රජ රටට වතුරත් ජීවිතයත් එකට | දිනමිණ

රජ රටට වතුරත් ජීවිතයත් එකට

මේ ව්‍යාපෘතිය යටතේ ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතිය මඟින් වැව් 1200ක්ද, වයඹ සංවර්ධන ව්‍යාපෘතිය මඟින් වැව් 303 ක්ද, මැදිරිගිරිය සංවර්ධන ප්‍රදේශය තුළ වැව් 32ක් ද, ලග්ගල සංවර්ධන ප්‍රදේශයේ වැව් 16ක් ද වශයෙන් ලොකු කුඩා වැව් 1551 ක් පෝෂිත වේ.

ජලය මිනිසා ඇතුළු සියලු සත්ත්වයන්ගේ මූලික අවශ්‍යතාවන්ගෙන් එකකි. එමෙන්ම සොබාදහමට ජීවය සපයන්නේද ජලයෙනි. අහසින් වැටෙන ජලබිඳ සත්ත්වයාගේ හා පරිසරයේ පැවැත්ම සුරක්ෂිත කළ ආකාරය අතීත රජ දරුවන්ගේ ක්‍රියා කලාප අධ්‍යයනය කිරීමෙන් සාක්ෂාත් කරගත හැකිවේ.

ක්‍රිස්තු වරෂ 67 දී වසභ රජ සමයෙන් ඇරඹි ජල සුරක්ෂිත වැඩපිළිවෙළ ලෙස අඹන්ගඟ හරස් කරමින් ඇළහැර අමුණ ඉදි කළ අතර ඇළහැර - මින්නේරිය යෝධ ඇළ ක්‍රියාත්මක කරවා ගිරිතලේ, මින්නේරිය, කවුඩුල්ල, කන්තලේ සිට ත්‍රිකුණාමලය දක්වා ජනතාවට පානීය හා කෘෂි කර්මාන්තයට අවශ්‍ය ජල පහසුකම් ලබා දුනි. පසු කලෙක මහසෙන් හා 11 වන අග්බෝ රජුගේ දායකත්වයෙන් තවදුරටත් සංවර්ධනය වුණි. එම ජල සංවර්ධන ව්‍යාපෘතිය මඟින් එදා සිට අද දක්වාම එම ප්‍රදේශයන්හි ජනතාවගේ ජල අවශ්‍යතා සපුරාලීමට එදවස ආරම්භ වූ ජල ව්‍යාපෘති මහත්සේ ප්‍රයෝජනවත් වී ඇත.

වරින් වර අකර්මණ්‍ය වූ සහ සක්‍රීය වූ එම ව්‍යාපෘති එම ප්‍රදේශයන්හි කෘෂිකර්මාන්තයේ නියැළී සිටින ජනතාවට වරෙක වාසනාව ද තවත් වරෙක අවාසනාවද ගෙන දුනි.

කෘෂි කර්මාන්තයේ දියුණුව රටකට කොතරම් වැදගත් ද යන්න මැනවින් වටහාගත් කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍යවරයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගන්නා ලද උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස 2007 ජනවාරි 25 වන දින මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට හැකි විය. එදා පටන්ගත් ඒ මහා සංවර්ධන ව්‍යාපෘතිය නිසි කලට නිම වූයේ නම්, වියළි කලාපීය බහුතර ජනතාව මුහුණදුන් ජල ගැටලුවට තිරසාර විසඳුමක් 2013 වනවිට ලැබෙනු ඇත.

නොයෙකුත් බාධක හමුවේ පැවති මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියට නව ජීවය ලැබෙමින් කඩිනම් සංවර්ධනය ක්‍රියාත්මක වූයේ එහි නිර්මාතෘ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 2015 ජනපතිධුරයට පත්වීමත් සමඟය. එතුමාගේ ජීවිත කාලයේදී ඉටුකළ යුතු මහා භාරදුර කාර්යයක් සේ සැලකූ මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතිය මඟින් ඉදි වූ මොරගහකන්ද ජලාශයේ ජලය ගබඩා කිරීමේ කටයුතු 2017 – 01 – 11 වන දින ආරම්භ වූ අතර 2018 – 02 – 08 දින වන විට එහි උපරිම ජල මට්ටම ගබඩාකර මතු පරපුර වෙනුවෙන් දායාද කරන ලදී.

කාලාන්තරයක් පුරා ඵලදායී කටයුත්තකට නොගෙන මහ සයුරට ගලා ගිය ඝන මීටර් දසලක්ෂ 818 ක ජලස්කන්ධය පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් මින්නේරිය, ගිරිතලේ, කවුඩුල්ල, කන්තලේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් හුරුළුවැව, තිසාවැව, නුවරවැව, නාච්චිදූව, මහ කනදරාවැව ආදී ජලාශ මෙන්ම එයින් පෝෂණය වන ලොකු කුඩා වැව් සිය දහස් ගණනකට තිරසාරව ජලය සැපයීමට හැකි විය. එමෙන්ම සංවර්ධනය කෙරෙන මැදිරිගිරිය නව සංවර්ධන කලාපයේ අක්කර 12000ක පදිංචි ජනතාවගේ ජීවනෝපාය තිරසාර කරමින් ප්‍රදේශයේ පවුල් 136,000 අවශ්‍ය වාරි ජල සැපයුම් මෙන්ම මාතලේ සහ නැගෙනහිර පළාත්හි ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීමටද මෙම ව්‍යාපෘතිය මගින් හැකියාව ලැබිණි.

මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියන 557.5 වැය වන අතර මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වෙමින් පවතින මොරගහකන්ද සිට මහකනදරාව දක්වා ඉදිවෙන ඉහළ ඇළහැර ඇළ මාර්ගයට ඇ.ඩො.මි. 450 ක් ද, වයඹ සංවර්ධන ඇළ සඳහා ඇ.ඩො.මි. 200 ක් ද, මිනිපේ වම්ඉවුර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඇ.ඩො.මි. 25ක් ද ඇස්තමේන්තු කර ඇති අතර මුළු ව්‍යාපෘති වියදම ඇ.ඩො.මි. 1207.5ක් ලෙස ගණන් බලා ඇත. මෙය ලංකා මුදලින් රුපියල් කෝටි 18100 පමණ වේ.

මොරගහකන්ද ජලාශයේ ජල ධාරිතාව ඝන මීටර් මිලියන 570 වන අතර එහි ප්‍රධාන වේලි හා විදුලි බලාගාරයන් ඉදිකිරීම සඳහා චීන සංවර්ධන බැංකුව අවශ්‍ය මූල්‍ය වියදමින් 85% වන රුපියල් මිලියන 28952.1 (ඇ.ඩො.මි.214.46) ද, දේශීය අරමුදලින් 15% වන රුපියල් මිලියන 4920.5 (ඇ.ඩො.මි.37.85) වැය කර තිබේ.

කළුගඟ ජලාශයේ ජල ධාරිතාව ඝන මීටර් මිලියන 248 වන අතර මොරගහකන්ද - කළුගඟ ජලාශයන්හි සම්පූර්ණ ධාරිතාව අක්කර අඩි 660,000 කි. එහි ජල ධාරිතාව පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව මෙන් හය (06) ගුණයකින් විශාල වේ. මොරගහකන්ද කළුගඟ යෝධ වාරි ව්‍යාපෘතිය හා සබැඳි ඉහළ ඇළහැර ව්‍යාප‍ෘති ඇළ මහකනදරාව දක්වා ඉදිවෙන අතර එහි දිග කිලෝමීටර් 94 කි. එම දිගින් කිලෝමීටර් 26ක් උමං මාර්ගවලින් සෑදී ඇත. ඊට අමතරව ඉදිවන වයඹ සංවර්ධන ඇළ කිලෝමීටර් 93කින් යුක්ත වේ. කළුගඟ සිට මොරගහකන්ද දක්වා ඉදිවන ඇළ මාර්ගය කිලෝමීටර් 09ක් දිගවන අතර එයින් කිලෝමීටර් 7.85 ක්ම උමං මාර්ගයක් සේ සකස් වනු ඇත.

මෙම ව්‍යාපෘතිය යටතේ ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතිය මඟින් වැව් 1200ක්ද, වයඹ සංවර්ධන ව්‍යාපෘතිය මඟින් වැව් 303 ක්ද, මැදිරිගිරිය සංවර්ධන ප්‍රදේශය තුළ වැව් 32ක් ද, ලග්ගල සංවර්ධන ප්‍රදේශයේ වැව් 16ක් ද වශයෙන් ලොකු කුඩා වැව් 1551 ක් පෝෂිත වේ.

මෙම ව්‍යාපෘතියේ තවත් ප්‍රධානම ‍කොටසක් වනුයේ ඉහළ ඇළහැර ඇළ මාර්ගයයි. මේ වනවිට ඉදිවෙමින් පවතින ඇළ මාර්ගය මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ උතුරුමැද පළාතට ජලය ලබාදීමට අදහස් කර ඇත. ඒ අනුව ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක කෙරෙන “මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනට” ඇතුළත් කර ඇති ව්‍යාපෘතියක් ලෙස ඉහළ ඇළහැර ඇළ මාර්ගය ඉදිවෙමින් පවතියි. මෙය මොරගහකන්ද සිට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි ඇළහැර ගිරිතලේ අභය භූමිය, මින්නේරිය ගිරිතලේ රක්ෂිතය හා හුරුළු වන රක්ෂිතය හරහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහකනදරාව වැව දක්වා ජලය ගෙන යාමට ඉදි කෙරෙන පෝෂිත ඇළ මාර්ගයකි.

මෙම ඇළ මාර්ගය මධ්‍යම හා උතුරුමැද පළාත්හි මාතලේ, පොළොන්නරුව හා අනුරාධපුර යන පරිපාලන දිස්ත්‍රික් තුනෙහි පිහිටි නාඋල, ඇළහැර, හිඟුරක්ගොඩ, පලුගස්වැව, තිරප්පනේ, ගලෙන්බිඳුණුවැව, මිහින්තලේ හා රඹෑව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හත හරහා ගෙන යන අයුරින් සැලසුම්කර ඇත.

ප්‍රධාන ඇළ ගමන් ගන්නා ඇළහැර ගිරිතලේ රක්ෂිතය තුළදී වන සතුන්ට ද ජලය ප්‍රයෝජනයට ගත හැකි පරිදි මධ්‍යම ප්‍රමාණයේ වැව් 03ක් ඉදිකරනු ලබන අතර ඉහළ ඇළහැර ඇළ තත්පරයකට ජලය ඝන මීටර් 40ක් ගෙන යා හැකි අයුරින් ඉදිවේ. රක්ෂිතය තුළ මීටර් 12 පළල මීටර් 05 උස අඩියක් පමණ ඝන කොන්ක්‍රීට් උමගක් උපයෝගී කරගෙන ඉදිවෙන ඇළ මාර්ගය සකස් කිරීමෙන් පසු එම ස්ථාන පස්වලින් වසා දමා යළි වනාන්තරයක් බව පත් කිරීම මෙහි තවත් වැදගත් සැලසුමකි. එයින් රක්ෂිතයට හා එහි වාසය කරන සතුන්ට කිසිදු බාධාවක් නොවනු ඇත.

මොරගහකන්ද සිට මහකනදරාව දක්වා ඉදිකෙරෙන මෙම ඇළ නව තාක්ෂණික ක්‍රම උපයෝගී කරගනිමින් සකස් වේ. ඉතා ඉහළ ප්‍රමිතියකින් යුත් කොන්ක්‍රීට්වලින් සැදුම්ලත් ඉහළ ඇළහැර ඇළ මාර්ගය ඉදිකිරීම මඟින් අරමුණු කීපයක් මුදුන්පත් කර ගැනීමට අපේක්ෂිතය. උතුරු මැද හා උතුරු ප්‍රදේශයන්හි අදාළ ගංගා, ද්‍රෝණි වෙත ජලය ලබාදීමෙන් ගොවිබිම් සරු කොට එහි ජනතාවගේ වාරි ජල අවශ්‍යතා හා පානීය ජල අවශ්‍යතා සපුරාලීමත්, මෙමඟින් දැනට වගා කරන කුඹුරු ඉඩම් අක්කර 30,000ක් දෙකන්නයේම ගොවිතැන් කළ හැකි අයුරින් වාරි ජලය සැපයීමත්ය.

මීට අමතරව පවුල් 25,000 ට පානීය ජල පහසුකම් ලබාදීම සඳහා ජලය ඝන මීටර් මිලියන 25ක් ලබාදීමට ද සැලසුම් කර ඇත. මෙම ව්‍යාපෘතිය මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් වැව් වන නාච්චදූව, තිසාවැව, නුවරවැව හා මහකනදරා වැව ආශ්‍රිතව පදිංචිව සිටින හා කෘෂි කර්මාන්තයේ නියැළෙන පිරිසට අවශ්‍ය ජල පහසුව ලබාදීමද සිදු කෙරේ. ඒ අනුව හුරුළුවැව ජලාශයට ඝන මීටර් මිලියන 128ක් ද, නාච්චදූව, තිසාවැව හා නුවර වැව් යන ජලාශ සඳහා ඝන මීටර් 93ක් ද, මහකනදරාව ජලාශයට ඝන මීටර් 66ක් ද වශයෙන් මෙම ඇළ මාර්ගයෙන් වාර්ෂිකව ජලය ලබාදීමට හැකි වේ.

මෙම ඇළ මාර්ගය සංවර්ධනය දෙවන අදියරටද යොදා ගැනෙන බැවින් වාර්ෂිකව ඝන මීටර් මිලියන 974 ක් හෙවත් අක්කර අඩි 790,000ක් උතුරු මැද හා උතුරු පලාත්වලට ජලය යැවීම සඳහා හැකියාව ඇත. දෙවන අදියර යටතේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන ඉදිකිරීම් මඟින් යල කන්නයේ සිට උතුරු ප්‍රදේශයට ජලය ඝන මීටර් මිලියන 640ක් ලබාදීමට හැකියාව ලැබේ. පානීය ජල පහසුකම් සහිතව මෙම අදියර දෙක මඟින් උතුරුමැද හා උතුරු පළාත්වල මිලියනයක් පමණ ජනතාවට සහන සැලසෙනු ඇත.

කළුගඟ ජලාශයේ අතිරික්ත ජලය මොරගහකන්ද ජලාශයට රැගෙන යන කිලෝමීටර් 09ක් දිගින් යුත් ඇළ මාර්ගය උමං මාර්ග දෙකකින් යුක්ත වේ. එක් උමං මාර්ගයක් කිලෝමීටර් 1.9ක් වන අතර අනෙක් උමඟ කිලෝමීටර් 6.04ක් දිගින් යුක්තය. මෙහි ගෙන යා හැකි ජල ධාරිතාව තත්පරයට ඝන මීටර් 35කි. උම‍ඟේ විශ්කම්භය මීටර් 6.0ක් වන අතර මෙම ඇළ මඟින් වාර්ෂිකව ඝන මීටර් මිලියන 771ක් ජලය ගෙන යාමට හැකියාව ඇත.

කළුගඟ ජලාශයේ ප්‍රධාන වේලි ඉදිකිරීම සඳහා කුවේට් සංවර්ධන අරමුදල රුපියල් මිලියන 4883.03 ක් ද සෞදි සංවර්ධන අරමුදල රුපියල් මිලියන 6779.94 ක් ද, ඔපෙක් ජාත්‍යන්තර අරමුදල රුපියල් මිලියන 2358.24 ක් ද, දේශීය අරමුදල මඟින් රුපියල් මිලියන 2434.28 ක් ද මූල්‍යමය වශයෙන් වැයකොට තිබේ. මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය මඟින් හෙක්ටයාර් 82,000 ක් සඳහා යල - මහ දෙකන්නයේ ජලය සැපයීමට හැකියාව ලැබෙන අතර, විවිධ ප්‍රදේශවල 100% සිට 154% දක්වා සිදුවන වගා ත්‍රීව්‍රතාවයේ සාමාන්‍ය අගය 181% දක්වා ඉහළ නැංවෙනු ඇත. මෙමඟින් හෙක්ටයාරයකට ලැබෙන වී අස්වැන්න ඉහළ යනවා මෙන්ම අතිරේක කෘෂි කාර්මික නිෂ්පාදනයට සුවිශාල දායකත්වයක් සැපයේ. මුළු කෘෂිකාර්මික වාර්ෂික ප්‍රතිලාභය රුපියල් මිලියන 4,000ක් පමණ වෙතැයි අනුමාන කෙරේ.

මෙම ජලාශවල ඉදිවීමත් සමග වාර්ෂික මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය ටොන් 4,700ක් පමණ වෙතැයි ඇස්තමේන්තු කර තිබෙන අතර, එහි වටිනාකම රුපියල් මිලියන 940ක් පමණ වනු ඇත. මොරගහකන්ද විදුලිබල පද්ධතියට එකතුවන ටර්බයින 4කින් සමන්විත මෙගා වොට් 25ක ධාරිතාවකින් යුත් විදුලි බලාගාරයෙන් වාර්ෂිකව ඉතිරි කෙරෙන ඉන්ධන පිරිවැය රුපියල් මිලියන 1545ක් පමණ වනු ඇත. මීට අමතරව වස්ගමුව වනෝද්‍යානය, ගිරිතලේ, මින්නේරිය, වනෝද්‍යාන, නකල්ස් කඳුවැටිය ආශ්‍රිත රිවස්ටන්, පිටවල පතන හා සේර ඇල්ල ද දඹුල්ල විහාරය, දඹුල්ල අන්තර් ජාතික ක්‍රීඩාංගණය, කණ්ඩලම වැනි සංචාරක ‍හෝටල් අතරමැද මොරගහකන්ද - කළුගඟ ජලාශ පිහිටීම මඟින් සංචාරක ප්‍රවර්ධනයට ද ඉහළ වටිනාකමක් ලැබෙනු ඇත.

මීට අමතරව වයඹ ඇළ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය වන මුළු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 12,500 කි. කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සංඛ්‍යාව 06 කි. මාතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 02 කි. ප්‍රධාන ඇළ කිලෝමීටර් 93 කි. පොල්පිතිගම වැනි දුෂ්කර ප්‍රදේශවල යල - මහ දෙකන්නය සඳහා ජලය ලැබෙන අතර ගොවි පවුල් 13,500 කට ස්ථිරවම යල - මහ දෙකන්නයට ජලය ලැබේ. ඊට අමතරව ප්‍රදේශයේ ගොවි පවුල් 40,000කට පිරිසුදු පානීය ජල පහසුව ලැබීම තවත් ප්‍රතිලාභයකි.

තවද මොරගහකන්ද සංවර්ධනයේ ප්‍රතිලාභ මැදිරිගිරියට ලැබීමෙන් මැදිරිගිරිය සංවර්ධන ප්‍රදේශයේ අලුතින් පදිංචි කරන ගොවි පවුල් ගණන 3240 ක් වන අතර ඔවුන්ට ගෙවතු ඉඩම්ද ලැබෙනු ඇත. පළමු අදියර යටතේ හෙක්ටයාර් 2000 ට දියවර පහසුකම් ලැබෙනවා මෙන්ම වැව් 32ක් පිළිසකර කෙරේ. සම්පූර්ණ සංවර්ධන ප්‍රදේශයේ ප්‍රධාන ඇළ කිලෝමීටර් 16.5කින් යුක්තවන අතර සෙසු ඇළ මාර්ග කිලෝමීටර් 59 ක් සංවර්ධනය වේ. නාගරික සේවා වැඩි දියුණු වී මැදිරිගිරිය, බිසෝපුර, කන්තලේ පේරමඩුව මහා මාර්ගය කිලෝමීටර් 23ක් සංවර්ධනය වේ. ඊට අමතරව අක්කර 100ක කර්මාන්ත පුරයක් ඉදිවීම තුළින් ප්‍රදේශයේ ආර්ථික මෙන්ම භෞතික සංවර්ධනයද ඉහළ යනු ඇත.

මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමෙන් ඇතිවන කෘෂි කර්මාන්තයේ දියුණුවට අමතරව එම ප්‍රදේශයන්හි ජලාශවලට විශාල වශයෙන් එක් රොක්වන වැසි ජලය අපතේ නොයා වෙනත් ජලාශ වෙත යොමු කිරීමෙන් ජල සුරක්ෂිතතාවද ඇති වේ. එමඟින් අප සතු වටිනා ජල සම්පත ආරක්ෂාවන අතර කෘෂි කර්මාන්තයටද ස්ථිරසාර ජල විසඳුමක් ලැබෙනු ඇත.

නිශාන් මෙන්ඩිස්

නව අදහස දක්වන්න