‍රොකට් හදන අපේ ළමයි! | දිනමිණ

‍රොකට් හදන අපේ ළමයි!

කිසියම් රාජ්‍යයක් අනාගත දියුණුවක් අපේක්ෂා කරන්නේ නම්; පළමුව කල්පනා කළ යුත්තේ ඒ රටේ දරුවන් ගැන ය. දරුවන්ට ආදරය රැකවරණය සපයන අතර ම ඔවුන්ගේ කුසලතා සොයා බලා ඒවා වර්ධනය කර ගැනීමට අවස්ථාව හා සහයෝගය ලබාදිය යුතුය. ලෝකයට හා රටට අවශ්‍ය නව නිෂ්පාදන බිහිවන්නේ ඒ ආකාරයෙන් ය. එකිනෙක දරුවන්ගේ සහජ කුසලතා වෙනස් ය. එක දරුවකු කලාවට දක්ෂ වන අතර තව දරුවකු විද්‍යාවට දක්ෂ වන්නට පුළුවන. තවත් දරුවකු නව නිෂ්පාදන කෙරෙහි උනන්දුවක් දක්වන්නට පුළුවන. මේ සෑම දරුවකුට ම අවශ්‍ය පිළිගැනීම හා ආධාරය ලබා දෙන්නේ නම්; රට ලස්සන වනු ඇත. ලෝකය ලස්සන වනු ඇත.

නව නිෂ්පාදන කෙරෙහි අපේ ‍රටේ බලධාරීන් දක්වන උනන්දුව සිහිපත් කිරීම සඳහා ආසන්න අත්දැකීම් කිහිපයක් පෙන්වා දිය හැකි ය. එක්තරා පාසල් ශිෂ්‍යයෙක් ස්වයංක්‍රීය රේල් ගේට්ටුවක් නිර්මාණය කළේය. එය දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළු තවත් ආයතන කිහිපයකට පෙන්වා දුන්නේය. මේ ආදර්ශ ගේට්ටුවට වෙච්ච දෙයක් අදටත් සොයාගත නොහැකිය. තවත් තරුණයෙක් කසළ ප්‍රශ්නයට විසැඳුමක් ලෙස අඩු වියදමකින් යන්ත්‍රයක් නිෂ්පාදනය කළේය. එයට ද වෙච්ච දෙයක් නැත. මෙබඳු නව නිර්මාණ කළ බොහෝ දෙනෙක් අද දුර්මුඛව සිටිති. ඒ එම නිර්මාණවලින් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ය.

තත්ත්වය මෙසේ තිබියදී ගම්පහ බණ්ඩාරනායක විදුහලේ සියවස් අනුස්මරණ උත්සවයට ජනාධිපති ‍ෛ‍මත්‍රීපාල සිරිසේන මහතා සහභාගි විය. එහිදී ජනාධිපතිවරයාට දැකගන්නට ලැබුණේ එහි උසස් පෙළ සිසුවකු රොකට්ටුවක් නිෂ්පාදනය කර ඇති බව ය. ජනාධිපතිවරයා එම සිසුවා කැඳවා ඔහුට අවශ්‍ය මොනවාදැ’යි විමසා සිටියේය. රොකට්ටුව අහසට විදීම සඳහා අවශ්‍ය ඉන්ධන හා තවත් රසායන වෙනුවෙන් රුපියල් ලක්ෂ නමයක පමණ මුදලක් අවශ්‍ය බව සිසුවා කියා සිටියේය. ජනාධිපතිවරයාගේ පිළිතුර වූයේ මම ඔබට ලක්ෂ සියයක් වුණත් දෙන්නම් ඉදිරි වැඩකටයුතු සංවිධාන කරන්න යන්නය.

මේ රොකට්ටුව අත්හදා බැලීමකි. ශ්‍රී ලංකාවේදී මෙවැන්නක් සිදුවන්නේ පළමුවන වතාවටය. රොකට්ටුව අඩි විස්සක් පමණ උස ය. කිලෝග්‍රෑම් විසිපහක් බරය. අත්හදා බැලීමේ මට්ටමේ පවතින මේ රොකට්ටුවට කිලෝමීටර් විස්සක් දුරට පියාසර කළ හැකි බවට සිසුවා සහතික වෙයි. මෙහි පියාසර දුර හෝ වියදම හෝ ප්‍රශ්නයක් නොවේ. කළ යුත්තේ මේ අත්හදා බැලීම සාර්ථක කර ගැනීමය. ඊට ජනාධිපතිවරයාගේ සහයෝගය ලැබීම අගය කළ යුත්තකි. මීට පෙර රටේ බලධාරීන්ගේ අවධානය ඒ කෙරෙහි යොමු නොවීම කනගාටුවට කාරණයෙකි.

ඉහත සඳහන් රොකට්ටුව සිය මංගල ගමන ආරම්භ කරන අවස්ථාවට ජනාධිපතිවරයා ද සහභාගි වන බවට පොරොන්දුවක් ලබා දී තිබේ. ගම්පහ බණ්ඩාරනායක විදුහලේ උසස් පෙළ පන්තියක සිටින මේ සිසුවාගේ නම එල්. එච්. ගිහාන් හෙට්ටිආරච්චි ය. ඔහු කියන අන්දමට රොකට්ටුව අහසට විදීම සඳහා අවසර ගෙන ඇත්තේ ඉතා අපහසුවෙන්ය. නව නිෂ්පාදන අගය කරන සමාජයක් අපට නැත. නව නිෂ්පාදන හෑල්ලුවට ලක්කරන හා ඒවා ප්‍රතික්ෂේප කරන සමාජයක් නම් අපට ඇත. බණ්ඩාරනායක විදුහලේ සිසුවා ද තම නව නිෂ්පාදනය උදෙසා සැලැකිය යුතු දුෂ්කරතාවලට මුහුණ දී ඇති බව ඔහුගේ කතාවෙන් පැහැදිලි වේ.

ලෝකයේ දියුණු රටවල් කරන්නේ පර්යේෂණ හා නව අත්හදා බැලීම් සඳහා වෙන ම ආයතන පිහිටුවා ඊට තරුණ කණ්ඩායම් බඳවාගෙන ඔවුනට ගෙවීම් ලබා දී නව නිෂ්පාදනවලට අවකාශය සැලැසීමය. ශ්‍රී ලංකාව වැනි රටවල එබඳු ආයතන නැති අතර ස්ව උත්සාහයෙන් යමක් කරන අය ද පසුබෑමට ලක්කරන දේවල් සිදු වෙයි. පිටරටින් ගෙන්වන ඕනෑම දෙයක් මහ ඉහළින් පිළිගනු ලබන අපේ බලධාරිහු ඒවා මිලට ගැනීම සඳහා ඕනෑ මුදලක් වැය කරති. දේශීය නිෂ්පාදනයක් නම්; එය කුණු මුල්ලට තල්ලු කිරීම අපේ බොහෝ අයගේ සිරිත හා ක්‍රමය වී තිබේ. තරුණ පරම්පරාව නව තාක්ෂණය උගෙන ඒ ඔස්සේ නව නිෂ්පාදන කිරීමට පෙළැඹී ඇතත්; ඒවා පිළිගැනීමට හෝ ඒවා අගය කිරීමට හෝ අපේ ආයතන ඉදිරිපත් වන්නේ නැත. එය අපගේ ඉදිරි ගමනට විශාල බාධාවකි.

ජනාධිපතිවරයා තවත් උත්සව සභාවක දී පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව දැන් සරුංගල් පවා පිටරටින් ආනයනය කිරීමට පටන්ගෙන ඇති බව ය. රුපියලේ අවප්‍රමාණයට බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ ආනයන වියදම් ඉහළ යෑමය. එහෙත් ආනයන වියදම් අඩු කිරීමට තව ම ශක්තිමත් වැඩපිළිවෙළක් නැත. සරුංගල් පවා පිටරටින් ගෙන්වන විට පෙනී යන්නේ කපාහැරිය හැකි ආනයන ඕනෑ තරම් ඇති බවය. පිටරටින් ගෙන්වන තාක්ෂණික මෙවලම් හා වෙනත් කාර්මික නිෂ්පාදන මෙරට නිෂ්පාදනය කළ නොහැකි ද යන්න ගැන සොයා බැලීමක් හෝ දැනට සිදුවන්නේ නැත. මෙයින් පෙනී යන්නේ ජාතියක් වශයෙන් අප පිහිටා ඇති පසුගාමී තත්ත්වය යි.

ගම්පහ බණ්ඩාරනායක විදුහලේ රොකට් හදන ශිෂ්‍යයා මෙන්ම දක්ෂ තවත් සිසුවෝ ඕනෑ තරම් සිටිති. ඔවුන්ගේ දක්ෂතා විවිධ ය. දුම්රියක් අතරමඟ නැවතුණු විට එහි යාන්ත්‍රික දෝෂය නිවැරැදි කළ හැකි මගීහු අපේ රටේ සිටිති. එබඳු සිද්ධීන්වලින් පෙනී යන්නේ අපේ රට දුප්පත් නැති බව ය. අපේ මානව සම්පත බෙහෙවින් අගය කළ යුතු වටිනා තැනක පවතින බව ය. ඇතිකළ යුත්තේ මේ මානව සම්පතින් නිසි ප්‍රයෝජන ලබාගත හැකි ක්‍රමවේද සකස් කිරීමය. ජනාධිපතිවරයා ඉදිරිපත් නොවන්නට ගම්පහ සිසුවාගේ රොකට් අත්හදා බැලීම නිකම් ම සිහිනයක් විය හැකිව තිබිණි.

මෙබඳු දක්ෂතා ඇති දරුවන් දුටු සැණෙන් අමෙරිකාව වැනි රටවල් ඔවුන් මිලට ගන්නට පුළුවන. අපේ රටේ බොහොමයක් උගත්තු පිටරටවල සේවය කරති. බොහොමයක් බුද්ධිමත්හු පිටරටට විකිණෙති. එහෙත් ඒ ඔවුන්ගේ වරදක් නිසා නොවේ.

 

නව අදහස දක්වන්න