටියේ ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා ඕනෑම සහයෝගයක් ලබාදීමට ඉන්දීය රජය නොමසුරුව ඉදිරිපත් වන බව ය. ශ්‍රී ලංකාවේ නිවාස සංවර්ධනයට පමණක් ඉන්දියාව විශාල ආධාරයක් ලබාදී තිබේ. ඒ වෙනත් ආර්ථික සහයෝගීතා වැඩසටහන්වලට අමතර ලෙස ය. ශ්‍රී ලංකාව සාගර ආර්ථිකයක් කෙරෙහි බලාපොරොත්තු දල්වාගෙන සිටී. රටවල් දෙකටම අයත් සාගර කලාපය පිහිටා ඇත්තේ එකට යාබදව ය. ඒ අනුව සාමූහිකව එහි සම්පත් භුක්ති විඳිය යුතු ය. ඊට ඉන්දියාවේ සහයෝගය හා මිත්‍රත්වය තිබීම වැදගත් ය.

දේශපාලනයේ දී රටවල් දෙක ම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරති. ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වූ ඉන්ද්‍රකුමාර් ගුජ්රාල් මහතාගේ කියමනක් උපුටා දක්වතොත් ආසියාවේ පැරැණිම පාර්ලිමේන්තු ඇත්තේ ඉන්දියාවට හා ශ්‍රී ලංකාවට ය. මෙතෙක් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් පවත්වාගෙන යන අප ඒ ගැන ආඩම්බර විය යුතුය. රටවල් දෙකෙහිම ප්‍රජාතන්ත්‍රවාදය වරින් - වර අභියෝගයට ලක් වුව; ඒකාධිපති බලවේග යටපත් කොට යළිත් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට රටවල් දෙක ම සමත් වී ඇත. එය ජනතාවගේ ජයග්‍රහණයක් ලෙස ද පෙන්වා දිය හැකි ය. දේශපාලන අභියෝගවලදී දෙරටම එකිනෙකා කෙරෙහි විශ්වාසයෙන් හා සහයෝගයෙන් ක්‍රියාකරන බවද පෙනෙන්නට ඇති සත්‍යයෙකි.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා මෑතකදී කියා ඇත්තේ ස්වකීය රජය රටකට ලබා දුන් වැඩි ම ප්‍රදානය ශ්‍රී ලංකාවේ නිවාස සංවර්ධනය වෙනුවෙන් ලබා දී ඇති බව ය. එය සිදු වූයේ නරේන්ද්‍ර මෝදි රජය යටතේ ය. ප්‍රදානයෙහි වටිනාකම ගතහොත් රුපියල් ලක්ෂ දොළොස්දහසකි. මෙයින් අඩක් පළමුව ලබා දී තිබූ අතර දෙවනුව ඉතිරි අර්ධය ලබාදීම අනුමත කර තිබේ. ඉන්දීය මහ කොමසාරිස්වරයා මෙහි දී කියා ඇත්තේ මෙය ශ්‍රී ලංකාවට ලබාදෙන අවසන් ප්‍රදානය නො වන බව ය. ඉන්දියාව අවංක ලෙස ම ශ්‍රී ලංකාවේ දියුණුව අපේක්ෂා කරන බව ඉහත ප්‍රදානයෙන් පැහැදිලි වෙයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ දිනවල ඉන්දියාවේ නිල සංචාරයක යෙදී සිටී. සංචාරයේ නිල තොරතුරුවලට අනුව අගමැති මෝදි, ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ ඇමතිනී සූෂ්මාස්වරාජ් පමණක් නොව; ඉන්දීය කොංග්‍රසයේ නායකයන් ද හමු වී සාකච්ඡා කිරීම අගමැති රනිල් වික්‍රමසිංහගේ වැඩසටහනට අයත් ය. විශේෂයෙන් මෙහිලා සංවාදයට ගැනීමට නියමිත ආර්ථික කටයුතු බව පැහැදිලි ය. ඉන්දියාවේ සහයෝගයකින් තොරව කලාපයේ සාගර ආර්ථිකයට අදාළ කටයුතු මෙහෙයැවිය නොහැකි බව අපි මුලින් ද සඳහන් කළෙමු. එය ආර්ථික යථාර්ථයක් ලෙස පවතී. එයින් පෙනීයන්නේ ඉන්දියාව සමඟ සහජීවනය ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය බව ය.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සැලැකිය හැක්කේ සාමකාමී - ප්‍රජාතන්ත්‍රවාදී නායකයකු හැටියට ය. ඔහු කලාපයේ නායකයකු ලෙස අධිපතිවාදය හා බලහත්කාරය ප්‍රතික්ෂේප කරයි. දේශපාලන ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල නායකයකු ලෙස සාකච්ඡාවට හා සංවාදයට ඔහු වැඩිපුර නැඹුරු වෙයි. ගැටුම්කාරී අවස්ථා බුද්ධිමත් ලෙස වළක්වාගැනීම මෝදි මහතාගේපිලිවෙත බව සනාථවී තිබේ. ශ්‍රී ලංකාවට හා ඉන්දියාවට අදාළ ගැටලුකාරී අවස්ථා සාකච්ඡාවෙන් නිරාකරණය කරගත හැකි බව එයින් පැහැදිලි වේ. දේශපාලනයේ දී මෙන්ම අන්තර්ජාතිකකටයුතුවලදී ද වඩාත් වැදගත් වන්නේ සංවාදය බව උතුරු කොරියාවේ මෑතකාලීන සිදුවීම්වලින්ද පෙනී යයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද සාකච්ඡාවට වැඩි නැඹුරුවක් දක්වන නායකයෙකි. ඔහු ඉන්දියන් සාගරයේ කලාපීය ආර්ථිකය ගැන නායකයන් ගණනාවක් සමඟ සාකච්ඡා පවත්වා ඇත. සාගර ආර්ථිකය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක ප්‍රධාන දේශනය පැවරී තිබුණේ ද අගමැතිවරයා වෙත ය. එහි දී ඔහු ඉතා වැදගත් අදහස් දෙකක් පළ කළේය. පළමු අදහස වන්නේ ඉන්දියන් සාගර කලාපය සාමය හා ආරක්ෂාව සඳහා භාවිත කළ යුතු බව ය. දෙවන අදහස වන්නේ නිදහස් වෙළෙඳාම සඳහා මේ කලාපය භාවිත කළ යුතු බව ය. ඉන්දියන් සාගර කලාපය ආර්ථික හා දේශපාලනික වශයෙන් ඔසවා තැබිය හැකි හොඳම උපායමාර්ගය ද එයම බව පෙනී යයි.

දේශපාලනික වශයෙන් ගත් කල අපේ ප්‍රධාන පුරවැසියන් දෙදෙනාට ම ඉන්දියාවේ නායකයන් සමඟ හොඳ සම්බන්ධතා පවතී. ඒවා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඉක්මවා ගිය සහෘද සම්බන්ධතා හැටියට හැඳින්විය හැකි ය. ජනාධිපතිවරයා කිහිපවරක්ම ඉන්දියාවේ සංචාරය කළේය. අගමැතිවරයා ද කිහිපවරක් ඉන්දියාවේ සංචාරය කර තිබේ. රටට වැදගත් සාකච්ඡා ගණනාවක් මේ සංචාර තුළදී පවත්වා ඇත. බොහොමයක් සාකච්ඡාවලට අගමැති නරේන්ද්‍ර මෝදි මහතාම ඉදිරිපත් වීමෙන් පෙනී යන්නේ ඉන්දීය නායකයන් ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන සැලැකිල්ල ය. ඉන්දීය සහයෝගය අවප්‍රමාණ වෙන විට අපේ කටයුතු අවුල්වෙයි. එය අපේ නායකයන් වටහාගත යුතු සත්‍යයක් ලෙස පවතී.

රටේ පවතින ඇතැම් දේශපාලන මතවාද ඉන්දු - ශ්‍රීලංකා හොඳහිත පලුදු කරන ඒවා බව අපි මුලින් ද සඳහන් කළෙමු. ඉන්දියාව අප ගිලගැනීමට බලා සිටින රාක්ෂයකු ලෙස විවේචනය කරන අය සිටිති. ඒ අනුව ඉන්දියාව දක්වන ආර්ථික ප්‍රදාන දෙස පවා වපර ඇසින් බලන්නට සමහරු පෙළඹෙති. ඉන්දියාවේ යටි අරමුණ දෙමළ ජාතිවාදයට සහයෝගය දැක්වීම යැයි දේශපාලන විග්‍රහ ඉදිරිපත් කරන අය ද සිටිති. තමිල්නාඩු නායකයන් දෙමළ ජාතිවාදයට උපකාර කළ කාලයක් තිබුණ ද ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව දෙමළ ජාතිවාදයට හෝ ශ්‍රී ලංකාවේ වෙනම රාජ්‍යයකට හෝ සහයෝගය දක්වන්නේ නැත. අපේ සාගර කලාපය ආක්‍රමණය කිරීමේ වැඩසටහනක්ද ඉන්දියාවට නැත. සාමාන්‍ය ජනතාවට ඒ ගැන අවබෝධයක් ලබාදීම වැදගත් ය.

අගමැතිවරයාගේ ඉන්දීය සංචාරය විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික වැඩසටහන් සඳහා ඉතා වැදගත් අඩිතාලමක් ඇති කරනු බවට විශ්වාසයක් තබාගත හැකි ය.

 


නව අදහස දක්වන්න

Or log in with...