දළදා මැදුරට රාජා ඇතා පූජාකළ සීනි මුහම්මද් පනික්කර් | දිනමිණ

දළදා මැදුරට රාජා ඇතා පූජාකළ සීනි මුහම්මද් පනික්කර්

රාජා ඇතා

අලි අල්ලනවා කියන එක ජීවිතයත් මරණයත් අතර සටනක්. ඉන්දියාව බුරුමය වාගේ රටවල විවිධ ක්‍රම උපයෝගී කරගත්තත් ලංකාවෙ උතුරු නැගෙනහිර ප්‍රදේශවල මුස්ලිම් ප්‍රජාව යොදා ගත්තෙ රැලි තොණ්ඩු ක්‍රමය. කැලේ සැරිසරලා සොයාගත් ඇත් රංචු හොඳටම නිරීක්ෂණය කරලා අල්ලාගත යුතු සත්ත්වයා තෝරාගෙන අවස්ථාව ලැබෙන තුරු කල් යල් බලමින් පස්සෙන් යන්න ඕනෑ. එහෙම ගිහින් අවස්ථාව ලැබුණු වෙලාවෙ වහාම සතාගෙ පස්සෙ කකුලකට තොණ්ඩුව (මද්ද) දමලා ඒ තොණ්ඩුවෙ අනිත් කෙළවර ඒ සැණින්ම අනිත් පිරිසට විසි කරනවා

“අපේ පරම්පරාවේ අය කළ උතුම්ම මෙහෙවර දළදා මාලිගාවේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩමවන්නට ඇතෙක් පූජා කිරීම කියලයි මම හිතන්නේ”

‍මෙසේ පවසන්නේ ඒ‍‍. ඒ. එල්. හාරූන් මහතාය. හාරූන් මහතා යනු මුසල්මාන මහතකු බව නම ඇසූ පමණින් කවරකුට වුව වැටහේ. එතුමා මුස්ලිම්වරයකු සේම අම්පාර ජුම්මා මුස්ලිම් මහ පල්ලියේ භාරකාර මණ්ඩලයේ සභාපතිවරයාද වේ.

දළදා මාලිගාවේ කරඬුව වැඩමවා දැනට වසර කීපයකට පෙර මිය ගිය “රාජා” හස්තිරාජයා දළදා මාලිගාවට පූජා කර ඇත්තේ තම සීයා (මවගේ පියා) වූ සීනි මුහම්මද් පනික්කර්තුමා බව ඒ. ඒ. එල්. හාරූන් මහතා කියයි. ඒ මහතා පවසන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවෙන් 2004.04.10 වැනි දින නිකුත් කර ඇති රුපියල් දහස (1000) මුදල් නෝට්ටුවේ චිත්‍රයේ ඇත් රූපයක් සමඟ ඇත් ගොව්වකුගේ රූපයක්ද තිබේ. ඒ රූපය තම සීයා මර්හූම් (නැසීගිය - දිවංගත) සීනි මුහම්මද් පනික්කර්තුමාගේය.‍‍

ඒ. ඒ. එල්. හාරූන් මහතාගේ කතාව ඔහුගේම වචනවලින් මෙසේ සටහන් කළ හැකිය.‍

මගේ පිය පාර්ශ්වය වසර දෙසීයකටත් (200) වැඩි කාලයක් තිස්සේ අම්පාර දිස්ත්‍රික්කයේ වරිපතන්චේන, එරක්කම් (එරගම) ගම්මානයේ පදිංචි වී සිටි බවට සාධක තියෙනවා. ඔය කියන ප්‍රදේශය තියෙන්නේ අම්පාරේ සිට අක්කරපත්තුව මාර්ගයේ කිලෝමීටර් දහයක් දුරින්.‍ එවකට මඩකළපුවේ පිහිටි නැගෙනහිර පළාතේ ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයේ 1873 ජනවාරි 20 වැනිදා ලියාපදිංචි කර ඇති ඔප්පුවෙන් මගේ සීයා රුපියල් හැත්තෑපහකට ඉඩමක් මිලට ගත් බවට සඳහන ඒ සඳහා ඇති හොඳම සාක්ෂියක්.

මගේ පියා අහමද් ලෙබ්බේ. ඉපදිලා තියෙන්නේ එක්දහස් නමසිය දොළහෙදි (1912) වරිපතන්චේන වසමේ ගම්මුලාදෑනියා වශයෙන් රාජකාරි කර නමසිය අනූ එකේදී (1991) මිය ගියා. ඔහුත් මම වගේම මුස්ලිම් පල්ලියේ දායක සභාවේ සභාපති. මගේ මව පාතුඋම්මා. ඉපදිලා තියෙන්නේ එක්දහස් නමසිය විස්සේ (1920). මවගේ පියා තමයි සීනි මුහම්මද් පනික්කර්. පනික්කර් කියන එකේ තේරුම වල් අලි ඇතුන් අල්ලා හීලෑකර විකුණන්නා කියන එක. මගේ සීයාට ඒ කාලෙ ඉංගිරිසි ආණ්ඩුවෙන් අලි අල්ලන්න බලපත්‍රයක් ලැබී තියෙනවා. අම්පාරෙ කොණ්ඩවට්ටුවාන්, වාවින්න සහ ඉඟිනියාගල යන ප්‍රදේශවල මහ වනාන්තරවලින් තමයි අලි ඇතුන් අල්ලලා තියෙන්නේ.

සීයා එරගම (ඉරක්කාමම්) “මාලෛයර්” කියන පරම්පරාවෙන් පැවතෙන නාහෙට නාහන කෙනෙක්. එයාට “නඩුවන්” කියන නමක් මිතුරන් අතරේ පටබැඳිල තිබිලත් තියෙනවා. එයා තරුණ කාලෙ එකපාරටම ගමෙන් අතුරුදන්වෙලා කිසිම කෙනකු දන්නෙත් නෑ මොකද වුණේ කියලා. හැම තැනම හෙව්වත් හම්බවුණේ නැති නිසා එයා ගැන ආශාව අතහැරල ඉන්නකොට අවුරුදු පහකට විතර පස්සෙ හදිස්සියේ මෙන්න මනුස්සය ගමට ඇවිල්ලා. එයා කාටත් හොරා රස්සාවක් ‍ෙහායාගෙන කින්නියාවට ගිහින්. ඒ රටේ කණ්ඩායමක් එක්ක එක්කහුවෙලා මහ වනාන්තරවල අලි ඇතුන් අල්ලලා යැයි හාරූන් මහතා සුසුමක් හෙළා මා දෙස බලා සිට යළිත් කතාව පටන් ගත්තේය.

(අලි අල්ලනවා කියන එක ජීවිතයත් මරණයත් අතර සටනක්. ඉන්දියාව බුරුමය වාගේ රටවල විවිධ ක්‍රම උපයෝගී කරගත්තත් ලංකාවෙ උතුරු නැගෙනහිර ප්‍රදේශවල මුස්ලිම් ප්‍රජාව යොදා ගත්තෙ රැලි තොණ්ඩු ක්‍රමය. කැලේ සැරිසරලා සොයාගත් ඇත් රංචු හොඳටම නිරීක්ෂණය කර අල්ලාගත යුතු සත්ත්වයා තෝරාගෙන අවස්ථාව ලැබෙන තුරු කල් යල් බලමින් පස්සෙන් යන්න ඕනෑ. එහෙම ගිහින් අවස්ථාව ලැබුණු වෙලාවෙ වහාම සතාගෙ පස්සෙ කකුලකට තොණ්ඩුව (මද්ද) දමා ඒ තොණ්ඩුවෙ අනිත් කෙළවර ඒ සැනින්ම අනිත් පිරිසට විසි කරනවා.) ඒ පිරිස ඒ මොහොතේම ඒ තොණ්ඩු ලණුවේ කෙළවර ලොකු ගහක බඳිනවා. ඒ තොණ්ඩුවේ රැහැන අඩි විසිපහකට වැඩිය දිගයි. මුව හම් තීරු තීරු හීන් වෙන්න ඉරල එකට අඹරල ඒක හදාගෙන තිබුණෙ.

සතා අල්ලාගත්තට පස්සේ වහාම අනිත් රැල බියගන්වා පලවා හරින්න ඕන. අල්ලාගත් සතා බිය ගැන්වීමට උගේ වලිගෙන් අදින අතරේ අනිත් පිරිස එකවර කෑකෝ ගාමින් රතිඤ්ඤා තුවක්කු පත්තුකර රබන් බෙර ආදී විවිධ ශබ්ද කර අලි රැල පලවා හැරිය යුතුයි. ඊට පස්සෙ අලියා හීලෑකරගන්න ඕන. සෑහෙන කාලයක් ග‍තවෙන වැඩක්.

කතාව මෙහෙම සරලව කීවත් කරන එක ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. භයානකම කොටස තමයි මිනිස්සුන්ට අසුවුණු සගයා බේරාගැනීමට අනිත් අලි ඇතුන් ගන්නා උත්සාහය. උන්ගේ පහරදීම දින ගණනක් සති ගණනක් වුණත් කෙරෙන්න පුළුවන්. එතනදි ජීවිත ගණනාවක් වුණත් නැති වෙන්නත් පුළුවනි. ඔය අන්දමට අල්ලාගෙන හීලෑකරපු ඇතෙක් තමයි අපේ සීයා එක්දහස් නවසිය විසිපහේදී (1925) දළදා මාලිගාවට පූජා කර තියෙන්නේ. හාරූන් මහතා කීය.

අලි ඇල්ලීම සඳහා පිටත්වීමට පෙර අල්ලා දෙවියන් වැඳලා ආශිර්වාද පතනවා යැයිද කී අල්හාජ් ඒ. ඒ. එල්. හාරූන් මහතා පැවසුවේ තම සීයා කින්නියාවේදී අලි ඇතුන් ඇල්ලීමේදී ලද අත්දැකීම් ඒ සඳහා යොදාගත් බවයි.

සතුන්ගේ හැසිරීම් රටාව, පා සටහන්, කුංචනාදය, සුළ‍ඟේ දිසාව ආදී සියලුම දේ නිරීක්ෂණය කරමින් රැල පසුපස යා යුතු බව ද ඒ මහතා කියයි. මවගෙන් අසා උගත් මේ සියලු දේ තම පරම්පරාවට පමණක් ආවේනික පාරම්පරික ඥානය බව ද කී ඒ මහතා මෙසේද විස්තර කළේය.

අ‍ෙප් සීයාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක කෙරුණු අලි ඇල්ලීමේ (පනික්කර්) කණ්ඩායමට හොඳට ජවසම්පන්න අයයි හිටියේ. සීයාගේ සමකාලීනයන් හැ‍මෝම දැන් මිය ගොසින්. සීයා ගැන තියෙන විස්තර සටහන්වල ඇති නම් කීපයක් සඳහන් කළ යුතුයි. ඒ ඔවුනට ගෞරවයක් වශයෙන්. දළදා මාලිගාවට පූජා කිරීමට ඇතා අල්ලන්න ඒ අයගෙත් උපරිම සහය ලැබුණ නිසා.

අල්හාජ් හලන්දර් ලෙබ්බේ, අල්හාජ් උදුමාන් ලෙබ්බේ, ආදම් ලෙබ්බේ, අහම්මදු ලෙබ්බේ, බ්සායිව් ලෙබ්බේ, අච්චු මුහම්මද්, කරුදු ලෙබ්බේ, මුහම්මද් ඉස්මායිල්, ඉස්මායිල් ලෙබ්බේ, මීරා ලෙබ්බේ, සුලෙයිමාන් ලෙබ්බේ, තංග රාසා, වට්ටානෛ, අබ්දුල් මජීද්, අබුබකර්, මීරා සායිබු, නාගුර්, කාරියප්පර් සීයාගෙ උදව්වට ඒකාලෙ හිටපු අය.

අල්හාජ් අහමද් ලෙබ්බේ හාරූන් මහතා ප්‍රදේ‍ශයේ දානපති ව්‍යාපාරිකයෙකි. බෞද්ධ සිද්ධස්ථාන සංවර්ධනය කිරීම උදෙසා විශාල දායකත්වයක් දරා ඇති අතර විවිධ ලබ්ධිකයන් සහ විවිධ ජාතීන් අතර සුහදත්වය වර්ධනය සඳහා කැපවීමෙන් කටයුතු කරන්නෙකි. හාරූන් මහතා උදව් නොකළ විහාරස්ථානයක් අම්පාර දිස්ත්‍රික්කයේ නැති තරම් යැයි විහාරාධිපතීන් වහන්සේලා කීපනමක්ම කීහ.

හාරූන් මහතාගේ වැඩිමල් සොහොයුරු ඒ. එල්. කේ. ජයා (ලෙබ්බේ) මහතා සිවිල් ඉංජිනේරුවරයකු වශයෙන් රජයේ සේවයේ යෙදී සිට ටික කලෙකින් ඉන් ඉවත්වී ව්‍යාපාර කටයුතුවලට අවතීර්ණ වී තිබේ. පවුලේ ඉතිහාසය පිළිබඳව පමණක් නොව ප්‍රදේශයේ ඓතිහාසික තොරතුරු පිළිබඳවද හසල බුද්ධිමතකු වන ඒ මහතා මෙසේ කීය.

මගේ සීයා විවාහ දෙකක් කරගෙන තියෙනවා. පළමු විවාහය ඉරක්කාමම් නැත්නම් එරක්කාමම් කියන ගමෙන්. දෙවැනි විවාහය එරාවුර් ප්‍රදේශයෙන්. ඉරක්කාමම් කියන එකේ තේරුම ඉරුගම. ඉරුගම කියන්නෙ මේ පළාතට දැඩි සූර්ය රශ්මිය තියෙන නිසයි. අපේ ගමට ඉරක්කාමම්, එරගම, ඇරගම කියන කොයි නමත් කියනවා. හතරවැනි දප්පුල රජතුමා අපේ ගම් ප්‍රදේශයේ ගොවිතැන් කටයුතු සම්බන්ධයෙන් නියෝග පනවලා තියෙනවා. කොණ්ඩුවටුවාන් ටැම් ලිපිය වශයෙන් හැඳින්වෙන ගල්කනුවේ (ශිලා ස්ථම්භය) තමයි ඒ නියෝග තියෙන්නේ. මම ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට සම්බන්ධ වෙලා සිටි නිසා ඒ පිළිබඳව දන්නවා. පමා වී සීසෑම, නියරට උඩින් ජලය ගලායාමට සැලසීම වරදවල් ලෙසත් එහි සඳහන් කර ඒ වරදට දඬුවම් වශයෙන් දඩ මුදල් ද නියම කර තියෙනවා. ඒ නියෝග අනුව එදත් ගොවිතැන් කිරීමේදී ප්‍රමිතීන් නියම කර තිබුණු බව සහ ජලය ඉතා වටිනා බව සැලකූ බව පැහැදිලි වෙනවා.

හතරවැනි දප්පුල රජතුමා අභා සලමෙවන් යන නමෙන් ද හඳුන්වනු ලබා තියෙනවා. එතුමාගේ පිය රජතුමා තමයි සිරිසඟබෝ මහරජතුමා. මවු බිසව තමයි දෙව්ගොත් මහ රැජිණ. ‍ෙම් ටැම් ලිපිය හදල තියෙන්නේ හතරවැනි දප්පුල මහ රජතුමාගේ රාජාභිෂේකයෙන් දස වැනි අවුරුද්දේ මැදින් මාසයේ පුර පක්ෂයේ දහවැනිදායි. රජතුමාගෙ සේනාධි නායකතුමාගෙ නම සග්වාරකුස්. මේ සියලු විස්තර තියෙන්නේ ඒ ටැම් ලිපියේ.


ජනසේන මාරසිංහ

නව අදහස දක්වන්න