නැවියන්ගේ උණුසුමින් විසල් සමුදුරට | දිනමිණ

නැවියන්ගේ උණුසුමින් විසල් සමුදුරට

ශ්‍රී ලංකාවේ කැස්බෑවන් බිත්තර දමන සෑම වෙරළ ප්‍රදේශයකම නාවික හමුදා කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබන අතර, විශේෂයෙන් දකුණු වෙරළ තීරයත් ගිනිකොන දිග වෙරළ තීරයත් කැස්බෑවන් විශාල වශයෙන් බිත්තර දමන ප්‍රදේශ ලෙස නාවික හමුදාව මේ වන විට හඳුනාගෙන ඇත. පසුගිය වසර දෙකක පමණ කාලය තුළ නාවික හමුදාව මඟින් කැස්බෑ පැටවුන් 10,109 දෙනකු සංරක්‍ෂණයෙන් පසු සාගරයට මුදාහැරීමට කටයුතු කර තිබේ.

කැස්බෑවා යනු අවුරුදු සිය ගනක් ජීවත් වීමේ දුර්ලභ හැකියාව ඇති, වටිනා සත්ත්ව විශේෂයක් බව අමුතුවෙන් පහදා දිය යුතු නැත. එසේ වුවත් ඒ සත්ත්වයන්ගේ බිත්තර කෑමෙන් නොනැවතී, ඔවුන් මස් කර අලෙවි කරන ම්ලේච්ඡ පුද්ගලයෝද සිටිති.

කැස්බෑවන් සංරක්ෂණය කොට උන් මුහුදට යොමු කරන සංරක්ෂණ මධ්‍යස්ථාන අපේ රටේද දකුණු මුහුද ප්‍රදේශය ආශ්‍රිතව දක්නට ඇතත් ඒ බොහෝ බොහෝ සංරක්ෂණ ආයතන සිදු කරන්නේ මුහුදට මුදාහළ හැකි තත්ත්වයේ සිටින කැස්බෑ පැටවුන් විදේශිකයන් අතින් මුහුදට මුදාහැරීම පිණිස ලබා දීමයි. ඒ සඳහා අයකුගෙන් ඩොලර් 20ක මුදලක් අය කරනු ලබන අතර, විදේශිකයෝද මුහුදට යන කැස්බෑ පැටියා දෙස බලා, අත්පොළසන් දෙමින් විනෝද වෙති. මෙනයින් මේ ආයතන කැස්බෑවන් සංරක්ෂණයට දායකත්වයක් ලබා දෙන ව්‍යාපාර ලෙස හැඳින්වීම වඩාත් නිවැරදිය.

ඒ අතර මේ ව්‍යාපාර ලෝකයෙන් මුළුමනින්ම මිදී, ආර්ථික ප්‍රතිලාභ කෙරෙහි සිත යොමු නොකර, හුදෙක් කැස්බෑවන් සංරක්ෂණය කර මුහුදට මුදාහැරීමම අරමුණ කරගත් ක්‍රමවේදයක් මේ වන විට නාවික හමුදාව විසින් ආරම්භ කර ඇත.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයක් මත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සමුද්‍රීය හා පරිසර හිතකාමි ව්‍යාපෘති කමිටුව සහ සාගරික සංරක්‍ෂණය හා අධීක්‍ෂණ ඒකකයක් ස්ථාපිත කරන ලදි. ඒ අනුව, වර්තමාන නාවික හමුදාපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ සමුද්‍රීය හා පරිසර හිතකාමි ව්‍යාපෘති කමිටු ප්‍රධානි, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ පූර්ණ අධීක්‍ෂණය මත මේ ඒකකය ක්‍රියාත්මක වීම ආරම්භ කළ අතර, මෙහි මූලික අරමුණ වන්නේ සාගරික සම්පත් නිරීක්‍ෂණය සහ කළමනාකරණය මඟින් ඒවා ආරක්‍ෂා කොට සංරක්‍ෂණය කිරීමයි.

ඒ කාර්ය නිසි පරිදි ක්‍රියාත්මක කරවීම සඳහා සමස්ත දිවයිනම ආවරණය වන පරිදි සියලු නාවික විධාන තුළ මේ ඒකක ස්ථාපිත කර ඇත. කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘති මෙන්ම කොරල්පර සංරක්‍ෂණ ව්‍යාපෘතිද මෙහිදී නාවික හමුදාව විසින් ආරම්භ කර තිබේ.

මේ යටතේ ශ්‍රී ලංකාවේ කැස්බෑවන් බිත්තර දමන සෑම වෙරළ ප්‍රදේශයකම නාවික හමුදා කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබන අතර, විශේෂයෙන් දකුණු වෙරළ තීරයත් ගිනිකොන දිග වෙරළ තීරයත් කැස්බෑවන් විශාල වශයෙන් බිත්තර දමන ප්‍රදේශ ලෙස නාවික හමුදාව මේ වන විට හඳුනාගෙන ඇත. පසුගිය වසර දෙකක පමණ කාලය තුළ නාවික හමුදාව මඟින් කැස්බෑ පැටවුන් 10,109 දෙනකු සංරක්‍ෂණයෙන් පසු සාගරයට මුදාහැරීමට කටයුතු කර තිබේ. මේ සඳහා වන ජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යටතේ පුහුණුව ලද නාවිකයන් යොදවා ඇති අතර, එය ඉතා ක්‍රමවත්ව ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ සඳහා පානම පවත්වන ලද වැඩමුළුවකදී කැස්බෑවන් සංරක්ෂණය කිරීම පිළිබඳව නාවික හමුදාවට වැඩි දැනුමක්ද දෙනු ලැබිණි. ඒ මාර්ගය ඔස්සේ යමින් මේ වන විට කැස්බෑ සංරක්ෂණය සිදු කෙරෙමින් පවතී.

මේ ව්‍යාපෘතිය ආරම්භ කළ දින සිට මේ වන තෙක් කැස්බෑවන් 50,000කට අධික සංඛ්‍යාවක් බිහි කර මුහුදට යොමු කොට ඇතැයි රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා පැවසුවේය. නාවික හමුදාව කැස්බෑවන් සංරක්ෂණය කරන බව දන්නා නිසාදෝ, ත්‍රිකුණාමලය මුහුදු වෙරළේ අධිආරක්ෂිත නාවික කලාපයට පැමිණෙන ‘විලී’ නමින් නවික හමුදාව විසින් හඳුන්වනු ලබන කැස්බෑවකු වසර 50කට අධික කාලයක් තිස්සේ බිත්තර දැමීමට පුරුදුව සිටින බවද අද්මිරාල්වරයා කීය.

කැස්බෑ සංරක්ෂණයේදී, විශේෂයෙන් අනතුරුව පැටවුන් මුහුදට යෑමේදී කපුටන්, උකුස්සන් වැනි පක්ෂීන්ද බල්ලන්ද මේ සතුන් ඩැහැගැන්මට බලා සිටින හෙයින් නාවික හමුදා සෙබළු අදාළ කලාප තුළ අලුයම් කාලයේ කැස්බෑවන් සංරක්ෂණයට කටයුතු කරති. එමෙන්ම මහජනතාවට විශේෂයෙන්ම ධීවරයන්ට මේ සම්බන්ධව දැනුවත් කිරීම් සිදු කර ඇති අතර, ඔවුන්ගේ මඟ පෙන්වීම යටතේ කැස්බෑවන් බිත්තර දමන ස්ථාන හඳුනාගෙන අදාළ ස්ථාන පෙන්වා දෙන ජනතාවටද මුදල් තිළිණ දීමේ ක්‍රමවේදයක් නාවික හමුදාව විසින් ආරම්භ ඇත.

නාවික හමුදාව විසින් සිදු කරනු ලබන මේ සංරක්ෂණයට ජනතා වශයෙන් සහාය ලබා දීමට ජනතාව කැප වී ඇති බවත්, නාවික හමුදාව එම ක්‍රියාදාමය නිසි ලෙස ඉටු කරන බවට ජනතා විශ්වාසයක් ගොඩනැඟී ඇති බවත් රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා පෙන්වා දුන්නේය. මේ සංරක්ෂණ ක්‍රියාදාමයේම කොටසක් ලෙස මුහුදේදී දැල්වලට පැටලෙන කැස්බෑවන් මුදාගැනීමටද නාවික හමුදාව කටයුතු කර ඇත. පසුගිය කාලයේදී අවස්ථා 79කදී එසේ දැල්වලට පැටලුණු කැස්බෑවන් මුදාහැර තිබේ. එමෙන්ම කැස්බෑවන් අල්ලන හෝ ‘මස් කරන’ අය අත්අඩංගුවට ගැනීමටද නාවික හමුදාව කටයුතු කරමින් සිටී. උතුරේ වෙත්තලයිකර්නිහිදී නාවික හමුදාව විසින් කැස්බෑවන්ට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂ ප්‍රතිකාර ඒකකයක්ද ආරම්භ කර ඇත.

සෑම උදෑසනකම වෙරළ පරීක්ෂා කරන නාවික භටයන් හට කැස්බෑවන් බිත්තර දැමීමට පැමිණි ස්ථාන සොයාගැනීමට අපහසු නොවන බවද පියල් සිල්වා මහතා කීය.

කැස්බෑවන් මේ ආකාරයෙන් සංරක්ෂණය කිරීමඅදාළ කලාප තුළදී ශ්‍රී ලංකාව සමස්ත ඉන්දීය සාගරයේම කැස්බෑ ව්‍යාප්තියට පියවර ගෙන ඇත. විශේෂයෙන්ම කැස්බෑවන් 50,000ක් වැනි අතිවිශාල සංඛ්‍යාවක් මුදාහැරීමට කටයුතු කිරීම සමස්ත ඉන්දීය සාගර කලාපයේම නාවික හමුදාවක් විසින් සිදු කර ඇති අනැගිතම මෙහෙයකි. එසේ වුවත් බිත්තරවලින් බිහි වන මේ කැස්බෑවන්ගෙන් ජීවත් වීමට වාසනාව ලබන්නේ සුළු සංඛ්‍යාවක් පමණකි. ‘කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලන්නාක් මෙන්’ කැස්බෑවන් සංරක්ෂණය කර මුදාහැරියද එයින් ජීවත් වීමට අවකාශය ලැබෙන්නේ අඩකටත් අඩු සුළු පිරිසකට පමණි.

එහිදී මේ සත්ත්වයා රැකගැන්මට නාවික හමුදාව ක්‍රියාත්මක කරන මේ මෙහෙයුම සාර්ථක කරගැනීමට අපත් අපට දිය හැකි ඉහළම දායකත්වය දැක්වීම වැදගත් වන්නේ, ලෝකයටම සම්පතක් වන කැස්බෑවාට උපද්‍රවයකින් තොරව උපරිම ආයුෂ වින්දනය කිරීමට එය විශාල රුකුලක් වන නිසාය.

තාරක වික්‍රමසේකර

නව අදහස දක්වන්න