ජනපති ඝාතන කුමන්ත්‍රණ පරීක්ෂණය අකුරට කෙරෙනවා | දිනමිණ

ජනපති ඝාතන කුමන්ත්‍රණ පරීක්ෂණය අකුරට කෙරෙනවා

දුමින්ද සම්පත්
රාජ්‍ය පරිපාලන නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර

පසුගිය දිනවල කරළියට පැමිණි ජනපති ඝාතන කුමන්ත්‍රණය පිළිබඳ නීතිය හා සාමය අමාත්‍යවරයා වශයෙන් පවසන්නේ කුමක්ද? යන්නත්, ජනපතිවරයාගේ ආරක්ෂාව, කුමන්ත්‍රණය පිළිබඳ පරීක්ෂණයේ තත්ත්වය, රුපියලට සාපේක්ෂව ඩොලරය ඉහළ යාම, මොනරාගල දිස්ත්‍රික්කයේ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහ ගම්පෙරළිය වැඩසටහන්වල ක්‍රියාකාරීත්වය ආදියත් පැහැදිලි කරමින් රාජ්‍ය පරිපාලන, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මැතිහමුවට එක්වේ.

* ජනපතිතුමාගෙ ආරක්ෂාව තහවුරුයි
* අපේ විතරක් නෙවෙයි ඉන්දියාවෙත් රුපියල බාල්දුයි
* සිංගප්පූරු ගිවිසුමෙන් ආර්ථිකය වැටෙනවා කීම ළිං මැඩි කතාවක්
* රුපියලේ වැටීම මහින්ද කාලේ 45% දැන් 20%

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඝාතන සැලැස්මක් ගැන පසුගියදා හෙළිදරව් වුණා. මේ සම්බන්ධයෙන් රජය ගත් ක්‍රියාමාර්ග මොනවද?

රටේ පළමු පුරවැසියා ජනාධිපති තුමා. ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සියලු දෙනාට වගකීමක් තියෙනවා. ජනාධිපතිවරයාගෙ ආරක්ෂාව සම්බන්ධයෙන් ආරක්ෂක අංශ කටයුතු කරනවා. දූෂණ විරෝධී බළකාය තමයි එහෙම කුමන්ත්‍රණයක් ඇතිබවට ප්‍රකාශයක් කළේ. ඒ වගේම හඬපටයකුත් නිකුත්කළා. ඒ අනුව අපි දැන් අපක්ෂපාතීව පරීක්ෂණ කරනවා.

පොලීසියෙ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුට, චෝදනා එල්ල වෙන්නේ. මේ ගැන මොකද කියන්නෙ?

දූෂණ විරෝධී බළකායේ අධ්‍යක්ෂවරයකු යැයි හඳුන්වා ගත් නාමල් කුමාර කියන පුද්ගලයා තමයි මහනුවර ඩෙවෝන් ශාලාවේදී මේ කරුණු ප්‍රථමයෙන්ම අනාවරණය කළේ. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ නාලක සිල්වා මහතා මේ වන විට අනිවාර්ය නිවාඩු යවල තියෙන්නෙ. ඔහුට විදෙස් ගමන් පවා තහනම් කළා. රහස් පොලීසිය අපක්ෂපාතී පරීක්ෂණයක් ආරම්භ කළා. මේ පරීක්ෂණ ඉතා කඩිනමින් ස්වාධීනව කරනවා. පරීක්ෂණ ඉවර වූ වහාම එම වාර්තාව පොලිස් කොමිසමටත් දෙනවා.

පරික්ෂණ ඉතා මන්දගාමී බවට චෝදනා එල්ල වෙනවා නේද?

ඒව කතා විතරයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනය කරණ අතර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළා. ඒ වගේම මේ කරුණු අනාවරණය කළ මාධ්‍ය සාකච්ඡාවේ සංස්කරණය නොකළ හඬපට මෙන්ම මාධ්‍ය සාකච්ඡාව ආවරණය කළ මාධ්‍ය ආයතනවලින් හඬපට පිටපත් අරගන්න අධිකරණ නියෝග ගත්තා. අදාළ ජංගම දුරකතන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගත්තා.

මේ ආණ්ඩුව තියෙනකම් මේක හෙළි වෙන්නෙ නැහැ. හමස්පෙට්ටියට යනවා. පැමිණිල්ල හිරේ යනවා. විත්තිය ගෙදර යවනවා. පොලීසියෙ වරද හින්දයි එහෙම වෙන්නෙ කියල රෝහිත අබේගුණවර්ධන මහත්තය කියනවා.

නඩු අහන්නෙ නැතුව දඬුවම් කළේ පහුගිය ආණ්ඩුව කාලෙ. සුදු වෑන්වලින් ඉස්සුවෙ ඒ කාලෙ. ඒව දැන් අමතකයි. අපේ ආණ්ඩුව බොන්ඩ් කොමිසම දැම්මා. මන්ත්‍රීවරු ඇමැතිවරු,අගමැතිතුමා ඒවායේ සාක්කි දුන්නා. අපි ස්වාධීනව පරීක්ෂණ කරනවා. කළබල වෙලා මේව විසඳන්න බැහැ. මේ සිද්ධිය සම්බන්ධව හරි හැටි පරීක්ෂණ කෙරෙනවා.

දණ්ඩනීති සංග්‍රහයෙ 114 සහ 115 වගන්ති යටතේ මේ වරද රාජ්‍ය විරෝධී එකක්. එවැනි තත්ත්වයක් තුළ නියෝජ්‍ය පොලිස්පති අත්අඩංගුවට නොගැනීම ගැන චෝදනා එල්ලවෙනවා නේද?

මේ ප්‍රකාශය සැහැල්ලුවට ගන්නත්, මේ ප්‍රකාශය මතම තීන්දුගන්නත් බැහැ. රටේ පවතින නීතිරෙගුලාසි මත පරීක්ෂණ පවත්වනවා. දැනට තිබෙන තත්ත්වය තුළ උපරිම නීතිමය කටයුතු කරගෙන යනවා. ප්‍රකාශයක් මත පමණක් අත්අඩංගුවට ගැනීමක් වෙන්නෙ නැහැ.

මේ චෝදනා එක්ක පොලීසියත්, පාතාලයත් අතර සබඳතා හෙළිදරව් වෙන බවයි කියන්නෙ.

පොලීසියම මේ ගොඩට දාල කතා කරන එක වැරදියි. ඔය කතාව තියෙන්නෙ එක නිලධාරියෙක් ගැන. ඒ ගැනත් පරීක්ෂණ කරනවා.

ආණ්ඩුවෙ බදු ප්‍රතිපත්තිය නිසා ජනතාව දැඩි පීඩනයකට ලක්වෙලා නේද?

ජනතාව පීඩනයට පත්වෙලා නැහැ. මහින්ද රාජපක්ෂ පාලනයට වඩා අත්‍යවශ්‍ය භාණ්ඩ මිල තවමත් අඩුයි. ඔය කියන විදියට ඒ කාලෙ කොච්චර අඩුවට භාණ්ඩ දෙන්න තිබුණද. ඒ ආණ්ඩුව බදු ගැහුවෙ නැත්නම් ඒ කාලෙ මීටත් වඩා අඩුවට භාණ්ඩ දෙන්න තිබු‍නානෙ. එහෙම කළේ නැහැනෙ.

ඩොලරය රුපියල් 167ත් ඉක්මවලා. මේ තත්ත්වය රටේ ආර්ථිකයට කොහොම බලපායිද?

පහුගිය ආණ්ඩුවෙ 2004 ඉඳල 2014 වෙනකොට 45%කින් රුපියල අවප්‍රමාණය වුණා. 93ට තිබුණු ඩොලරය135ට වැඩි වුණා. මේක අපේ රටට විතරක් වෙච්ච දෙයක් නෙවෙයි ඩොලරය ශක්තිමත් වීම එක්ක බොහෝ රටවලට ඒකෙ බලපෑම තියෙනවා. ඉන්දියාවෙ රුපියල 12.5%කින් බාල්දුවෙලා. අනෙක් රටවල්වලත් එහෙමයි. පහුගිය අවුරුදු තුනටම අපේ රුපියලට සාපේක්ෂව ඩොලරය 135 ඉඳන් 167ට විතරයි වැඩිවෙලා තියෙන්නෙ. 20%ක් විතර තමයි රුපියල අවප්‍රමාණය වෙලා තියෙන්නෙ. එදා 45%කින් අවප්‍රමාණය වෙච්ච එක ගැන කවුරුත් කතා කරන්නෙ නැහැ.

විදේශ ණය ගෙවීමේදී රුපියල අවප්‍රමාණය වීම අපට ලොකු අවාසියක් බව කියනවා.

මේක හැමදාම වෙන දෙයක්. අපි දන්න කාලෙ ඩොලරය රුපියල්පනහට තිබුණා. ඒක තමයි අද රුපියල් 167කට වැඩිවෙලා තියෙන්නෙ. අපි රටේ නිෂ්පාදනය වැඩි කරන්න ඕන. පහුගිය ආණ්ඩුව කළේ නිෂ්පාදනය වැඩි කරන්න ඕන එකට රටේ ණය වැඩිකරපු එක. අපි දැන් නිෂ්පාදනය වැඩිකරණ වැඩපිළිවෙළ පටන් අරන් තියෙන්නෙ.

ඉන්ධන මිල සූත්‍රය හෙළිකරන්නෙ නැත්තෙ ඇයි?

ලෝක වෙළෙඳපොළේ තෙල් මිල වැඩිවෙන කොට වැඩිවෙනවා. අඩුවෙනකොට අපේ තෙල්මිලත් අඩුවෙනවා. ඕක තමයි සූත්‍රය. 2002 – 2004 අපේ ආණ්ඩුව කාලෙත් ඔය දේ ක්‍රියාත්මක වුණා.

ඔය කියන ඉන්ධන මිල සූත්‍රය තොරතුරු පනත යටතෙවත් ගන්න බැරිවුණ බවත් කියනවා?

ලෝක වෙළෙඳපොළේ තෙල්මිල අන්තර්ජාලයේ තියෙනවා. ඕන කෙනෙකුට ඒක බලාගන්න පුළුවන්.

සිංගප්පූරු ගිවිසුමෙන් මුළු ආර්ථිකයම සෝදාපාළුවට ලක්වෙන බව තමයි කියන්නෙ?

පිස්සු කතා තමයි ඕව. සිංගප්පූරු ගිවිසුමෙන් අපිට ගන්න ඕන ප්‍රයෝජනය ගන්න ඕන. ලෝකයෙන් හැංගිල අපිට ඉන්න බැහැ. ඔය කතා ළිං මැඩියන්ගෙ කතා. ලෝකය දිහා අපි බලන්න ඕන. ලෝකෙත් එක්ක ආර්ථික සබඳතා තියා ගත්තොත් විතරයි ලෝකෙත් එක්ක ගමන් කරන්න පුළුවන් වෙන්නෙ. පහුගිය ආණ්ඩුව ලෝකෙත් එක්ක ගමන් කළේ නැහැ. ගොඩක් ප්‍රශ්න අද ඇතිවෙලා තියෙන්නෙ ඒ හින්දයි. අපෙන් සිංගප්පූරුවට ගන්න දෙයක් නැහැ. අපියි සිංගප්පූරුවෙන් ගන්න ඕන.

ර‍ටේ ආරක්ෂාව ගැන විශ්වාසයක් නැති බවට පහුගිය ක‍ාලෙ විවිධ මත පළවුණා. මේ ගැන මොකද කියන්නෙ?

කිසිම ප්‍රශ්නයක් නැහැ. මම ඉතාම වගකීමෙන් කියන්නෙ. රටේ මිනීමැරුම්, අපරාධ අඩුවෙලා තියෙන්නෙ. ස්ත්‍රීදූෂණ, මංකොල්ලකෑම් අඩුවෙලා. අද බයක් නැතුව ඕන කෙනෙකුට ඕන දෙයක් කතා කරන්න පුළුවන්. මාධ්‍ය බය නැතුව මේ පිනුම් ගහන්නෙ ර‍ටේ තියෙන ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදය හින්ද, ආරක්ෂාව නිසා. ඒ මාධ්‍ය තමයි අපිට මේ ගහන්නෙ. අද සුදුවෑන්වලින් ගෙනියන්නෙත් නැහැ. මිනිස්සු මරන්නෙත් නැහැ. අද ජිවත්වෙන්න නිදහස තියෙනවා. ඒ නිදහසින් අයුතු ප්‍රයෝජන ගන්න එපා.

පොලිස්පතිවරයයි, පොලිස් කොමිසමයි අතර ගැටුමක් ඇතිවෙලා. එහෙම වුණේ ඇයි?

පොලිස් කොමිසමයි - පොලිස්පතිවරයයි අතරයම් යම් ප්‍රශ්න පැන නැගිල තිබුණා. ඒක මම පිළිගන්නවා. දැන් ඒ ප්‍රශ්නවලට විසඳුම් දීල තියෙන්නෙ. ඊයෙත් පොලිස්පතිවරයයි, පොලිස් කොමිසමයි හමුවුණා. ඒව එච්චර ලොකු ප්‍රශ්නනෙවෙයි. විසඳන්න පුළුවන් ප්‍රශ්න.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමත්, වැරදිකරුවන්ට හරිහැටි නඩු පැවරීමත්පොලීසිය කරන්නෙ නැහැ කියල ජනාධිපතිවරය දොස් පැවරීමක් කළා. ඒ ගැන මොකද කියන්නෙ?

එතුමගෙ ප්‍රකාශය ගැන මම මොනවත් කියන්නෙ නැහැ. හොරකම් කරපු අයට පොලීසිය දැන් නඩු පවරගෙන යනවා.

රටට හරිනායකයෙක් නැහැ. නායකයින් කියාගන්න අය එකිනෙකාට බැණ අඬගසා ගැනීම් කරමින් ඉන්නව කියල මහින්ද මහත්තය කියනවා.

ජනාධිපතියි අගමැතියි එකතුවෙලා, ප්‍රධාන පක්ෂ දෙක එකතුව තමයි දැන් රට පාලනය කරන්නෙ. එදා පවුලක් රටපාලනය කළේ. අද රට පාලනය කරන්නෙ ප්‍රජාතන්ත්‍රවාදීව. ඇමැතිවරුන්ටවත් මන්ත්‍රීවරුන්ටවත් එදා කතාකරන්නවත් නිදහස තිබුණෙ නැහැ. එදා නිදහසයි, අයිතියයි, ඒකාධිපතීත්වයයි තිබුණෙ රාජපක්ෂලට විතරයි. ඒව නැති වුණ හින්ද කියන විහිළු කතා තමයි ඕව.

එන්ටප්‍රයිස් ශ්‍රීලංකා මුල්ම වැඩසටහන මොනරාගල පවත්වන්නෙ. මේ හරහා මොනරාගල ජනතාවට ලැබුණෙ මොනවද?

මේ වැඩසටහනෙ අරමුණ පවුල ඉලක්ක කරගත්ත, ආර්ථිකය ශක්තිමත්කිරීම. ගොවියන්ට, කර්මාන්න කරුවන්ට, තරුණයන්ට, කාන්තාවන්ට අඩු පොලියට අපි ණය දෙනවා. දැනටමත් විශාල ණය ප්‍රමාණයක් ලබාදුන්නා. මේ ණය මුදලෙ යම් පොලී ප්‍රමාණයක් ආණ්ඩුවෙන් ගෙවනවා. ආණ්ඩුවෙන් ණය ගෙවන ක්‍රමයක් ඉතිහාසයෙ කවරදාකවත් තිබුණෙ නැහැ.

මේ වැඩසටහන හරහා ජනතාවට ලැබුණු පහසුකම් මොනවද?

නිවාසවැඩපිළිවෙළක් ලැබුණා. නිවාස ණය ව්‍යාපෘතිය වගේම ගම්මාන 70ක් හදනවා. ඊට අමතරව සනීපාරක්ෂක පහසුකම් යටතේ වැසිකිළි, කැසිකිළි ලබාදෙනවා. මිනිස්සුන්ගෙ ලොකු උනන්දුවක් මේ වැඩසටහනට තිබුණා.

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා කියන්නෙ දැයට කිරුලෙම තව අදියරක් විතරයි. වෙනසක් නැහැ කියලත් කියනවා.

මේක ප්‍රදර්ශනයකට එහා ගිය සේවාවක්. දැයට කිරුළ කිව්වෙ ප්‍රදර්ශනයකට විතරයි. ඒකෙන් ජනතාවට ලැබිච්ච ප්‍රතිලාභයක් නැහැ. සල්ලි කාර කොන්ත්‍රාත්කාරයො ටිකක් හම්බකළා. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා කියන්නෙ ජනතාව ආර්ථිකව නැගිට්ටවන වැඩපිළිවෙළක්. මේකෙන් ගමේ ආර්ථිකය දියුණුවෙනවා.

ගම්පෙරළිය වැඩසටහනත් මොනරාගල ක්‍රියාත්මකයි. එහි තත්ත්වය කොහොමද?

ගම්පෙරළිය යටතෙ අපේ වැව්ටික හදන්න පටන්ගත්තා. ඊට අමතරව පාරවල්ටික හදනවා. දැනටමත් පාරවල් හයසිය ගාණක් කාපට් කරන්න ආරම්භ කළා. පාසල් හදාගෙන යනවා. විශේෂයෙන් අඩු ආදායම් සහිත පාසල්වලට පහසුකම් දෙනවා.

ඡායා - වාසිත පටබැඳිගේ

නව අදහස දක්වන්න