මහ බැංකු සේවකයින් යළි සේවයට - අධිපතිවරයා එකගවෙයි. | දිනමිණ

මහ බැංකු සේවකයින් යළි සේවයට - අධිපතිවරයා එකගවෙයි.

අසංක බණ්ඩාර
සේවය අහිමි කිරීමට එරෙහිව මහ බැංකු මෑන් පවර් සේවකයින්  විසින් ගෙන ගිය අඛණ්ඩ අරගලයේ ප‍්‍රතිඵලයක් ලෙස සියළු සේවකයින් නැවත සේවයට බඳවා ගැනීමට මහබැංකු අධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී එකඟ වී තිබේ. 
 
මෑන් පවර් සේවකයින් ස්ථිර කරන ලෙස බලකරමින් පසුගිය ජූනි 25 දින රටපුරා පැවති උද්ඝෝෂණයට එක්වීම නිසා මහබැංකුවේ සේවයෙන් ඉවත්කළ මෙම සේවකයින්ගේ රැකියාව නැවත ලබාදෙන ලෙස බලකරමින් අඛණ්ඩව උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කෙරිණි.
 
මෑන් පවර් සේවකයින් ස්ථිර කර ගැනීමේ ජාතික මධ්‍යස්ථානයේ මගින් මෙම විරෝධතාවයන් ගෙන ගිය අතර ඒ සඳහා ලංකා විදුලි බල මණ්ඩලය,ජල සම්පාදන හා බැංකුවල සේවය කරන මෑන්පවර් සේවකයින්ගේ සහායද හිමිවිය.
 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන  සමස්ත ලංකා බැංකු සේවක සංගමයේ ලේකම් හා මෑන් පවර් සේවකයින් ස්ථිර කර ගැනීමේ ජාතික මධ්‍යස්ථානයේ සම ලේකම් ගාමිණී රත්නසිරි පවසන්නේ මෙම සේවකයින්ගේ සේවය නැවත ලබාගැනීම වෙනුවෙන් ගෙන ගිය අඛණ්ඩ අරගලයේ ප‍්‍රතිඵලයක් ලෙස මෙම ජයග‍්‍රහණය හිමි කර ගැනීමට හැකි වූ බවයි.
 
මෙම සටන නොනවත්වා ඉදිරියට ගෙනයමින් සියළු මෑන්පවර් සේවකයින් ස්ථිර කරගැනීම වෙනුවෙන් වන දැවැන්ත ක‍්‍රියාමාර්ගවලට වුව ද තම මධ්‍යස්ථානය ඉදිරියේදී අවතීර්ණ වන බව පැවසිණ.

නව අදහස දක්වන්න