මහානාමට හා පියදාසටත් ඇප | දිනමිණ

මහානාමට හා පියදාසටත් ඇප

අල්ලස් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී කුසුමදාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන දෙදෙනා ඇප මුදා හැරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (25) නියෝග කළේය.
 
කන්තලේ සීනි සමාගමේ යන්ත්‍රෝපකරණ විකිණීමේ ක්‍රියාදාමය ඉටු කර දීම සඳහා රුපියල් කෝටි 02 ක අල්ලසක් ඉල්ලා ඉන් කොටසක් ලබා ගැනිමේදි මොවුන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තැබුණි.
 
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියම කළේ එක් එක් සැකකරුවකු රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප 3ක් මත මුදා හැරෙන බවයි.
 
ඇපකරුවන් අතරින් එක් අයෙකු සැකකරුවන්ගේ ළඟම ඥාතීන් විය යුතු බවද මහෙස්ත්‍රාත් වරයා සිය නියෝගයේ සඳහන් කළේය.
 
අනතුරුව නඩුව දෙසැම්බර් මස 11 වනදා කැඳවීමට අධිකරණය නියම කළේය.
 
සැකකරු රිමාන්ඩ් භාරයට පත් කිරීම සඳහා අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර ඇති සහතිකය නීත්‍යානුකූල තත්ත්වයක් නොමැති බව දැඩි දෝෂදර්ශනයට ලක් කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අනතුරුවයි එම ඇප නියෝගය ප්‍රකාශයට පත් කරනු ලැබීය.
 
කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍රොපකරණ උපකරණ විකිණීමේ ක්‍රියාවලිය ඉටුකරදීම සඳහා රුපියල් මිලියන 540 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එය මිලියන 100 දක්වා අඩුකොට ඉන් මිලියන විස්සක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති වරයා අල්ලස් කොමිෂම මඟින් අත්අඩංගුවට ගෙන තිබුණි.

නව අදහස දක්වන්න