දුම්රියේ-බසයේ මහමඟ අපේ දුක | දිනමිණ

දුම්රියේ-බසයේ මහමඟ අපේ දුක

විජයානි එදිරිසිංහ

හිරු ගෙනැවිල්ලා
පුතු ළඟ තනියට තියලා
උදේ රැයින් පිටවීලා
සවසට එනවා

මේ රටේ ජනතාව අතරින් වැඩියෙන්ම දුක් විඳින පිරිසක් වෙයි නම් දිනපතා දුම්රියෙන් සහ පොදු බස් රථවලින් සේවයට යන එන ජනතාවයි. එසේ කියන්නේ දුම්රිය සහ මගී බස්රථවල යන එන ජනතාව විඳින අසීමිත වු පීඩනය කටුක බව සහ ඔවුන් ඒ ආකාරයෙන් විඳින දුක මේ රටේ කිසිම පුද්ගල කොට්ඨාසයක් විසින් විඳිනු ඇතැයි සිතිය නොහැකිය. ඒ බව හරියටම දැන ගැනීමට නම් දිනපතා ‍දුම්රියේ හෝ පොදු බස්රථවල ගමන් ගන්නා පිරිස සමඟ ගැටී ගමන් කළ යුතුය.ඒ තත්ත්වය ඒ තරම් තිත්තය. ඒ වගේම සත්‍යයකි.

දුම්රියේ දුක තරම් දුකක් තවත් නැති බව කියන්නට කරුණු ගොනු කර ගැනීම පවා අපහසු වෙයි. දිනකට රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයන් ලක්ෂයකට වැඩි පිරිසක් කොළඹට පමණක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් දුම්රියවලින් ගමන් පහසුකම් සපයා ගනිති. ඒ වගේම තවත් දස දහස් ගණනක් පොදු බස්රථ සේවාවලින් සේවා පහසුකම් සපයා ගනිති.

කොළඹ සිට ගාල්ල මාතර මහනුවර අනුරාධපුර මහව රඹුක්කන මහනුවර හලාවත මීගමුව පුත්තලම ආදි වශයෙන් දිවයිනේ සතර දිග් බාගයෙන් කොළඹට එන යන දුම්රියවලින් දිනපතා වැඩට එන පිරිස අතර එසේ දුර පළාත්වල සිට සේවයට පැමිණෙන්නේ ඔවුන්ට සේවයට පැමිණීමට ඇති පහසුම සහ අඩු වියදමක් ඇති ගමන් මාර්ගය දුම්රිය සේවය නිසාය.

ඒ අතර සාමාන්‍යයෙන් තවත් විශාල පිරිසක් කොළඹ සහ ඊට ආසන්න ප්‍රදේශවල සිටත් ඇතැම් පිරිස් කිලෝමීටර සියයකට ආසන්න ප්‍රදේශවල සිට පවා පොදු ප්‍රවාහන සේවාවලින්ද පැමිණෙන බව අපි දනිමු. කෙසේ වෙතත් පොදු සේවාවලින් එන පිරිසට වඩා වැඩි පිරිසක් දුම්රිය සේවාවට යොමු වී සිටින්නේ ඉතාමත් අඩු කාලවේලාවකින් කොළඹට හෝ ඒ ආසන්න ප්‍රදේශයකට පැමිණීමට හැකි නිසා ද වෙයි.

කොළඹ සිට අඩුම වශයෙන් පොදු බස්රථ සේවාවකින් හෝ වේවා පෞද්ගලික බස්රථ සේවාවකින් හෝ වේවා කිලෝමීටර විස්සක තිහක දුරක් යාමට අඩුම වශයෙන් පැය දෙකක කාලයක්වත් ගත වෙයි.

මේ ආකාරයෙන් බස් රථයට ගොඩ වැදුණු ‍ පසු පළමුවැනි කිලෝමීටරයේ පටන් ආරම්භ වෙන්නේ ට්‍රාෆික් සමඟය.අඩියෙන් අඩිය හෙමින් හෙමින් බස් රථය ඉදිරියට ඇදි ගොස් පළමුවැනි කිලෝමීටරය අවසන් වන පිට පැය භාගයකට වැඩි කාලයක් ගත වී අවසානය.

ඒ වනවිට දිනපතා සිය සේවයේ දවස පුරා වෙහෙසත් මහන්සියත් නිසා එම බස්රථයේ අසුනක් හිමි වී සිටින පුද්ගලයකුට නම් පළමු නින්ද ගොස් අවසානය.ඔහු එම නින්ද අවසාන වී බලන විටත් තවමත් කිලෝමීටර් දෙකක්වත් ගොස් නැත. ඔහු වටපිට බලා යළිත් දැස් පියා ගනී. නැවතත් නින්ද ගොස් අවසන් වන විට ගමනේ භාගයක්වත් අවසන් වී නොමැත.

බස් රථයේ අසුනක් නොමැතිව සිට ගෙන සිටි අය සිට ගෙනම නිදිය. ඒ දර්ශනය දුටු විට ඇතිවෙන්නේ දැඩි අනුකම්පාවකි. කොයි වෙලාවේ අසුනක් ලැබේවිදෝ වරින් වර ඒ මේ අත බලමින් අත්පුරා බෑග් පොත්පත් පසුම්බි ලැප්ටොප් උසුලාගෙන සිටින පිරිස අසල හිඳගෙන සිටින අය ඒ බව නොදැක්කා ‍ සේ අඩ නින්දේ පසු වෙයි.

එක දිගට පැය දෙක තුනක් පොල් පැටවුවාසේ පිරුණු බස් රථයක සිරවී සිටීමත් එසේ මෙසේ පහසු දෙයක් නොවේ. එපමණක් නොවේ ට්‍රැෆික් සහ වෙහෙස අතර කන පැළෙන සද්දයෙන් රේඩියෝවේ සින්දු ඇසෙයි. ට්‍රැෆික් අඩු වන විට බස් රථය ට්‍රැෆික්වල සිරවී සිටියාටත් වඩා වේලාවක් තවදුරටත් මගීන් එකතු කරමින් හන්දි අසල ළතවෙමින් සිටියි.

මේ සියල්ලත් සමඟ මගීන්ට ජීවිතය එපා වන තරම් වු කටුක පීඩාකාරි තත්ත්වයකට පත්වෙයි. මේ අසහනකාරී තත්ත්වය එක දිගට විඳීමට මේ ලෝකයේ මනුස්සයකුට නම් නොහැකිය. එහෙත් අපේ රටේ දිනපතා රැකියාවට යන එන ‍ පිරිස මේ තත්ත්වයට මුහුණදීම ඇත්ත වශයෙන්ම බොහෝ දෙනා සාමාන්‍ය දෙයක් ලෙස සැලකුවත් එය පුදුමයට කරුණක් වෙයි.

දුම්රියේ තත්ත්වය මීටත් වඩා හාත්පසින්ම දරුණු කටුක තත්ත්වයකි. සාමාන්‍යයෙන් දුම්රිය මගී බස්රථ මහමඟ ගාටමින් යනවා මෙන් නොව පැය දෙක තුනක් ඇතුළත ඉතා ඈත දුරක සිට පවා ‍කොළඹ කොටුව වෙත පැමිණෙයි. මේ නිසා වැඩි පිරිසක් දුම්රිය සේවය යොදා ගන්නේ ඒ නිසාය.

එහෙත් මේ දුම්රිය තරම් පැය ගණන් ප්‍රමාද වී යන එන සේවයක් තවත් නොමැත. වෙලාවට දුම්රියක් පැමිණෙයි නම් ඒ අහම්බෙනි. දුම්රියේ ගමන් ගන්නා මගීන් නිරතුරුවම දුම්රියට ගොඩවීමටත් ඉන් බැස ගත් විටත් දුවන පිරිසකි. කොළඹ කොටුවට දකුණේ සිට එන සෑම දුම්රියක්ම වාගේ නිරතුරුවම ප්‍රමාද වෙයි. රුහුණු කුමාරි ,සමුද්‍රදේවි සාගරිකා වෙලාවට එන්නේ කවදාද ? මෙහි එන සෑම මගියකුටම සෑම දිනකට රාජකාරි වෙලාව පිට ගොස් ලේට් කැපෙයි.

ඒ වගේම මහනුවර මහව ආදි සෙසු දුම්රිය අතරත් ඇතැම් ඒවා නියමිත කාලවේලාවට පැමිණියත් විශේෂයෙන් කැලණි වැලි දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා දහස් සංඛ්‍යාත මගීන්ට නම් සතියේ දින පහෙන් වෙලාවට ඒමට හැකි වේ නම් ඒ දිනයක් හෝ දෙකක් පමණි.

අනෙකුත් සෑම දිනකම එක්කෝ දුම්රිය පීලි පැනලා පාර අවහිර වෙයි. එසේ නොමැති නම් දුම්රිය කාර්මික දෝෂයන්ට ලක්වෙයි .මෙසේ කාර්මික ‍දෝෂයන්ටද ලක්වීම කැලණි වැලි දුම්රිය මාර්ගයේ දුම්රියවලට තිබෙන බෝවන රෝගයක් මෙනි.

අද එක දුම්රියක් වෙලාවට ගමන්ගත්තොත් ඊ‍ට පසු එම දුම්රිය ප්‍රමාද වෙයි .ඒ අතර තවත් දුම්රිය දෙක තුනක් තවත් විවිධ වු රෝගවලට ගොදුරු වෙයි . සාමාන්‍යයෙන් කැලණි වැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් ගන්නේ උදයට සහ සවසට පමණි. පෙරවරු හයට පමණ ආරම්භ වී අවිස්සාවේල්ල පාදුක්ක හෝමාගම සිට ආරම්භ වන දුම්රිය කිහිපය අතර කාලයක් තිස්සේ ක්‍රියාත්මක වු කාලවේලා සටහන වෙනස් කිරීම නිසා අව්ස්සාවේල්ල සහ ඊට ආසන්න දුර සිට පැමිණෙන මගීන්ට හෝමාගමදී ‍වෙනත් දුම්රියන්ට මාරුවීමටද සිදුවෙයි.

කෙසේ හෝ දුම්රිය කාලසටහන නියමිත පරිදි ක්‍රියාත්මක වෙනවා නම් මේ පවතින තත්ත්වය එතරම් නරක නොවුවත් එය නියමාකාරයෙන් ක්‍රියාත්මක වෙන්නේ ඉහත සඳහන් පරිදි සතියේ දවසක් හෝ දෙකක් පමණි .වෙලාවකට හෝමාගම සිට ආරම්භ වන දුම්රිය නොමැත. තවත් විටෙක අවිස්සාවේල්ලේ සිට එන දුම්රිය හෝමාගමදී කාර්මික දෝෂයකට ලක්වෙයි. මේ ආකාරයෙන් අතරමඟ බිඳ වැටෙන දුම්රිය ප්‍රමාණය නම් අප්‍රමාණය. මේ නිසා කැලණි වැලි දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා මගීන් දැඩි අපහසුතාවන්ගෙන් අප්‍රමාණ වු දුකක් විඳිති . තවද මේ මාර්ගයේ අතරමඟ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වූ විට ඇතැම් ස්ථානවලින් මගීන්ට දුම්රියෙන් බැස ගැනීමටවත් තරම් ඉඩක් නොමැත. දුම්රිය මාර්ගය ආසන්නයටම පැල්පත් නිවාස තනා තිබීම මාර්ගය අවට දෙපස ඇති කඳු සහ කැලෑ පමණක් නොව ඇතැම් ස්ථානවල කුණු ගොඩවල් සහ මඩ වගුරුද වෙයි. ඒ අතර මේ දුම්රියවල ඉඩකඩ ඇත්තේ ඉතා සීමිත ප්‍රමාණයකි.

මේ වන විට ධාවනයෙන් ඉවත් කළ යුතු දුම්රිය ගණනාවක් කැලණිවැලි දුම්රිය මාර්ගයට යොදා ඇත. මේ දුම්රිය කැඩි බිඳී දිරාපත් වී ඇත. විදුලි පංකා නොමැත. දොරවල් වැසුවොත් වැසිම පවතී. ඇරිහොත් වැසීමට නොහැකිය .ජනේල විවෘත කර උඩට ඉස්සු පස් පහළට කඩා වැටෙයි. රාක්ක කැඩිබිඳී ගොස් ඈත සිටගෙන සිටින පිරිසට අල්ලා ගැනීමට ආධාරකයක් නොමැත. මලකඩ සතර අත විසිරී ගොස් ඇත. හිල්වී ඇති වහලයෙන් වැසි දිනට මලකඩ සමඟ වතුර මගීන්ගේ ඇඟට බේරෙයි. පාපුවරු කොයි මොහොතේ කඩා වැටෙයිද කිව නොහැකි තරම්ය. යාඩ්වල ගාල් කර තිබී පාන්දරින් සේවයට යොදන දුම්රියවල බල්ලන් පුසන් ළැඟ අපවිත්‍ර කර ඇත. වැසි දිනවලට ඇතුළත තෙමී ඇති දුම්රිය අසුන් පිස දැමීමේ අමතර කාර්යයක් මේ මගින්ට පැවරී ඇත.

දුම්රියවල මැදිරි ප්‍රමාණය වැඩි නොකිරීම දිව‍යිනේ සෑම ප්‍රදේශයකම සිට යනඑන දුම්රියවලට ආවේණික ප්‍රශ්නයකි. දුම්රියක මැදිරි ප්‍රමාණය වැඩි කරන ලෙසට මගීන්ගෙන් නිරතුරුවම ඉල්ලීම් ඉදිරිපත් වුවත් දුම්රිය බලධාරින් නම් කිසිම දිනෙක එම ඉල්ලීම කෙරෙහි අවධානය යොමු කළේ නැත.දුම්රියකට මැදිරි එකතු කිරීම එම දුම්රියකට අමුතු වියදමක් ඇතැයි නොසිතේ. එසේත් දුම්රිය අංගනවල හොඳම දුම්රිය‍ පෙට්ටි අව්වට වැස්සට දිරාපත් වී යද්දි දුම්රිය බලධාරින් නිරතුරුවම මැදිරි වැඩි කිරීමට කරන මගී ඉල්ලීම් කුණු කූඩයට දමන්නේ ඒ පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකරමිනි.

අතක් පයක් එසවීමට නොහැකිව කිටි කිටියේ සිරවී හුස්ම ගැනීමටවත් අපහසුව දාඩිය පෙරාගෙන කාන්තාවන් පිරිමින් එකිනෙකාට සිරවී ගර්භනි මවුවරු සිය කුස සිරවීමෙන් දරුවාට සිදුවන හානියෙන් බේරාගෙන රැක ගැනීමට දඟලමින් අසනීපකරුවන් අවසන් හුස්ම හෙළීමට තරම් අපහසුවෙන් ගමන් ගන්නා ආකාරයත් සුලබ දසුන් වෙයි. දුම්රිය පාපුවරුවේ පමණක් නොව පිට පැත්තේ ද එල්ලෙමින් දුම්රිය ගාඩ් මැදිරියට බලෙන් රිංගිම් පමණක් නොවේ. තවත් බොහෝ කටුක අත්දැකීම් අපහසුකම් මධ්‍යයේ යන මගීන් නොදැක හෝ නොදැන නොවේ. එනම් මෙහි මැදිරි වැඩි නොකිරීමේ රහස විය යුත්තේ කුමක්ද යන්න ගැන විමසුවත් දුම්රිය බලධාරින්ගේ මානසික තත්ත්වයක් මිස ඒ සම්බන්ධයෙන් නිසි පිළිතුරක් නම් නොමැත. ඒ වගේම් මේ සම්බන්ධයෙන් මගීන් පවසා සිටින්නේ අමතර මැදිරි වැඩි නොකළත් තියෙන මැදිරි කිහිපයවත් ඒ ආකාරයෙන්ම එවනවා නම් ඇති බවයි.

කැලණි වැලි දුම්රිය මාර්ගයේ පමණක් නොව මාතර ගාල්ල මහව මහනුවර දුම්රියවල මගීන් නිරතුරුවම මේ අපහසුතාවට පත්වෙයි.

එනම් එම මාර්ගයේ ධාවනය වන දුම්රියවලින් සාමාන්‍යයෙන් දුම්රියකට තිබෙන මැදිරි කිහිපය නියමිත පරිදි ඇත්තේ එහෙමත් දවසකය. එහි සෑම දිනකම වාගේ මගීන් දැඩි අපහසුතාවයෙන් ඉඩකඩ මදිකම නිසා දුක්විඳිති. එම දුම්රිය මැදිරි නිරතුරුවම හලා තිබීම සාමාන්‍ය දෙයක් බවට පත් වී ඇත.

මේ අතර ඉහත සඳහන් පරිදි පොදු බස්රථවල දුක්විඳින මගීන්ගේ මේ ට්‍රැෆික් ප්‍රශ්නයට විසඳුමක් දීමට රජය කටයුතු කරන්නේ දැනට අවුරුදු ගණනක් තිස්සේය. එහෙත් මොන තරම් විසඳුම් දුන්නත් ක්‍රියාත්මක වීමේදි නියමාකාරය ප්‍රායෝගිකව සිදු නොවෙයි . ඇතැම් විට මේ ක්‍රියාත්මක කරන පිරිසගේ විවිධ වු දුර්වලතාවන්ද මේ අාකාරයෙන් එම ගැටලුව විසඳීමට බලපානු ලබයි.

දුම්රිය සහ පොදු සේවාවලින් විඳින මේ දුෂ්කරතාව සෙල්ලමක් නොවේ. මගී ජීවිත ගැන හෑල්ලුවට ලක් කිරීම හෝ නොසලකා හැරීම නොකර ඔවුන් ගැන මීට වඩා සිතිය යුතුය. මේ තත්ත්වය ගණන් නොගෙන දුම්රිය හෝ වෙනත් බලධාරින් කටයුතු කරයි නම් හෝ විසඳුමක් ලබාදීම ‍නොසලකා හරියි නම් ඒ එම විෂය බාර නියම නිලධාරියකුගෙන් සිදුවිය යුතුම නැති ක්‍රියාවකි. මේ සේවාවන් අද දුවන්නේ මගීන්ගේ රුපියල් ශතවලිනි. මේ තත්ත්වය යථාර්ථයෙන් බලා ඊට විසඳුම් ලබාදීම මේ වන විට අත්‍යවශ්‍ය තත්ත්වයක් බවට පත්වී ඇත. මේ ආකාරයෙන් දිනපතා පැය දෙක තුනක් එක දිගට දැඩි අපහසුතා මධ්‍යයේ සිරුරටද වදයක් වෙමින් මගීන් දරන්නා වු පීඩනය දෙස යථාර්ථවාදීව බැලිය යුතුය.එම තත්ත්වය කිසිසේත් නොසලකා හැරිය යුතු නැත.

මෙවැනි දේවල් විසඳුම් දීමට අපහසු දේවල් නොවේ.එහි ඇත්තේ නොසලකා හැරීම පමණි. තවද මේ තත්ත්වය එන්න එන්නම උග්‍ර වෙමින් පවතින බව රහසක්‍ නොවේ. බලධාරින් ඇස් ඇර බලන්නේ නම් මේවාට විසඳුම් එතරම් ඈතක නැත.

අපේ දුම්රියවල ගමන් ගන්නා මගීන් කිසිවිටෙකත් විදුලි දුම්රිය ඉල්ලා සිටින්නේ නැත. දුම්රිය සේවකයන්ගේ වර්ජන හමුවේ දුක් විඳින්නේ මගීන් මිස වෙනත් කෙනකු නොවේ. සීසන් එක පමණක් අතැතිව මහමඟට බසින දුම්රිය මගියා අත තවත් කීයක් හෝ පොකැට්ටුවේ තිබේ නම් ඒ ඉතා සොච්චම් මුදලකි. වර්ජනයක් හිටි හැටියේ ක්‍රියාත්මක වී දුම්රිය නැති බව හිටි හැටියේ දැනගත් වහාම බස් රථයකට තවත් මුදලක් දීමට නොහැකිව දැඩි මානසික අපහසුතාවකට පත්වන මගීන් ගැන ඇති වන්නේ කම්පාවක් නොවේද. ඒ වගේම දිනපතා ප්‍රමාද වී එන දුම්රිය නිසා සිය වැටුප් කොළය අතට ගත්විට ඉන් රුපියල් දාහක් දෙදාහක් ලේට් කැපී තිබෙනු දුටු විට ඔවුන්ට ඇති‍ වෙන කම්පාව කොයිතරම්ද? පාන්දරින් අවදි වී දරුවන් නිදි අතරේ නිවසින් පිටවන වැඩි පිරිසක් වු රාජ්‍ය හෝ පෞද්ගලික සේවකයන් නැවතත් නිවසට යන්නේ දරුවන් නින්දට ගිය පසුය. නැවතත් කාබී පැය දෙක තුනක් නින්දට ගොස් යළිත් පෙර ආකාරයෙන්ම නිවසින් පිටවන මේ පිරිස වැඩි වේලාවක් ගත කරන්නේ මහමඟ බව අපට රහසක්‍ නොවේ. එවන් වු රටට සේවයක් කරන මේ පිරිසට අඩුම වශයෙන් දුම්රිය හෝ පොදු බස්රථ සේවාවලින්වත් යහපතක් සිදු වේනම් දුකක් නොමැතිව ගමන් කිරීමට හැකි වේ නම් ඒ පහසුව ලබාදිය හැකි වේ නම් බලධරයනි, ඔබෙන් සිදු විය යුතු තවත් සේවාවක් අවශ්‍ය නොමැත. මේ ගැටලු විසඳීම ඔබට පැවරුණු කාර්යයකි . එය ඔබේ වගකීම ද වෙයි. එහෙත් එය ඔබ අතින් අතපසු වී ඇති බව සහ වගකීම පැහැර හැරීම සිදු වී ඇති බැවින් ඒ පිළිබඳව දැඩි අවධානය යොමු කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බව යළි යළිත් පෙන්වා දිය හැකිය.

නව අදහස දක්වන්න