පමා වී සපැමිණි විනෝදයේ හැඩය | දිනමිණ

පමා වී සපැමිණි විනෝදයේ හැඩය

කාංචනා අමිලානි

ට්‍රේස් එක්ස්පර්ට් සිටි සංකීර්ණයේ එක් අන්තයක සිමෙන්තියෙන් සැදූ පොකුණකි. ඒ මැද්දෑවේ හෙවණනකි. ස්පයිඩර් මෑන් අයිස් ටී එකක් බොන්නට පොකුණ අසල සැප සෝෆාවේ ඈදි ගත්තා පමණි. හදිසියේම ඔහුගේ දුරකතනය නාද වුණි. හෙතෙම මුහුණු ආවරණය ලාගෙනම දුරකතනය කනේ තබාගෙන එහා කොනේ සිටින්නාට යමක් පැහැදිලි කරන්නට පටන් ගති. ඊට හූවක දුරින් වුල්වරීන් ස්වකීය ලෝහමය නියපොතුවලින් සුනඛයකුගේ හිස පිරිමදිනු පෙනෙයි. 'ඇක්ෂන් එකක් දෙනවද?' කියා ඡායාරූප ශිල්පියකු ඇසූ සැණින් යළිත් වුල්වරීන් සිය චරිතයට අවතීර්ණ වෙයි. ඩෙඩ්පූල් සහ ස්පයිඩර් මෑන් උනුන් වැළඳගෙන සේයාරුවකට පෙනී සිටින්නේ තවත් අන්තයකය. මෙඩූසා සිමෙන්ති බංකුවක වාඩි වී සිටින්නේ හිස මත නලියන සර්පයන්ගේ සැකැස්ම දර්පනයකින් නරඹමිනි. කොළ පැහැති ටී ෂර්ටයකින් සැරැසී එක් අතකට ගෝවා ගෙඩිය බැගින් ගෙන ගිරිය පුප්පාගෙන කෑ ගසන්නේ 'කැබේජ් මර්චන්ට්' ය. ඊට අඩියක් දුරින් පිත්තල කොතලයක් අතින් ගෙන අනෙක් අතේ තේ කෝප්පයක් ගෙන ඉන්නේ 'අන්කල් අයිරෝ' ය. හේ නිතර සිනාමුසු මුහුණිනි.

මේ හතර වැනි වතාවට පවත්වන 'ලංකා කොමික් කොන්' හි සමීප රූපයකි. එහි දුර රූපය ද මීට නොදෙවෙනි ය. එහි ඇත්තේ පුදුමය එලවන මුහුණින් සිමෙන්ති බැමි මත වාඩි වී සිටින මැදිවියේ පිරිමි සහ ගැහැනුන්ය. බොහෝ අය තමන්ගේ ළමුන් කැ‍ටුව පැමිණ ඔවුන්ට රිසි සේ හැසිරෙන්නට ඉඩ සලසා වෙහෙස නිවාගන්නා සෙයකි. සෙස්ස 'ලංකා කොමික් කොන්' නැ‍රැඹීමටම පැමිණි අයයි. අධික දාහයෙන් පීඩා විඳින හෙයින් අයිස් ටී ද, පැණි බීම ද, වතුර ද අතින් අත මාරු වෙයි. කොමික් කතා ඇසුරින් ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් පැවැත්වෙයි. ට්‍රේස් එක්ස්පර්ට් සිටිය ඇතුළත පිහිටි කුටියක රවුල්කරුවකුගේ නිරුවත් උඩුකය මත පින්තාරුවක නියැලෙන තරුණයකු සහ තරුණියකි. ඊට යාබද කුටියක 'පුවරු ක්‍රීඩා'වේ නිරත වන දෙදෙනෙකි. ඩූඩ්ල් සහ කොමික් අඳින ශිල්පීන්ගේ චිත්‍ර මේස උඩ බාවා ඇත්තේ සෙසු කුටිවලය. මේවා මිලදී ගැනීමටද හැකිය.

මේ සමීප රූප සහ දුර රූප 'ලංකා කොමික් කොන් 2018' ගැනය. ශ්‍රී ලංකා ගීක් ක්ලබ් වෙතට මෙහි නිර්මාණ අයිතිය පළමුව පැවති අතර දැන් එය පාලනය වන්නේ ලාබ නොලබන එකමුතුවක් ලෙස ගොඩනැඟුණු ලංකා කොමික් කොන් ට්‍රස්ට් විසිනි. මොවුන්ගේ එකමුතුවේ මූලික අරමුණ ලංකා කොමික් කොන් වසරක් පාසා සංවිධානය කරමින් පවත්වාගෙන යාම සහ දෙස්-විදෙස් විද්‍යා ප්‍රබන්ධ, ෆැන්ටසි රචකයන් දිරිමත් කිරීමයි.

මෙවර 'ලංකා කොමි කොන්' සඳහා කලින් වසරවලට වඩා නවාංග එකතු වී තිබුණි. ඩී.සී සහ මාවල් කොමික් සඟරා වට්ටම් සහිතව මිලදී ගැනීමට හැකි වෙළෙඳ කුටි ද දැකගත හැකි විය.

හදිසියේ කඩුවක් මානාගෙන මගේ ගමන අවහිර කළේ Chaos කණ්ඩායමේ නායකයා ය. දැන් ඒ සටන්කාමියා, චන්ද්‍රන් ද සොයිසා ජයසූරිය කතාවේ ය.

'මේ, ද ක්‍රොනිකල්ස් ඔෆ් ඇම්බර් නවකතාවේ එක චරිතයක්. සාමාන්‍යයෙන් මේකට කියන්නේ සජීවී භූමි නිරූපණ කියලා. මෙතනදී නිරූපනය කරන්නේ අපි හදාගත්ත කතාවක්. සතුරො එක්ක ලොකු ෆයිට් එකක අපි ඉන්නේ.'

විනෝද් සිරිවර්ධන ඊට නොදැවැනි සන්නාහවලින් සැරසී නිල් පැහැති කඩුවක් අමෝරාගෙන ය. ඇම්බර් කණ්ඩායමේ නායකයා ඔහුය. ඔහු සේවය කරන්නේ කෝවින් කුමරියට ය.

බර්බා ෆෙට් කොළ පැහැති හෙල්මටයක් පැලඳ රොබෝවකු මෙන් මා එන මඟ අහුරා හිටගෙන ය. ඔහු නිරූපණය කරන්නේ ස්ටාර් වෝර්ස් හි කළු චරිතයකි.

'මම මහිම දිනිජ. මේ කොමික් කොන් ආපු දෙවැනි පාර. ගිය අවුරුද්දෙ බ්ලැක් පැන්තර් අවුරුදු වර්ෂන් එකක් කළා. මේ අවුරුද්දේ ස්ටාර් වෝර්ස් වෙනුවෙන් කොස් ප්ලේ කරන්න හිතුවා.' බර්බා ෆෙට් අතහැර අනෙක් පසට හැරුණ සැණින් නොයෙක් ඉරියව් දක්වමින් සිටි වුල්වරින් දු‍ටුවෙමි. ඔහු මඟගැර යා නොහැකි තරම් වූ හෙයින් නතර වීමි. සුප්‍රකට එක්ස් මෑන් චිත්‍රපට මාලාවේ වුල්වරීන් යනු රසික ආකර්ශනය දැඩිව ලත් චරිතයකි. ධාරණ සේමසිංහ වටා ද ඡායාරූප ශිල්පීන් රාශියකි. ජංගම දුරකතන අතැති සෙල්‍ෆි කැමැත්තෝ ද ඒ අතර බොහෝ ය. දාහය මැද 'ඇක්ෂන් එකක් දෙන්න' කියන සෑම දෙනාටම ධාරණ, වුල්වරීන් චරිත ලක්ෂණ අනුකරණය කරමින් ආයුධයක් මෙන් විහිදිය හැකි උල් නියපොතු විහිදුවා පෙන්වයි.

'මේක මම කොමික් කොන් ආපු පළවෙනි පාර. කොස් ප්ලේ කියන්නේ වෙනම කල්ට් එකක්. හැබැයි එළියේ ඉදන් බලන් ඉන්න අයට මේක පිස්සුවක් වගේ පේනවා ඇති. ඒත් කොස් ප්ලේ කරන්න ආස, චිත්‍රපටිවලට ආස අයට මේක වෙනම විනෝදයක්. ආසාව නිසා තමයි කොස් ප්ලේ කරන්නේ. ඒ වගේම මේක රස ඇබ්බැහියක්. කොස් ප්ලේ කියන්නේ එක්තරා විදිහක ෆැන්ටසියක්. මම ඒ ෆැන්ටසියට ආසයි. කොහොමත් ජීවිතේට ෆැන්ටසි එකක් තියෙන්න ඕනා. මොකද අපි හැමෝම රියලිටි එකෙන් හොඳටම හෙම්බත් වෙලා ඉන්න අය. ඒත් අන්තිමට බැලුවම ෆැන්ටසිය කියන්නෙත් එක්තරා අන්දමක රියලිටි එකක්.'

ඊළඟට හෙවණට වී දෙ අතට ගත් ආයුධ දෙකක් මානාගෙන සිටි 'වයිට් කැනරි' හමුවීමි. ඕ රෞද්‍ර මුහුණක් මවා ගන්නට තැත් කළ ද එහි වූයේ සාමකාමී බවකි.

'මම ශාමින්ද්‍රි ඩි. සේරා. වයිට් කැනරි ඩී.සී කොමික්ස්වල ඉන්න චරිතයක්. ටිකක් දරුණු සටන්කාරියක්. හැබැයි වයිට් කැනරිගෙ චරිතෙට හැම තිස්සෙම අඩු තක්සේරුවක් ලැබෙන්නේ. ඒ නිසාමයි මේ පාර කොස් ප්ලේ කරන්න මේ චරිතය ‍තෝර ගත්තේ. මම 2015 ඉදන් කොස් ප්ලේ කරනවා.'

ස්ටාර් වෝර්ස් හි තවත් චරිතයක් වූ 'රේ' හෙල්ලක් අමෝරාගෙන ගස් හෙවණේ ය. 'මම දක්ෂිණී එගොඩවත්ත. මගේ කොස් ප්ලේ එක 'රේ' කියන ස්ටාර් වෝර්ස් කැ‍රැක්ටර් එක. මගේ අතේ තියෙන හෙල්ල වගේම ඇඳගෙන ඉන්න ඇඳුම් ඔක්කොමත් මමයි හදාගත්තේ. පොඩි කාලෙ ඉදන්ම ස්ටාර් වෝර්ස් ‍ෆිල්ම් සීරීස් එකට මම ආසයි. කයිලෝ රෙන් ගෙ චරිතෙට ඇඳලා ඉන්නෙ මගේ හස්බන්ඩ්. මේ පාර අපි දෙන්නම එකට කොස් ප්ලේ කරන්න ඕනා කියලා හිතුණා.'

ප්‍රවීන් ගලප්පත්ති 'කයිලෝ රෙන්' ට ඇඳ, රතු පැහැති දැවැන්ත කඩුවක් ඔසවාගෙන සිටියේ වෙස් මුහුණක්ද සමඟිනි.

ඇවෙටර්: ද ලාස්ට් එයාර් බෙන්ඩර් කා‍ටුනයේ 'කැබේජ් මර්චන්ට්' අතකට ගෝවා ගෙඩිය බැගින් ගෙන අනුවේදනීය රඟපෑමකය. 'මම නම සචින් පෙරේරා. මේ කෝස් ප්ලේ කරන හතර වෙනි පාර. කැබේජ් මර්චන්ට් කියන්නේ මගේ ආසම කැ‍රැක්ටර් එකක්. කොහොමත් කොස් ප්ලේවලට මම ගොඩක් කැමතියි. අද ප්‍රතිචාරත් සෑහෙන්න හොඳයි.'

ඔහුගේ අනෙක් පසින් අන්කල් අයිරෝ පිත්තල කොතලයක් සහ තේ කෝප්පයක් දෙ අතට ගෙන මිත්‍රශීලී සිනාවකිනි. හේ ජීවන් සුකුමාරන් ය. වැඩි කතා නැති හෙයින් එතැනින් ලිස්සා උෂේන්‍යා මැනුවලිගේ වෙතට එළැඹීමි. පල්ප් මැගසින කතා මාලාවක ප්‍රකට චරිතයක් වූ 'බ්ලැක් බැට්' අනුව ගොඩනැඟුණු ඩී.සී කොමික් චරිතයකි ඈ රඟන්නේ. 'මම මේ කැ‍රැක්ටර් එකට ගොඩක් ආසයි. හැබැයි මේ කොමික් කොන් ආපු පළවෙනි වතාව. නිකමට හිතුණා මේකත් කරලා බලන්න ඕනා කියලා.'

බැට් වුමන් ලෙස සැරසුණු නිමාෂා පෙරේරා බැට් මෑන් රසිකාවියකි. එමෙන්ම උග්‍ර ඩී.සී කොමික් ලෝලියකි. මේ ඇගේ තෙවැනි වතාවයි. නයිට්වින්ග් ලෙස සැරසුණු නිමේෂ් පෙරේරා ද උග්‍ර ඩී.සී. කොමික් ලෝලියෙකි. මේ ඔහු කොස් ප්ලේ කරන පළමු වතාවයි. මෙඩූසාට ඇඳි ගයා සත්සරණී කොස් ප්ලේ කරන්නේ දෙවැනි වතාවටය. පළමු වතාවේ ඇගේ තේරීමද ඩී.සී කොමික් චරිතයකි. 'ප්‍රතිචාර හොඳයි' ඈ තම චරිතයේ රෞද්‍ර බව නොතකමින් සිනාසෙයි.

ලංකා කොමික් කොන් හි වඩාත් නිර්මාණශීලී චරිතයක් නිරූපනය කළ 'ඔන්ලයින් ක්‍රීප්' උන්නේ කොට කලිසමකින් සහ අත් කොට කමිසයකින් සැරසීගෙන ඉංග්‍රීසි වරද්දා ලියූ 'හායි ඩියර්' පුවරුවක් ද සමඟිනි. හෙතෙම ඉන්දික ද. සිල්වා ය.

'කාන්තාවන්ට ඔන්ලයින් කරදර කරන්න එන කෙනෙක්ටයි මම ඇඳලා ඉන්නේ. මේක ඇත්තට ‍ෆික්ෂනල් කැ‍රැක්ටර් එකක්.' එසේ කියමින් ඔහු පුවරුවේ ඇති හායි ඩියර්, ලස්සනයි ඩියර් ආදී වාක්‍ය ඛණ්ඩ ද අන්තිමට ඇති සෙන්ඩ් බූබ් පික්ස් යන්නද පෙන්වන්නේ සිනාමුසු මුහුණිනි. 'මෙහෙමනේ කරදරකාර මිනිස්සු ඔන්ලයින් ඇවිල්ලා හැසිරෙන්නේ'. වඩාත් ප්‍රායෝගික සහ සමාජීය ගැටලුවක්ව ඇති දෙයක් ඉතා සරලවත්, විනෝදශීලීවත් ඉදිරිපත් කරන්නට සිතීම වෙනුවෙන් ඔහුට ස්තූතියක් ලබා දිය යුතුමය.

සුවිසාල දුන්නක් අමෝරාගෙන ගසක් හෙවණේ සිටියේ තවත් ඩී.සී කොමික් චරිතයක් වූ නයිටින්ගේල් ය. අෆ්‍රා නිසාජා තමන්ගේ චරිතය ගැන කීවේ මෙවැන්නකි. 'කොමික්වලට මම ගොඩක් ආසයි. ඒ වගේම වීඩියෝ ගේම් සෙල්ලම් කරන්නත් කැමතියි. මේක කොමික් කොන් ආපු පළවෙනි වතාව.'

ස්පයිඩර් මෑන් තරම් කාර්යබහුල වෙනත් චරිතයක් නැති තරම් ය. නිපුන් සංදීප් මුහුණු ආවරණය නොගලවමින්ම කතාවේ ය. 'කොමික් කොන් ආපු පළවෙනි පාර. නිකමට වගේ හිතුණා මොකක් හරි කොමික් කැ‍රැක්ටර් එකක් කරලා බලන්න ඕනා කියලා. ප්‍රතිචාර නම් සෑහෙන්න හොඳයි.'

දාහය විසින් ඉබේම වායුසමනය කළ ඇතුළත කුටි වෙතට මාව තල්ලු කර දැමුණි. ගේබ්‍රියෙල් පිලිප්ස් 'ෆෑන් ආර්ට්' මාදිලියෙන් කොමික් චරිත අඳින්නියකි. සියුම් සහ තියුණු රේඛාවලින් සන්නද්ධ ඇගේ කොමික් කලාවේ ඇත්තේ බොහෝ දුරක් ගමන් කරන සැටියකි. 'මම දැනට ෆෑන් ආර්ට් අඳිමින් ඉන්නේ. ඒත් ළඟදි මගේම කොමික් එකක් පබ්ලිෂ් කරන්න හිතාගෙන අඳිමින් ඉන්නවා.

‍රැන්ඩි ක්‍රිස් පෙරේරා ඩූඩ්ල් සහ කොමික් මාදිලි ද්විත්වයේම නිපුණයෙකි. මේ අතරින් වඩාත්ම මගේ සිත පැහැර ගත්තේ යක්ෂ මුහුණක් සහිතව ඇඳි ට්‍රාන්ස්ෆෝමර්ස් මාදිලියේ අලුත් චරිතයටය. ඉන් නිරූපිත සිංහයා සහ ගරා යක් මුහුණ, රොබෝ මාදිලියේ ශරීර ස්වරූපය වඩාත් ආකර්ශණීය ය. මෑතකදී නිකුත් වූ 'වෙනම්' සිනමාපටය වෙනුවෙන් ඇඳි දැවැන්ත සිතුවමක්ද පසෙකිනි. සංජය සෝමසිරි ඇක්‍රලික් පාට භාවිත කරමින් කැන්වසවල ඇඳි සුප්‍රකට කොමික් චරිත රාශියක් බිත්තියක ය. විනූ රාමනායක ද ෆෑන් ආර්ට් ලෝලියෙකි. ඇගේ සිහිනය ද කිසියම් දවසක ඇගේම කොමික් කතාවක් ඇඳීමය. පසුගිය වසරේ 'ලයන් බෝර්න්' කොමික් නවකතාව එළි දැක්වූ සචී එදිරිවීර ද කොමික් රාශියක් පිරිවරාගෙන සිනාමුසු මුහුණිනි. ඔහුටම ආවේණික වෙස් මුහුණු ඇසුරින් නිර්මිත කොමික් මුහුණුවලට බොහෝ දෙනෙකුගේ ඇල්ම-බැල්ම වැටී තිබුණි.

එහිම අන්තයේ වූයේ 'ජොලීස් ටෝයි ෂොප්' ය. ඉන්දික සහ ජානක කඩියන් සේ එහා-මෙහා දුවනු පෙනෙයි. කතා කිරීමට කාලය මිඩංගු කිරීම එවන් මොහොතක නාස්තියකි. ඩී.සී සහ මාවල් කොමික්, ඇක්ෂන් ‍ෆිගර්ස් ආදියෙන් ඒ අන්තය වැසී ගොසිනි.

ලංකා කොමික් කොන් මේ වන විට වර්ධනීය තත්ත්වයකට පත්ව ඇති බව පුන පුනා කිව යුතු නැති තරම්ය. ඉතා සුළුවෙන් සහ කුඩාවට පටන් ගත් ලංකා කොමික් කොන් දැන් අතු පතර විහිදමින් විසාලව වැඩෙමින් පවතී. විනෝදාස්වාදය අහිමිවි සිටි සමාජයේ කුඩා හිස්තැන් පි‍රැවීමට පැමිණි මෙවන් විකල්ප වඩා දියුණු විය යුතුය.

ඡායාරූප කනිෂ්ක මදනායක
(චේ ස්ටුඩියෝ)

නව අදහස දක්වන්න