හෙළ උරුමය ආර්ථිකය සුරකින හස්ත කර්මාන්ත නංවන්න විධිමත් සැලස්මක් | දිනමිණ

හෙළ උරුමය ආර්ථිකය සුරකින හස්ත කර්මාන්ත නංවන්න විධිමත් සැලස්මක්

ඕනෑම රටක හස්ත කර්මාන්ත නිර්මාණ මගින් එම රටේ සංස්කෘතිය, මෙන්ම රටේ අනන්‍යතාව විදහා දැක්වේ. එම නිසාම රටක හස්ත කර්මාන්ත ශිල්පීය විෂය රැක ගැනීමත්, එය සංවර්ධනය කිරීමත්, එම රටේ වගකීමක් මෙන්ම යුතුකමක් ද වෙනවා. එම නිසාම දේශීය හස්ත කර්මාන්ත ශිල්පය සුරක්ෂිත කිරීමටත්, සංවර්ධනය කිරීමටත්, හස්ත කර්මාන්ත ශිල්පීන් දිරිගැන්වීමටත්, ජාතික ශිල්ප සභාව බිහිකර ඇත.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයට අයත් ජාතික ශිල්ප සභාව, ගෙවී ගිය වසර කිහිපයේ මෙරට හස්ත කර්මාන්ත ශිල්පය රැක ගැනීමට උපරිම මෙහෙවරක් ඉටු කළ බව අතිශයෝක්තියක් නොවෙයි.

වර්ෂ 1982 අංක 35 දරන ජාතික ශිල්ප සභා සහ අනුබද්ධිත ආයතන පනතට අනුව ආරම්භ කරන ලද ජාතික ශිල්ප සභාව එදා සිට මේ වන තෙක් හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයේ සංරක්ෂණයටත්, සංවර්ධනයටත්, හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ සුබසාධනය වෙනුවෙන් කළ කැපකිරීම අගය කළ යුතුය.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ මගපෙන්වීම යටතේ ගෙවී ගිය වසර කිහිපයේ ජාතික ශිල්ප සභාව මෙරට හස්ත කර්මාන්ත ශිල්පීන් වෙනුවෙන් ඉටුකළ මෙහෙවර අප්‍රමාණය.

ශ්‍රී ලංකාවේ හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය විදෙස් සංචාරකයන් අතර ජනප්‍රිය වෙමින් පවතින අතර මේ වනවිට මෙම කර්මාන්තය, සංචාරක කර්මාන්තය සමඟ එක්වෙමින් ශ්‍රී ලංකාවට සංචාරක ආකර්ෂණය වැඩියෙන් යොමු කර ගැනීමට හැකි වී තිබෙනවා. එසේම විදේශ විනිමය උපයා‍ දෙන මාර්ගයක් බවටද අද මෙම ක්ෂේත්‍රය පත්ව තිබෙනවා. මෙසේ රටේ ආර්ථිකයට මෙන්ම සංස්කෘතියට ද, එකසේ වැදගත් මෙම, හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන සංවර්ධනයක් ඇති කිරීම අමාත්‍යාංශයේ අභිලාෂයයි.

ගෙවී ගිය වසර තුන තුළ දේශීය හස්ත කර්මාන්තය තුළ සුවිශාල සංවර්ධනයක් ඇති වී ඇති අතර, හස්ත කර්මාන්ත භාණ්ඩ අපනයනය සියයට 11කින් වර්ධනය වී ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

“හස්ත කර්මාන්ත ශිල්පය නඟාසිටුවීම සඳහා ගෙවී ගිය වසර තුනේ දී කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය ගනු ලැබූ සාධනීය පියවරක් නිසා හස්ත කර්මාන්ත භාණ්ඩ අපනයනය සියයට 11කින් වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම පසුගිය දා කොළඹ පැවති ශිල්ප අභිමානී හස්ත කර්මාන්ත ජාතික ප්‍රදර්ශනය මිලියන 12කට වැඩි ආදායමක් උපයාගත් බවත්, එය ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත ශිල්පීන් මෙවැනි ප්‍රදර්ශනයකදී ලබාගත් ඉහළම වාර්තාගතම ආදායම ද වෙනවා” යැයි අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

2016 වසරේදී අප අත්කම් හෙවත් හස්ත කර්මාන්ත භාණ්ඩ අපනයනයෙන් ඩොලර් මිලියන 56ක් හෙවත් රුපියල් මිලියන 9,520ක් උපයාගත් අතර, 2017 වසරේ දී එම ආදායම ඩොලර් මිලියන 61ක් හෙවත් රුපියල් මිලියන 10,370ක් උපයා ගෙන තිබේ. එය 2020 වසර වනවිට දෙගුණයකින් වැඩිකර ගැනීමට අපේක්ෂිතය. ඒ සඳහා හස්ත කර්මාන්ත ශිල්පීන් දිරිගැන්වීමට අවශ්‍ය පියවර මේ වනවිටත් ගෙන තිබේ.

මේ අනුව ගෙවී ගිය වසර තුන තුළ ජාතික ශිල්ප සභාව, හස්ත කර්මාන්ත ක්ෂේත‍්‍රයේ නිෂ්පාදන ජනප්‍රිය කරලීම හා හොඳ වෙළෙඳපොළක් ලබාදීම, හස්ත කර්මාන්ත ආශ්‍රිත ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීම, හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයට පාසල් දරු දැරියන් යොමු කිරීම මෙන්ම හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිර්මාණ අගය කරමින් තරඟකාරීත්වය තුළින් ඉතා හොඳ ඉහළ නිර්මාණ බිහිකිරීමට පියවර ගැනීම සහ මෙම ක්ෂේත්‍රයේ සංවර්ධනය, ප්‍රවර්ධනය සඳහා කැපවීමෙන් කටයුතු කිරීම දක්නට ලැබුණි.

ජාතික ශිල්ප සභාවේ ලියාපදිංචි හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ සංඛ්‍යාව 25,877කි. පසුගිය වසරේ දී පමණක් නව ශිල්පීන් 1,228ක් ලියාපදිංචි වීම විශේෂත්වයකි. මේ අනුව වසර අවසාන වනවිට හස්ත කර්මාන්ත ආශ්‍රිතව නව ස්වයං රැකියා අවස්ථා 10,000ක් උදාකරදීමට පියවර ගෙන තිබේ.

එසේම අපේ තරුණ හා ළමා පරපුර මෙම හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයට යොමු කිරීම වැඩි කිරීමේ අරමුණින් වැදගත් ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබේ. ඒ අනුව පසුගිය වසරේ අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එකතුවී “ශිල්ප නවෝදා” නමින් පාසල් වැඩසටහනක් ආරම්භ කර, පාසල් ළමුන් 30,000කට හස්ත කර්මාන්ත දැනුම ලබාදීමට පියවර ගෙන තිබේ.

එසේම දිවයින පුරා විසිරී සිටින හස්ත කර්මාන්ත ශිල්පීන් මුහුණ දෙන විවිධ ගැටලු විසඳීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් ශිල්ප සභා පිහිටුවීමට ජාතික ශිල්ප සභාව පියවර ගෙන තිබේ. මේ වනවිට දිස්ත්‍රික්ක 11ක දිස්ත්‍රික් ශිල්ප සභා පිහිටුවා ඇති අතර ඉතිරි දිස්ත්‍රික්කවලද ඉදිරි මාස කිහිපය තුළ ශිල්ප සභා දිසා කාර්යාල පිහිටුවීමට සැලසුම් කර තිබේ. මේ මගින් රට පුරා විහිදී පැතිරී සිටින හස්ත කර්මාන්තකරුවන්ට අවශ්‍ය සහයෝගය ලබාදෙමින් ඔවුන්ව දිරිමත් කිරීමට හැකියාව ලැබෙන බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

එසේම හස්ත කර්මාන්ත ශිල්පීන්ට, සිය නිර්මාණ සඳහා තරඟකාරී වටිනාකමක් ලබාදීම සඳහාත්, ඔවුන්ව ජාතික තලයට රැගෙන ඒම සඳහාත්, ඔවුන්ගේ ආර්ථික ශක්තිය නංවාලීම සඳහාත්, ඔවුන්ට දෙස් විදෙස් හොඳ වෙළෙඳපොළක් මෙන්ම වටිනාකමක් ලබාදීම සඳහාත්, ජාතික ශිල්ප සභාව මගින් දීපව්‍යාප්ත තරඟාවලියක් පවත්වා ජයග්‍රහණය කරන්නන්ට, ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන පිරිනැමීමේ උළෙල වාර්ෂිකව පවත්වනු ලබයි. ඒ මගින් අපේ හස්ත කර්මාන්ත ශිල්පීන් මෙන්ම ඔවුන්ගේ නිර්මාණ ද අගය කරමින් වටිනාකමක් ලබාදෙමින් දිරිමත් කිරීම අරමුණ වේ.

එමෙන්ම සියලුම හස්ත කර්මාන්ත ශිල්පීන්ට, ඔවුන්ගේ ජීවිතයට වටිනාකමක් මෙන්ම අගයක් ලබාදීමට, ඔවුන්ට ගැලපෙන රක්ෂණ ක්‍රමයක් ලබාදීම සඳහා මේ වනවිටත් පියවර ගනිමින් සිටිති. මේ පිළිබඳව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ප්‍රකාශ කර සිටි‍න්නේ, “අපගේ හස්ත කර්මාන්ත ශිල්පියා සුරක්ෂිත කිරීමේ වගකීම රජයට තිබෙනවා. ඒ සඳහා අපි ඔවුන්ටම ගැලපෙන හොඳ වටිනාකමක් ඇති රක්ෂණාවරණයක් ලබාදීමට පියවර ගන්නවා” යැයි පැවසීය.

වර්ෂ 2020 වනවිට අපගේ හස්ත කර්මාන්ත ශිල්පීන් ජාත්‍යන්තර වෙළෙඳපොළේ වැඩි ඉඩකඩක් වෙන්කර ගන්නා මට්ටමට අපගේ හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය ඉදිරියට ගෙන යාමට අමාත්‍යාංශය මේ වනවිටත් පියවර රැසක් ගෙන තිබේ.

මේ අනුව අපගේ හස්ත කර්මාන්ත ශිල්පියාගේ අනාගතය වඩාත් සුබදායී යහපත් අනාගතයක් වනු නොඅනුමානය.

ශාස්ත්‍රපති ඩී. එස්. එන්. රාජපක්ෂ
අධ්‍යක්ෂ (මාධ්‍ය), කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය,

නව අදහස දක්වන්න