කොරියානු භාෂා පරීක්‍ෂණයේ සම්මුඛ පරීක්‍ෂණ 13 සිට 17 | දිනමිණ

කොරියානු භාෂා පරීක්‍ෂණයේ සම්මුඛ පරීක්‍ෂණ 13 සිට 17

ස්වර්ණා විජේකෝන්
දාහතර වන කොරියානු භාෂා පරීක්‍ෂණයෙන් සමත්වූවන්ට සම්මුඛ පරීක්‍ෂණ ලබන 13 සිට 17 දක්වා පැවැත්වෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
 
කොරියානු භාෂා පරික්ෂණය පසුගිය මාසයේදි පැවැති අතර එයින් සමත්වූවන් 4294 දෙනා වෙනුවෙන් මෙම  සම්මූඛ පරීක්‍ෂණය පැවැත්වෙන අතර ලබන සඳුදා සිට  17 දක්වා දිවයින පුරා පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථන 9කදී පැවැත්වෙන බව කාර්යාංශය සඳහන් කරයි. 
 
අනුරාධපුර, මහනුවර, රත්නපුර, කෑගල්ල, කඩවත, මාතර, ගාල්ල, තංගල්ල යන දිස්ති‍්‍රක් පුහුණු මධ්‍යස්ථාන  8 කදී හා කාර්යාංශයේ බත්තරමුල්ල ප‍්‍රධාන කාර්යාලයේදී සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වේ. 
 
විභාගය සමත්වූවන්ගේ නාමලේඛනය කාර්යාංශයේ  වෙබ් අඩවියේ පළකර ඇති අතර, අදාළ අපේක්‍ෂකයින්ගේ විභාග අංකය ඇතුලත් කිරීමෙන්, සම්මුඛ පරීක්‍ෂණ දිනය, වේලාව හා පැවැත්වෙන ස්ථාන ලබාගත හැකිවේ.
 
මෙවර විභාගයෙන් 4294 දෙනෙකු කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය මගින් සමත් කොට තිබේ. 
 
විභාගය සඳහා අපේක්‍ෂකයෝ 13083 දෙනෙකු පෙනී සිටියහ.
 
මෙවර විභාගය නිෂ්පාදන අංශයේ රැකියා සදහා පමණක් පැවැත්විණ. 
 
කොරියානු රැකියා සදහා ලාංකික තරුණ තරුණියන්ට වැඩි අවස්ථාවක් ලබා දීම සදහා විදේශ රැකියා ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය හා එරට සැලසුම් හා සම්බන්ධීකරණ නියෝජ්‍ය අමාත්‍ය චෑන් හුන් හන් සමග පසුගියදා සාකච්ජා කලහ. ඒ අනුව ඉදිරියේදී ධීවර, කෘෂිකාර්මික, හා ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ රැකියා සම්බන්ධවද සාකච්ජා කළහ. 
 
කොරියානු රැකියා වෙබ් අඩවියේ නම සදහන් අය වෙනුවෙන් රැකියා ලබාදීමට  අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගැනීම සම්බන්ධව කටයුතු සොයා බලන ලෙස ඇමැතිවරිය අදාල නිලධාරීන්ට උපදෙස් දී ඇත.
 
මේ වන විට කොරියානු රැකියා සදහා වැඩි උනන්දුවක් ඇතිවී තිබෙන බැවින් , විවිධ ආකාරයෙන් සිදුවන වංචනික ක‍්‍රියාවන්ට කිසිදු විටෙක් හසුනොවන ලෙසත් කාර්යාශයට හැර වෙනත් ආයතනයකට එරට රැකියා ලබාදිය නොහැකි බවත් ඇමැතිවරිය වැඩිදුරටත් සඳහන් කරයි.

නව අදහස දක්වන්න