ජනතා ජයග්‍ර‍හණ ආරක්ෂා කරන්න විශ්වාසභංගයට මුහුණ දුන්නා | දිනමිණ

ජනතා ජයග්‍ර‍හණ ආරක්ෂා කරන්න විශ්වාසභංගයට මුහුණ දුන්නා

ස්වර්ණා විජේකෝන්,  රෝෂන් තුෂාර සහ චමීර ඇල්ලදෙණිය

විශ්වාසභංගයට මුහුණ දුන්නේ ජනතා ජයග්‍ර‍හණ ආරක්ෂා කිරීමටයි, පුද්ගලික ජයක් අපෙක්ෂා නොකළ අතර, රටේ සංවර්ධනය වෙනුවෙන් ඊට සහාය දැක්වූ සියලු දෙනාට ස්තුතිවන්ත වන බව අගමැති රනිල් වික්‍ර‍සිංහ මහතා අවධාරණය කළේය.

තමාටත් ආණ්ඩුවටත් විරුද්ධව ගෙනා විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට සහයෝගය දැක් වූ සැමට ස්තූතිය පුද කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

විශ්වාසභංගය ජයගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අග්‍රාමාත්‍යවරයා මේ බව ඊයේ (4) රාත්‍රියේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

අගමැතිවරයා මෙසේද කීය.

මටත් ආණ්ඩුවටත් විරුද්ධව ගෙනා විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට ඔබ සියලු දෙනා දැක් වූ සහයෝගයට මම ඔබ සැමට ස්තූතිය පුද කරනවා. මෙය විශිෂ්ට ජයග්‍රහණයක්. ඔබ සියලු දෙනා කළ සේවය මම අමතක කරන්නේ නෑ. දැන් අපට අලුත් ගමනක් යන්න තිබෙනවා. ආණ්ඩුවක් හැටියට අපට ලැබුණු පණිවුඩයත් අරගෙන අපේ වැඩකටයුතු මීට වඩා ශීඝ්‍රයෙන් ගෙන යන්නට තිබෙනවා. මුළු රටට ම අපේ ප්‍රතිඵලය දැනුම් දුන්නා. අපි වැඩකටයුතු ගණනාවක් ආරම්භ කර තිබෙනවා. ජනවාරි 8 වෙනිදායින් පසුව රටේ විශාල වෙනසක් සිදුව තිබෙනවා. රටේ ආර්ථිකය සකස්කරගෙන යනවා. ගමේ සංවර්ධනය ආරම්භ කරගෙන තිබෙනවා. ජනතාවගේ ආදායම් වැඩි කරන්න කටයුතු කර තිබෙනවා.

ජනතවට මීටවඩා සමීප වෙන්න අපේ යුතුකමක් තිබෙනවා. ඊළඟ වසරේ රටට දැනෙන විදියට මේ සංවර්ධනය ගෙනයන්න අවශ්‍යයි. විශ්වාසභංගයට මුහුණ දුන්නේ පුද්ගලයෙක් ආරක්ෂා කරන්න නොවේ, ආණ්ඩුවක් ආරක්ෂා කරන්න, ජනතාව ආරක්ෂා කරන, ජයග්‍රහණය ආරක්ෂා කරන්නයි. එක්සත් ජාතික පක්ෂය තුළ පූර්ණ වෙනසක් ඇතිකරන්නට තිබෙනවා. අලුත් කණ්ඩායම් ඉදිරියට ගේන්න තිබෙනවා. බහුතර සහයෝගය දිනාගෙන ඉදිරියට යමු යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවැසීය.

නව අදහස දක්වන්න